Sunday, November 24, 2013

මොනවද මේ අලූත් භාෂාව - උපුල් ශාන්ත සන්නස්ගල

උපුල් ශාන්ත සන්නස්ගල
උපුල් ශාන්ත සන්නස්ගල
”මචං පට්ට සීතලයි.... කටට රහට දැවිල්ලට මොනවා හරි කාලා පොඩි ඇලට් එකක් දාන්න තිබුණා නම් පට්ට සැපයි” මිතුරියකගේ වදන් ඔස්සේ මම අතීතය වෙත ඇවිද ගියෙමි. එදවස මිතුරන් මිතුරන්ට ආමන්ත‍්‍රණය කිරීම සඳහා මචං යන ආමන්ත‍්‍රණය යොදා ගත්තත් මිතුරියන් මිතුරියන්ට අමතනු සඳහා මචං යන ව්‍යවහාරය යොදා ගත්තේ නැත.

එහෙත් අද නමින් අමතනු වෙනුවට ”-මචං” යන ආමන්ත‍්‍රණය මිතුරන් අතර පමණක් නොව මිතුරියන් අතරද ජනපි‍්‍රය ඇමතුම් පදයක් බවට පත්වී ඇත. අනේ කාලේ වනේ වාසේ කීවේ ලූ... යුගයෙන් යුගයට සමාජය අතික‍්‍රමණය කරන බොහෝ දෑ අතර අලූත් වචනද එක් දෙයක්යැයි කීවොත් එය නිවැරදිය.

පසුගිය කාලයේ අප සමාජයේ අතිශය ජනපි‍්‍රය වචනයක් බවට පත්වූයේ ‘පට්ට’ යන වචනයයි. පට්ට යන්නෙන් අරුත් ගැන්වෙන්නේ කුමක්ද? මේ ඒ පට්ට පිළිබඳව සොයා යාමකි. පට්ට සේම කටට හුරුවූ තවත් වචන පිළිබඳව මතකය ද ඒ සොයායාමේදී හමු විණි. ඉතිකින් මේ වනාහි පට්ට පෙරටු කරගෙන පට්ටවලට පෙර හා පසු පැමිණි තවත් වචන පිළිබඳව ද විමසා බැලීමකි.

භාෂාවේ පදවලට එක් එක් කාලවලදී දෙන අර්ථ වෙනස් වීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස සුඟක් යන්න පැරැණි භාෂාවේදී ඉතා ස්වල්පයක් යන්න හැඟවනු පිණිස භාවිත වූ වදනකි. එහෙත් අද ඇත්තේ මීට සම්පූර්ණයෙන්ම ප‍්‍රතිපක්ෂ වූ අර්ථයකි. අද භාවිත වන්නේ සුඟාක් නොව හුඟාක් යන වචනයයි. එයින් අදහස් වන්නේ ස්වල්පාර්ථය නොව බහුලාර්ථයයි.

මෙය භාෂාව පරිණාමය වීමයි. මළ භාෂාවක් නම් මෙසේ පරිණාමය වන්නේ නැත. භාෂාවක් යනු ප‍්‍රාණයක් සහිත දෙයකි. භාෂාවට පණ ඇති හෙයින් භාෂාවේ පදවල අරුත් කලින් කලට වෙනස් වේ.

එමෙන්ම භාෂාවක එක් එක් විෂයන්වලට අනන්‍ය වූ පාරිභාෂිත වචනද පවතී. පාරිභාෂිත වචන අදාළ වූයේ එකී විෂයට අදාළව පමණි. එහෙත් නූතන ලේඛකයන් මෙම වචන තමන්ට අවැසි පරිදි තම ලේඛනය සඳහා යොදා ගැනීමේ ප‍්‍රවණතාවක් මේ වන විට ඇතිව තිබේ. උදාහරණයක් ලෙස අවශෝෂණය කරගැනීම විද්‍යා විෂය ධාරාවට අනන්‍ය වූ පාරිභාෂිත වචනයකි. එහෙත් අද සාහිත්‍ය විචාරවලදී මෙම වචනය භාවිත කරනු දක්නට ලැබේ.
සංගායනාවක් යනු යතිවරයාණන් වහන්සේලාට පමණක් කළ හැක්කක්යැයි ඇතැම්හු සිතති. එහෙත් සංගායනාව යනු යහපත් ගායනාවක් යන අරුත් ඇති වචනයකි. යමෙක් පවසතොත් ව්‍යාකරණ සංගායනාවක් පිළිබඳව එතෙනදී සිදුවන්නේ බෞද්ධ සංස්කෘතිය තුළ භාවිත කළ වදනක් සාහිත්‍යයට අදාළව භාවිත කිරීමකි.

