Thursday, May 22, 2014

සමන්තබද්‍රහිමිගේ අසිරිමත් පිණ්ඩපාත චාරිකාව

මේවනවිට බෞද්ධයින් අතර බොහෝසේ කතාබහට ලක්වෙමින් පවතින සිරි සමන්තබද්‍රහිමියන් විසින් අසිරිමත් පිණ්ඩපාත චාරිකාවක් සංවිධානය කර තිබින.

පිණ්ඩපාතය යනු පිඩු සිඟීම සඳහා වඩිනා භික්‍ෂූන් වහන්සේ නමකට පිළිගන්වනු ලබන ආහාරයයි. බුදුන්වහන්සේ පහළවීමටත් ප්‍රථම කාලයේ සිටම ශ්‍රමණයන් වහන්සේලා පිඬුසිඟීමෙහි යෙදුණු බව පෙනේ. එබැවින් බෞද්ධ භික්‍ෂූන් පිණ්ඩපාතයේ වැඩීම බුදුන්වහන්සේගේම නියමයක් නොවේ.

ආදි කාලීන ඉන්දීය බ්‍රාහ්මණයෝ කාමුක ගෘහස්ථ ජීවිතයක් ගත කළහ. ඔවුහු සැදැහැවතුන් දෙන වස්තුව ද පිළිගත්හ. එහෙත් ශ්‍රමණයන් නමින් හැඳින්වෙන පිරිස සම්පූර්ණයෙන් ම ගිහි ජීවිතයෙන් ඈත් වූහ. බුදුන් වහන්සේද ශ්‍රමණ පිළිවෙතට ඇතුළත් වූ අතර උන්වහන්සේ පිණ්ඩපාතය අනුමත කළා පමණක් නොව ‘භික්‍ෂුව‘ නමින් හැඳින්වෙන පැවිද්දන්ට මැනවින් සංවිධානය කළ විනය පද්ධතියක් ද සකස් කළහ. ‘භික්‍ෂු’ යන්නෙහි පදගතාර්ථය නම් ‘පිණ්ඩපාතයෙන් යැපෙන්නෝ’ යනුයි. එහෙත් බුද්ධ ධර්මයේ එන භික්‍ෂු යන්නෙහි විශේෂත්වයක් ඇත.

පිණ්ඩපාත චාරිත්‍ර

තමන්ගේ පන්සලට හෝ අසපුවට මිනිසුන් විසින් ගෙනෙන දානයක් පිළිගැනීමට මෙහිදී කිසිම බාධාවක් නැත. එසේම දානය සඳහා සැදැවතුන්ගේ ගෙවල්වලට වැඩීමට ද බාධාවක් නැත. එහෙත් පිණ්ඩපාතයෙහි වැදගත්කම රඳා ඇත්තේ භික්‍ෂූන් වහන්සේලාගේ ගුණ ධර්ම වර්ධනය කර ගැනීමට ඇති ඉඩකඩ අනුව ය. සෑහීමකට පත්වීම, නිහතමානීකම ආදි ගුණධර්ම වර්ධනයට මෙන්ම පොහොසත් දුප්පත් හැමදෙනාටම පින්සිදුකර ගැනීමට ඉඩ කඩ ලබාදීම මෙහි දී වැදගත්කමයි.

‘පිඬුසිඟායාම’ යනු සාමාන්‍ය හිඟාකෑමක් නොවේ. එය ඊට සම්පූර්ණයෙන් වෙනස්වූවක් වන අතර සුවිශේෂී අරුතක් ද ඇත්තකි. සූත්‍ර පිටකයේත්, විනය පිටකයේත් එන පිණ්ඩපාතය පිළිබඳ බුදුන්වහන්සේගේ ඉගැන්වීමෙන් එය මනාව පැහැදිලිව තේරුම් ගත හැකි ය.

1. පිණ්ඩපාතයේ යන භික්‍ෂුව තනිපට සිවුරත් දෙපට සිවුරත් යන දෙකම දැරිය යුතු ය.

2. පාත්තරය වමතින් ගෙන නාභියෙන් ඉහළ කුසමත තබා සිවුරෙන් වසාගත යුතු ය.

3. භික්‍ෂුව ගමන් කිරීමේ දී තමාගේ දකුණත මැනවින් සිවුර රඳවා ගැනීමට භාවිත කළ යුතු ය.

4. භික්‍ෂුව සන්සුන්ව ගම දෙසට පියවර තබන්නේ වියගහක දුර ප්‍රමාණයට ඉදිරි බලාගෙනය.

