Saturday, September 28, 2013

ආගම, දේශපාලනය හා ජනතාව...

100% ශාස්තෘවරයාගෙ කටින් පිටවුණු වචනමයි මේ තියෙන්නෙ, කිසිම වෙනසක් අබමල් රේණුවක වත් වෙලා නැහැ කියලා සහතික වෙන්න පුලුවන් කිසිම ආගමක් ලෝකයේ නැහැ...

මතකද ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ අපි "සීක්‍රට් පාස්"කියලා සෙල්ලමක් කරනවා... ?.. ටීචර් ඉස්කෝලෙ පන්තියෙ ඉස්සරහ පේළි දෙකේ කොන් දෙකේ ඉන්න දරුවො දෙන්නව ළඟට ගෙන්නලා ඒ දෙන්නට වාක්‍යයක් දෙනවා රහසෙන්.. ඒ දෙන්න දුවගෙන ගිහින් ඒ පේළි දෙකේ ඊළඟට ඉන්න දරුවන්ට කියන්න ඕන ඕක.. ඒ අය ඊ ළඟට ඉන්න අයට, ඒ අය ඊටත් ඊළඟට ඉන්න අයට... ඔහොම ඔහොම රහස පේළියෙන් පේළියට කටින් කණට, කටින් කණට යනවා... ගිහින්, පේළි සියල්ලගේම අන්තිමටම ඉන්න දරුවො දෙන්නා නැගිටලා දුවගෙන ඇවිත් ටීචර්ට කියනවා තමන්ට ඇහුනෙ මොකක්ද කියලා.. මතකද මේ සෙල්ලම?...
මේකෙ අන්තිමටම ටීචර් ලගට එන්නෙ ටීචර්ගෙන් පිටවුණු රහසට අහසට පොළව වගේ දෙයක්... උදාහරණයක් හැටියට Tom and Peter went to the town කියලා ටීචර් මුලින්ම කිව්වා නම්, අන්තිම වෙනකොට ඒක එන්නෙ Bomb sent to Mars කියලා...

ළමයි පනහක් විතර ඉන්න පන්තියක පැය භාගයක් වගේ ඇතුළත රහසක් පාස් වෙනකොට තත්වය එහෙම නම් , අවුරුදු දහස් ගණනක් තිස්සෙ පරපුරෙන් පරපුරට ආගමක් එනකොට මොනවා වෙනස් වෙලා ඇත්ද ඒකෙ...? ...මේ පේන්නෙ මනුස්ස ගතිනෙ.. වෙන මොනවත් නෙමෙයි නේ... මිනිස් මනසට උරුම ගති නිසා තමයි මේවා වෙන්නෙ.. ආගම් පරපුරෙන් පරපුරට ගෙනාවෙත් මිනිස්සු.... සමහර විට මේ අපි අහන ඒවායින් 10% ශාස්තෘවරයා කියපුවද දන්නෙ නෑ... මොනව එකතු වෙලා ඇද්ද, මොනව වැරදිලා ඇද්ද...?... ( දැන් "නෑ .. නෑ ඒවා ගෙනාවෙ රහතුන්, දිවැසි වරු, සුර දූතයො, දේව පණිවිඩ කාරයො, ඒක නිසා ඒවා වෙනස් වෙන්න විදියක් නෑ" වගේ මසුරන් කථා කියාගෙන එන්න නම් එපා.. මොකද ඒ ගෙනාපු අයට ඒ වගේ නම් දාගෙන තියෙන්නෙත් අපිමයි... ) .. ඒ නිසා අනේ තරහ වෙන්න නම් එපා, මම නම් ඕවයෙ තියෙන්නෙ පට්ට පරම පිරිසිදු සත්‍යය කියලා විශ්වාස කරන්නෙ නෑ... ඒක නිසා එක ආගමක්වත් උඩ දාගෙන දඟලන්න හෝ සුද්ද කරන්න මට උවමනාවක් නෑ...

මිනිස්සුනෙ... මිනිස්සුන්ගෙ ගති තමයි ආගම් වලත් දැන් තියෙන්නෙ... ඒ නිසා මේ හැම ආගමක්ම වැඩිපුරම පාවිච්චි උනේ අන්තිමට පොලිටිකල් ගේම් වලට... ආගම ඉස්සරහට දාලා දේශපාලනික ගේමක් ගහනකොට මිනිස්සු එකතු වෙනවා සූ ගාලා... ඒක තමයි ලේසිම වැඩේ... මේ විදියට මේ ලෝකයේ අපරාධ නොකරපු, යුද්ද නොකරපු ආගම් නැහැ...