පෙර කල දේහය යන්න භාවිත කළේ මෘත දේහය යන්න කරන සඳහනකදීය. එහෙත් අද කාව්‍ය විචාරයේදී ද දේහය යන වචනය පරිහරණය කරයි. කාව්‍ය ආකෘතිය යන්න වෙනුවට ඒ අරුතින්ම කාව්‍ය දේහය යන්න යොදා ගැනීම අද දක්නට ලැබෙන්නකි.

ආචීර්ණකල්පිත අදහස් දරන, නොඑසේ නම් වෙනස්වීම යන්න පිළිගැනීමට අකමැති භාෂාව විනාශ වේ යැයි චෝදනා කරන භාෂාව සංස්කෘතියක් ලෙස පිළිනොගන්නා භාෂාවේ වෙනස්වීමට විරුද්ධව අදහස් දක්වන අය මෙය භාෂාවේ ශුද්ධ බව නැති කර භාෂාව කාලකන්නි කිරීමක් ලෙස හැඳින්වුවද මෙය භාෂාව විනාශ කිරීමක් ලෙස අප නොපිළිගන්නේ ජීව භාෂාවකට මෙකී උරුමයන් සහ වෙනස්වීම් නිසඟයෙන්ම අනන්‍ය වන බැවිනි.

භාෂාවේ ආමන්ත‍්‍රණ නිපාත ලෙස හඳුන්වන නිපාත පද විශේෂයක් පවතී. ව්‍යාකරණ පතපොතේ ආමන්ත‍්‍රණය කිරීමේ නිපාත යටතේ ඇත්තේ එම්බා, එම්බල, බොල, තෙල, බොලේ, ඒයි, ඕයි යන ආමන්ත‍්‍රණය. එහෙත් අද සමාජයේදී මේ එක් වචනයක්වත් පොදුවේ ආමන්ත‍්‍රණ සඳහා යොදාගත හැකිද යන ප‍්‍රශ්නය පවතී. පොතේ ඇති නිපාතය එය වුවත් සමාජයීය වෙනස අනුව භාවිත කිරීම පිළිබඳ ප‍්‍රායෝගික ගැටලූවක් පවතී.

අව්‍ය පදයකදී ස්තී‍්‍රලිංගxපුරුෂලිංග යන භේදය නොපවතී. ඒක වචන බහු වචන යන භේදය නැති වේ. එමෙන්ම විභක්තිවලදී වර නගන්නට නොහැකි වේ. උදාහරණයක් ලෙස මෙන් යන නිපාතයට ස්ති‍්‍රලිංග පුරුෂලිංග භේදයක් නැත. වරනගන්නටත් නොහැක. ඒක වචන බහු වචන භේදයකුත් නැත.

අඩෝ යන වචනය ගතහොත් ව්‍යාකරණ පොතේ හැරෙන්නට නාට්‍යයේත්, චිත‍්‍රපටියේත්, පත්තරයේත්, පොලිස් වාර්තාවලත්, නවකතාවේත්, කෙටිකතාවේත් මේ වචනය නැත. ව්‍යාකරණ පොතේ තිබුණත් එම්බා, බොල, තෙළ, බොලේ යන ආමන්ත‍්‍රණ මේ එක් මාධ්‍යයක්වත් නැත. භාෂාවේ ජීවගුණය, භාෂාවේ වෙනස්වීම් ස්වභාවය මෙයයි.