5. පොහොසත් අයය දුප්පත් අයය යයි ද නොසළකා එසේම උසස් කුල පහත් කුල යැයි ද නොසලකා සියලුම නිවෙස් වලට පිඬු පිණිස භික්‍ෂුව ගමන් කරයි.

6. ආහාරයේ රසවත් බව ද නොසලකා, කවරෙකු විසින් දෙන්නේ දැයිද නොසලකා භික්‍ෂුව සැදැහැවතුන් විසින් දෙනු ලබන ආහාර පිළිගත යුතු ය.

7. පිඬු පිණිස වඩිනා භික්‍ෂූන් වහන්සේ ගෙදරට තරමක් ඈතක දුරින් ඉදිරිපස දොර පැත්තේ සිටගත යුතු ය.

8. ඔහු වහා ඇතුල් නොවිය යුතු අතර වහා පිටත්ව ද නොයා යුතු ය.

9. ගෙදර ඇත්තන්ට බඹයක් පමණ ඈතින් ළංව ඔවුන් අහර පිළිගැන්වීම සූදානම් දැයි දැනගත යුතු අතර ඔවුන් ඒ සඳහා අකමැති නම් එතැනින් පිටව යා යුතු ය.

10. අහර පිළිගැනීමේ දී භික්‍ෂුව පාත්‍රය දෑතින්ම අහර පූජා කරන්නා වෙත ඉදිරිපත් කළ යුතු ය.

11. භික්‍ෂුව, අහර පිළිගන්වන්නාගේ මුහුණ දෙස නොබැලිය යුතු ය, පිළිගන්වන ඔහු හෝ ඇය සමඟ සිනාසීම හෝ කතා කිරීම නොකළ යුතු ය. විශේෂ ආහාරයක් ගැන ද කතා නොකළ යුතු ය.

12. බත් පිළිගැන්වූ බැතිමතා වෑංජනයක් පිළිගැන්වීමට සූදානම් වන්නේ නම් භික්‍ෂුව ඊට සූදානම් විය යුතුය, එහෙත් ඊට අකමැත්තේ නම් එතැනින් ඉවත්ව යා යුතු ය.

13. පාත්තරයෙන් බාගයක් පිරෙනතුරු පමණක් පිණ්ඩපාතය පිළිගෙන, අවස්ථාව පැමිණෙන විට පිණ්ඩපාත චාරිකාව නැවැත්විය යුතු ය. කෑදර කම හෝ බොහෝ ආහාර ලබාගැනීම භික්‍ෂුවකට සුදුසු නොවේ.

14. අවශ්‍ය තරමට ආහාර ලැබුණ විට භික්‍ෂුව තමාගේ පන්සලට හෝ වාසස්ථානයට යා යුතු ය. බඩගිනි දැනුනේ නම් හා ආපසු පන්සලට යාමට තරම් වේලාව නොසෑහේ නම්, ගසක් මුල හෝ ගල් ගුහාවක් ළඟ, පානය කිරීමට පැන් ලැබෙන්නේ නම් පමණක් නැවතී ආහාර වැළඳිය හැකි ය.

15. මිනිසුන් ගැවසී ඇති තැන්වල හෝ වීදිවල ආහාර ගැනීම නොකළ යුතු ය.

16. පුරුද්දක් වශයෙන් ම බීම සඳහා ගන්නා ජලය පෙරහනකින් පෙරාගත යුතු ය. පෙරහන්කඩක් නොලැබෙන්නේ නම් සිවුරු කොනකින් වත් ජලය (පැන්) පෙරා ගත යුතු ය.

17. යම් කිසි පන්සලක භික්‍ෂූන් වැඩි ප්‍රමාණයක් සිටින්නේ නම් ඔවුන් හැම දෙනාට ම පිණ්ඩපාතේ එකවර වැඩිය හැකි ය. අඩි 6 ක් හෝ 7 ක දුර ප්‍රමාණයක් ඇතිවනසේ, එක එක්කෙනා පිටි පසින් ජ්‍යෙෂ්ඨත්වය අනුව පෙළක් සෑදී එකම මාර්ගයේ ගමන් කළ යුතු ය.

18. අවශ්‍ය පමණ අහර ලැබුණු භික්‍ෂුව ආපසු පන්සලට ගොස් ආහාර වැළඳීමට සූදානම් කර ගනියි.

19. සියල්ලටම පසුව ආහාර ගන්නා භික්‍ෂූන් වහන්සේ දාන ශාලාව පිරිසුදු කළ යුතු ය.