ඔය අද මානව ප්‍රේමය, දයාව ගැන කථා කරන කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි සංස්ථා කරපු තරම් අපරාද මේ ලෝකයේ අනෙක් ආගම් සියල්ල එකතු කළත් කෙරිලා නැතුව ඇති... උතුරු, මධ්‍යම සහ ලතින් ඇමරිකාවෙ, අප්‍රිකාවෙ, ආසියාවෙ එහෙම පිටින් ශිෂ්ඨාචාර සමූල ඝාතනය කරලා, මහ පොළවෙන් අතු ගා දැම්මෙ වතිකානු බලපෑම් නිසා..1452 අවුරුද්දෙදි පස්වැනි නිකොලස් පාප්වරයා විසින් ගෙන ආපු "Dum Diversas" නැමති පාප් ආඥාව නිසා වහල් සේවය සහ වහල් වෙළඳාම ආගමිකවම නීති ගත උනා.. මේ නිසා අප්‍රිකාවෙන් සහ යුරෝපයේම පේගන් විශ්වාස තිබුණු ප්‍රදේශ වලින් ලක්ෂ ගණනක් වහල්ලු හැටියට ගෙනියන්න මග පෑදුණා.... ආගමේ නාමයෙන් ක්‍රිස්තියානිය සහ කතෝළික දර්ශණය මරා දාපු මිනිස්සුන්ගෙ සංඛ්‍යාව ගණන් තියන්න බැහැ... ලෙයින් ලියැවිච්ච ඉතිහාසයක් ඔය පල්ලි වලට තියෙන්නෙ... අද මේ කථා කරන මොහොත වෙනකොට වතිකානුව සතුව තියෙන ඩොලර් බිලියන 66 ක් වටිනා ආයෝජනයන්.. මෙලොව විශාලතම බහුජාතික සමාගම තමයි වතිකානුව... පාප් වහන්සෙ ඉරිදා දේව මෙහෙයට ගේන රත්තරං කුරුසය ඩොලර් ලක්ෂ විස්සක් වටිනවා... වස්ත්‍ර දෙකක් පමණක් තිබුණු, ඒ වස්ත්‍ර දෙක මාරුවෙන් මාරුවට හෝද, හෝද ඇඳපු , හිස තබා ගැනීමට වත් තැනක් නොතිබුණු යේසුස් වහන්සෙව විකුණ ගත්තු තරම මදිද...?

හින්දු ආගමේ නිකාය මේ වන විට තිස් දහසකට අධික ප්‍රමාණයක් ඉන්දියාව පුරා තිබෙනවා.. ඔය නිකායන්ගේ ඉතිහාසය අරන් බැලුවොත්

1. නිකාය - නිකාය අතර ඇතිවූ ගැටුම් වලින්
2. නිකායන් නිසා බිහිවූ කුළයන් අතර කුළ භේදය නිසා
3. බිහිවුණු සංස්කෘතියේ ඇති කාන්තා පීඩක ලක්ෂණ ( මංගල දායාද ක්‍රමය, නෝක්‍රි රාණි ( භාර්යාව නම් දාසියකි ) ක්‍රමය ආදිය නිසා )
4. මිථ්යා දෘෂ්ඨික ඉගැන්වීම් නිසා සෞඛ්‍ය පහසුකම් උවමනා තැන්වලට ආගම ආදේශ කිරීම

වැනි දේ නිසා වසර 5000 ක පමණ කාළය තුල මරා දැමුණු සහ නිරපරාදේ මියගිය අයගේ සංඛ්‍යාව ගණන් තියා ගෙන නැහැ කවුරුවත්... අති දැවැන්තයි වෙච්ච අපරාධ...

