Sunday, May 11, 2014

චේගේ බාප්පලා ලංකාවෙන් මතුවීම - ලෝක තරුණ සමුළුවට පසුවදනක්

මේ දිනවල කොළඹදී ලෝක තරුණ සමුළුවක් පැවත්වේ. මෙම සමුළුවට සහභාගී වූ නයිජීරියානු තරුණයින් පසුගියදා උද්ඝෝෂණයක යෙදුනි. ඒ එරට බොකෝ හරාම් නම් සංවිධානයක් විසින් එරට චිබෝක් නගරයේ පාසලින් ගැහැණු ළමුන් පැහැර ගැනීමට අදාල සිිදුවීමට විරුද්ධවය. මේ පිළිබඳ සමුළුවේ සභාපතිත්වය දරන ලංකාවේ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තරුණයන්ට එසේ කිරීමට අයිතියක් තිබෙන බවත් තරුණයන් එසේ නොකරයි නම් ඔවුන්ගේ තරුණකම ගැන ප‍්‍රශ්නයක්ද වන බවයි.

අප නම් අසා තිබෙන්නේ ‘‘තරුණයකු වීත් විප්ලවවාදී නොවන්නේ නම් එය ජීව විද්‍යාත්මක ප‍්‍රශ්නයක්’’ යනුවෙනි. කෙසේ නමුත් ඩලස් අලහප්පෙරුම කියන්නේ ඔහු හිතන විධියට හිටපු පරණ විප්ලවකාරයෙක් නිසා බාගවිට ඒ ප‍්‍රකාශයේ තිබුණ විප්ලවවාදී කෑල්ල අතහැරිලා ජීව විද්‍යාත්මක කෑල්ල විතරක් මතක තිබී එය ප‍්‍රකාශ කළා වන්නට පුළුවන. මොකද ඩලස්ලා අද කරන්නේ ඔය කතාවේ විප්ලවවාදී කොටස අතහැරලා ජීව විද්‍යාත්මක කෑල්ල ගොඩදාගන්න ධනපතියන්ගේ ගුබ්බෑයම් වල වලං සේදීම වන නිසාය.


එහෙම කියන්න හේතුවක් තියනවා. දැන් මේ ලෝකෙ තරුණයන්ට දේශපාලනේ උගන්වන් යන අපේ රටේ ඉන්න චේ ගේ බාප්පලා වගේ උන්දලාට පසුගියදා මෙරට තරුණ සිසුන් තමන්ගේ අධ්‍යාපන ප‍්‍රශ්නයක් විසඳගන්න පාරට බැස්සම ඔය ශ‍්‍රී මුඛ වලින් වගේම පවුලේ මාධ්‍ය පඩංගු වලින්ද කියවුනේ ඔය කතාව නොවන නිසාය. මොකද එහෙම කිව්වනම් එදාට උන්දලාගේ ජීවවිද්‍යාත්මක ප‍්‍රශ්නෙට (බඩගෝස්තරවාදයට* කෙල වෙන බව දන්න නිසාය.

ලංකාවේ තරුණයන් හොඳින්ම දේශපාලනය කරන තැන වන්නේ විශ්වවිද්‍යාලයි. නමුත් එහිදී ධනපති පාලකයන් කියන්නේ ‘‘ඔයාල තාම බබාලනේ, අනික ඔයාල අවුරුදු 18ට වැඩි උනාට ඔයාලට තාම අපේ පුතාලට වගේ ජීවවිද්‍යාත්මක අවශ්‍යතාත් නැති නිසා නෝටි වැඩ නොකර පාඩුවේ දෙන මහපොළ 2500 අරගෙන කොහොමහරි ඒකෙන් මාසයක් කාලා උපාධි කට්ට ගොඩ දාගන්න. ඊට පස්සේ ගමට ගිහිල්ලා අපේ මන්ත‍්‍රීතුමෙක්ගේ ගෙවල් පැත්තෙ ගිහිලා, දොර අරින් නැත්නම් පස්සා පැත්තෙන් හරි රිංගලා කියන තැනකට වැඳලා ඡුන්ද කාලෙට පොඩි කැන්වසින් පාරක් එහෙම ගිහිල්ල කරන්න දේශපාලනේ. ඒකත් මේ රට වෙනුවෙන්නේ ඒ හින්දා මොණවත් ඉල්ලන්න එපා දෙන ජොබ් කට්ටක් අරගෙන එහෙන් දෙන ඇටටික බෙදලා හරි නැත්නම් නිකන් ඉඳලා හරි දෙන රුපියල් 10000 අරගෙන ඒකෙනුත් විශ්වවිද්‍යාලෙ විධියට 2500ට කාලා ඉතිරිය දරුවන්ගේ ඉස්කෝලෙටයි උන්ගෙ ටියුෂන් වලටයි ගෙවල ඉතිරියෙන් ගෙවන මිලට ෆ්ලැට් ස්ක‍්‍රීන් රූපවාහිනියක් අරගෙන දවල්ට අපිට කඹුරන ගමන් රූට ඒක බලලා ජීවවිද්‍යාත්මක ප‍්‍රශ්නත් ඉවර කරගෙන ඔය ඉඳල හිටලා අධිවේගී මාර්ගයක් හැදුවම වරායක් හැදුවම අපි දාන බස්එකක පවුල පිටින්ම සෙට් වෙලා ගිහිල්ලා මැයි දිනේටත් ඒ වගේම කොළඹ පැත්තේ රවුමක් දාලා රිලා නැටුම් එහෙමත් බලාල ආතල් එකේ ඉඳලා. ඔය නහින දෙහින කාලෙ ආවම පන්සලක් පල්ලියක් පැත්තෙ ගිහිල්ලා නොවරදවාම පින් ටිකක් කරගෙන ඊළ`ග ආත්මේත් ඔය විධියම දේශපේ‍්‍රමියෙක් වෙලා මේ මාතෘභූමියේ ඉපදෙන්න කියාය.’’

එහෙම නැතුව නිකන් ඕන් නැති විධියට ඔය අපි කියන විධියට ඉන්න ජනතාව යන පාරවල් වල බැහැල උන්ගෙ ආතල් කැඩුවොත් බලාගෙනයි කියාය. අද පමණක් නොව ඩලස්ලා කියන පරිදි නයිජීරියාවේ පමණක් නොව, වත්මන් ලෝකේ කොහෙත් පීඩාවට පත්වූ තරුණයාගේ ඉරණම එයයි. ඒ නිසා ඒ ඉරණම වෙනස් කළ හැක්කේ සැබෑ ලෙසම තරුණයන් විප්ලවාදි වන්නේ නම් පමණි. නමුත් එය සිදු වන්නේ ධනපති ගුබ්බෑයම් වල කරන සමුළුවලින් හරි ඒවායේදී චේගේ බාප්පලා වැන්නවුන් කරන දේශන වලින් වත් නොව සැබෑ ජීවිතයේ ප‍්‍රශ්නය විසඳාගැනීම සිදු කරන සාමූහික මැදිහත්වීමක් අරගලයක් තුළිනි. එය නයිජීරියාවේ තරුණයන්ද ලංකාවේ තරුණයන්ද තේරුම් ගත යුත්තකි.

Original source - www.lankaviews.com/sn

1 comments :

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය said...

මගේ බ්ලොග් සින්ඩියටත් බ්ලොග් එක දාන්න

http://blogdharshakaya.blogspot.com/

Post a Comment