20. ආහාර ඉතිරිවුවහොත් ඒවා සතුන්ට හිඟන්නන්ට හෝ වෙනත් අවශ්‍ය කෙනෙකුට හෝ දිය හැකිය.

21. ආහාර ඉවත දැමීම හෝ විනාශ කිරීම නොකළ යුතුය. යම් කිසි භික්‍ෂුවකට ආහාර ඉවත දැමීමට සිදුවුවහොත් ඒවා තණකොළ නැති බිමක තැන්පත් කිරීමට හෝ සතුන් නොමැති ජලයකට දැමීම හෝ කළ හැකි ය.

22. උදෑසන හීල් දානය සඳහා පිණ්ඩපාතයට වඩින්නේ, හිරු උදාවෙන් ස්වල්ප වේලාවකට පසු ය. දිවා ආහාරය සඳහා දවල් කාලයේ පිණ්ඩපාතයේ ගොස් මධ්‍යහ්නයට පෙර දන් වළඳා අවසන් කළ යුතු වෙයි. හිරු අවරට ගිය පසු පිණ්ඩපාතයේ නොයන්නේ සන්ධ්‍යාවේ ආහාර ගැනීම විකාල භෝජනයක් වන බැවිනි.

23. බුද්ධ කාලයේ දී භික්‍ෂූන් පිණ්ඩපාතයේ යන ලද්දේ දවසකට එක් වරක් බව බෞද්ධ ත්‍රිපිටකයේ උදාහරණ වලින් දැක්වේ.

24. බුද්ධ නීති අනුව ගණිකාවන් සිටින තැන්වලටත් සුරාසැල්වලටත් භික්‍ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ නොගියහ. නොදැනුවත්කමින් එබඳු තැනකට ගියහොත් භික්‍ෂුව වහා ඉන් පිටව යා යුතු ය.

25. දන් දීමට කැමැත්තක් නොදක්වන මිනිසුන් වෙතත්, ශ්‍රද්ධාවන්තකමක් නොදක්වන මිනිසුන් වෙතත්, භික්‍ෂූන් වහන්සේලා නොවැඩිය යුතු ය.

පින්ඩපාතේ වඩිනා භික්‍ෂූන් වහන්සේලා සඳහා බුදුරජාණන් වහන්සේ විසින් මේ පනවන ලද මාර්ගෝපදේශයයි.

By මනෝරම වීරසිංහ


පසු සටහන - 

සියලුම ආගම් නිර්මාණය වන්නේ පවත්නා සමාජ, ආර්ථික දේශපාලන තත්වයන්ට අනුවය. ඒ අනුව එම තත්වයන් වෙනස්වන සෑම අවස්ථාවකදීම ඕනෑම ආගමක මුහුණුවර (ගුනාංග) එම තත්වයන්ට අනුව නැවත සකස්වීම සිදුවේ. එසේ නෙවන ආගම් අභාවයට යාමද අනිවාර්යයකි. මෙම තත්වය තේරුම්ගැනීමට ඉතිහාසය පුරාම ඕනෑතරම් උදාහරණ දැකගත හැකිය. එමෙන්ම සෑම ආගමකින්ම මානව වර්ගයාගේ සංවර්ධනය උදෙසාවූ කිසියම් ආකාරයක යහපත් දායකත්වයක් අඩුවැඩිවශයෙන් ලබාදී ති‍බේ. නමුත් මිනිස් සමාජයේ මිනිසා මුහුනදෙමින් තිබෙන සැබෑ අර්බුධවලට ආගමික මතවාදයන් විසින් ලබාදෙන විසඳුම් පිලිබඳව නිවැරදි හඳුනාගැනීමකින් තොරව, පරන වාහනය පිලියම්කරමින් පරණ ගමනම යාම නිෂ්පළ කාර්යකි.

සිරි සමන්තභද්‍ර හිමිගේ "අසිරිමත් ප්ණ්ඩපාත චාරිකාවේ සියළුම චායාරූප මෙතනින් නරඹන්න... Click here...

2 comments :

Dinesh said...

අනේ මන්දා ඉතින් මේවට මොනවා කියන්නද කියලා..

w a thilak said...

ඔබේ සටහන කියවා අවසානයේ පීණ්ඞපාත චාරිකාවේ පින්තූර බැලුවා.මොකක්ද මන්දා හිතේ කොනක ප්‍රශ්නයක් තියෙනවා.

Post a Comment