ඒ නිසා ප්‍රචණ්ඩයන් බිහිවීම, ත්‍රස්තවාදීන් බිහිවීම, ආගමේ නාමය පෙරට දමා මිනී මැරීම මුස්ලිම් මිනිස්සු විතරක් කරන දෙයක් නෙමෙයි.. ඒ අද වැඩිපුර ජනමාධ්‍ය පෙන්වන දේ... මේ කථා කරන මොහොත වෙන විටත් වසරකට හින්දු ආගමේ සහ සංස්කෘතියේ බලපෑම නිසා ඉන්දියාවෙ කාන්තාවන් 10,000 කට පමණ නිරපරාදේ මිය යන්න සිදුවෙනවා... ඉස්ලාමයේ නාමයෙන් අද බොහෝ ත්‍රස්ත කල්ලි අපරාධ කරන්නා සේම අනෙක් ආගම් ටික හාරලා බැලුවත් එයිට දෙවැනි නැහැ කරලා තියෙන අපරාධ තොගය... මුස්ලිම් මිනිහා වැඩිය නරකයි, අනෙක් අය හොඳයි... නරකයන් සහ චණ්ඩයන්, ත්‍රස්තවාදීන්, ම්ලේච්ඡයන් බිහිවෙන්නෙ මුස්ලිම් මිනිස්සු අතුරින් පමණයි කියන එක ලෝක ඉතිහාසය නොදැනීමක්... ඒ වගෙම මේ හැම ආගමකම ඉතාම උතුම් මිනිස්සුත් ජීවත් වෙනවා...

බෞද්ධයන්ගේ ඉතිහාසය සාපේක්ෂව අපරාධ අඩු එකක්... ඒත් මහායාන ලෝකයේ නම් අනන්ත අප්‍රමාණ ලේ වැගිරීම් තියෙනවා...චීනයේ, කොරියාවේ, ජපානයේ නායකයන් බුදුන්ගේ සහ අවලෝකිතේශ්වර බෝසතුන්ගේ නමින් බොහෝ අපරාධ සිදු කළා... .. ථේරවාදීන්ගෙ සාපේක්ෂව ඉතාම අඩුයි... ඒත් දැන් ඉන්න අයියලා ඒ කලු පැල්ලමත් ගා ගනියි වගේ වැඩි කල් යන්න කලින්...

ඒ නිසා අපිට හැඟෙන දේ තමයි, ඔය කොයි කාගෙත් කිල්ලෝට ඇද්දොත් හුණු නැව් පිටින් හොයා ගන්න පුලුවන් කියන එක... එක පිරිසකට විතරක් "මෙන්න මුන් තමා ම්ලේඡ්චයො" කියලා වටකරගෙන ගැහුවට වැඩක් නෑ...

ආගම කියන්නෙත් ජලය වගේ... ඇසුරූ බඳුනේ හැඩය ගන්නවා... ඕනම ආගමක්, ඒ ආගම සංක්‍රමණය වන කළාපයේ ඉන්න මිනිස්සුන්ගෙ හිතුම්, පැතුම්, ඒ හිතුම් පැතුම් සැකසූ පාරිසරික සාධක, පුරුදු, පුහුණු සහ විශේෂයෙන්ම ඒ මිනිස්සු හදාගෙන ඉන්න සංස්කෘතියේ හැඩය ගන්නවා... එයින් පස්සෙ ඒ ආගමේ ධර්ම කරුණු කාරණා වෙන්නෙත් ඒ මිනිස්සු එකතු කරන මතවාද... සාහිත්‍ය වෙන්නෙත් ඒ මිනිස්සුන්ගෙ සාහිත්‍යමය කියැවීම්... විශ්වාස වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ විශ්වාස... අපේ රටේ බෞද්ධයන් ගව මස් කෑම ප්‍රතික්ෂේප කරනවා... අග්නි දිග ආසියාවෙ ඉන්නවා ගැරඬි, තණකොළ පෙත්තො කන බෞද්ධයො... ඒ ආගම ගිය සංස්කෘතියෙන් හැටි... "අසංස්කෘතික " හැසිරීමක් පෙන්වන කිසිදු ආගමක් මෙලොව නැහැ... ඔක්කොම හැසිරෙන්නෙ ගිය තැන මිනිස්සු චිරාත් කාළයක් තිස්සෙ හැසිරුණු හැටියට.. ඒ මිනිස්සුන්ගේ මොළවල ප්‍රමාණය අනුව තමයි ආගමෙන් අනාගතයේ ඒ ප්‍රදේශ වල හැදෙන සංස්කෘතිය පෝෂණය වෙන්නෙත්...

අනාගතය දිහා සුභවාදීව බැලීම වටිනවා.. මොකද මිනිසා දැනුමෙන් සහ තාක්ෂණයෙන් තව ඉදිරියට යනවිට, දියුණු ලෝකයෙන් සම්ප්‍රේෂණය වන නිදහස් අදහස් ඉදිරියේ ඔය හැම ආගමකටම හීලෑ වෙලා, තමන්ගේ ශිෂ්ඨත්වයේ මායිම් තුළ ක්‍රියාත්මක වෙන්න සිද්ද වෙයි... කළාපීයව ඒ වෙනස් කම් සුලුවෙන් හෝ සිදුවෙමින් එනවා.. අනාගතයෙදි කාළයට ගැළපෙන්න අනුවර්තනය නොවෙන ආගම් ඉතිහාසයට එකතු වෙයි... එහෙම වෙනස් උනොත්, වඩා ශිෂ්ඨ සම්පන්න විදිහට ඉදිරියට යයි...

අදහස - දමිත් කේතක 
www.facebook.com/damith.kethaka

3 comments :

භක්ති ආරියපාල said...

සාමාන්‍ය මිනිසුන්ගේ,දෙවියන්ගේස්භාවය තමයි ස්තේ රාගය, ද්වේශය, මොහය ආදී අකුසලයන්ගෙන් සිත දූශනය වෙලා තිබීම. නමුත් ‍රහතන් වහන්සේලා තුල කිසිම දෙයකට රාගයක්, ද්වේශයක්, මෝහයක් නොමති නිසා රහතන් වහන්සේලා කටපාඩමින් ගෙන ආ බුද්ධ දේශනා වෙනස් වීමට කිසිදු හේතුවක් නොමත. ඕනෑම අයෙකුට එසේ සිත පිරිසිදු කර ගැනීමේක්‍රම වේදය බුද්ධ දේශනවන් තුල දක්වා තිබේ

තේරවාදය තුල ගැටුම්ිී ඉතාමත් අඩුයි කියන්නෙ සුලු ප් ප්‍රමානයක් තියෙනව කියන එකනෙ. එසේනම් තේරවාදයේ නාමයෙන් සිදුවූ එක ගැටුමක් හෝ දක්වන්න

සංස්කෘතිය අනුව බුදු දහම වෙනස්වේනම් එයට එක උදාහරනයක් ‍හෝ දක්වන්න. මස්කෑම සන්ස්කෘතික ගැටලුවකි. බුදු දහම යනු ත්‍රිපිටකයයි. එබැවින් බුදුදහම යනු ත්‍රිපිටකය මිස සංස්කෘතිය නොවේ. එබැවින් ත්‍රිපිටකයේ වෙනස්වීම් දක්වන්න

භක්ති ආරියපාල said...

සාමාන්‍ය මිනිසුන්ගේ,දෙවියන්ගේස්භාවය තමයි ස්තේ රාගය, ද්වේශය, මොහය ආදී අකුසලයන්ගෙන් සිත දූශනය වෙලා තිබීම. නමුත් ‍රහතන් වහන්සේලා තුල කිසිම දෙයකට රාගයක්, ද්වේශයක්, මෝහයක් නොමති නිසා රහතන් වහන්සේලා කටපාඩමින් ගෙන ආ බුද්ධ දේශනා වෙනස් වීමට කිසිදු හේතුවක් නොමත. ඕනෑම අයෙකුට එසේ සිත පිරිසිදු කර ගැනීමේක්‍රම වේදය බුද්ධ දේශනවන් තුල දක්වා තිබේ

තේරවාදය තුල ගැටුම්ිී ඉතාමත් අඩුයි කියන්නෙ සුලු ප් ප්‍රමානයක් තියෙනව කියන එකනෙ. එසේනම් තේරවාදයේ නාමයෙන් සිදුවූ එක ගැටුමක් හෝ දක්වන්න

සංස්කෘතිය අනුව බුදු දහම වෙනස්වේනම් එයට එක උදාහරනයක් ‍හෝ දක්වන්න. මස්කෑම සන්ස්කෘතික ගැටලුවකි. බුදු දහම යනු ත්‍රිපිටකයයි. එබැවින් බුදුදහම යනු ත්‍රිපිටකය මිස සංස්කෘතිය නොවේ. එබැවින් ත්‍රිපිටකයේ වෙනස්වීම් දක්වන්න

Anonymous said...

බෞද්ධ දර්ශණය සහ බෞද්ධ සාහිත්‍ය්ය යනු දෙකක් බව මම හිතමි.බුදුන් දේශනා කලදේ සහ කලින් කලට සාහිත්‍යමය අංගරචණා ඇතුලත්ව අපට ඔබට දකින්නට ලැබෙන දේ පැහැදිලි කර ගත යුතුයි.

Post a Comment