අනාගතයේදී -”මචං” යන ආමන්ත‍්‍රණය නිපාතයක් වන බවට ඉඟි ලැබෙමින් පවතී. නිපාතයක් වීමට නම් වචන භේදයක් නැතිවිය යුතුය. මචං යන්නේ වචන භේදය අද වෙද්දී තුනීවෙමින් නැතිවෙමින් යමින් පවතී. මචං යන්නට තිබූ නිශ්චිත අර්ථය මස්සිනා යන්නයි. අද ගැහැනු ළමයින් ගැහැනු ළමයින්ටත් පිරිමි ළමයින් පිරිමි ළමයින්ටත් මේ කිසිදු භේදයකින් තොරව මචං යන්න භාවිත කරයි. නිශ්චිත අර්ථය හා ලිංග භේදය නැතිවී මචං යන්න ආමන්ත‍්‍රණ නිපාතයක් බවට අද පත්වී ඇත. ව්‍යාකරණ ඇදුරකු මචං යන්න නිපාතයක් ලෙස හැඳින්නොවූවත් අනාගතයේදී එය එසේ වන බවට ඉඟි පවතී.

එදා ගම්වල පට්ට යන වචනය ඇතැම් අවස්ථාවල භාවිත කළේ ඉතාම නරක යන අර්ථය දෙන්නටය. පට්ට බැල්ලී, පට්ට වෙසඟන (එය භාවිත වූයේ වෙසඟන යන්නටම යෙදුන අකුරු තුනේ වචනයකිනි.) පට්ට බවට පත්වුණේ පර යන වචනයයි. පරබල්ලා, පට්ට බල්ලා බවට පත්වුණේය. මෙතනදී පර ලෙස ගැනුණේ නරක, අධම, නීච යන අරුතයි.

එහෙත් අද පට්ට යන්නෙන් අරුත් ගැනෙන්නේ සරලව කිවහොත් -”මාර” යන්න වන භාවිතයට සමාන අරුතකි. විශාල උත්කර්ෂයට පත්වන කි‍්‍රයාවක්, සංතෘප්තිදායක දෙයක්, විශ්මය ජනක දෙයක් යන්න සඳහන් කිරීමට ඒ සියලූ අර්ථ කැටිවූ වචනයක් ලෙස පට්ට යන්න භාවිත කරයි.

පට්ට ෆිල්ම් එකක් බැලූවා මචං යනුවෙන් පවසද්දී පට්ට යනු හද්ද පිටිසර වචනයකි. ෆිල්ම් යනු චිත‍්‍රපටිය යන්නට යෙදෙන ඉංගී‍්‍රසි වචනයයි. නියම, ලස්සන, හොඳ, -මාර ගති” චිත‍්‍රපටියක් යන්න දැක්වීමට මෙතනදී මේ සියල්ලේ අරුත් කැටිකොට පට්ට යන්න යොදා ගනී.

පට්ට ආතල්, ගැනීම යනු සාදයකදී විනෝද ගමනකදී, නැතිනම් ලිංගික කි‍්‍රයාවකදී ආදරණීය ගනුදෙනුවකදී උතුරා යන අප‍්‍රමාණ සතුටක් අත්විඳීමය. ඇතැම් විට පට්ට යන්න පමණක් අදින ස්වරයෙන් කියමින් නතර කරයි. එයින් අරුත් ගැනෙන්නේ ඉන් එහාට කීමට වදන් නැත යන්නය. සියලූ රස උපරිම අයුරින්? සාරාංශ කොට පට්ට .... යනුවෙන් කියයි. පට්ට ආදරයක් තිබුණා... යනු ඇත්තටම තවත් විදියකින්ම කියනවා නම් බොක්කෙන්ම ආදරය කළා යන්න හැඟවීමට යොදන වචනයයි.

පට්ට කතාවක්, පට්ට සැපක්, පට්ට සීතලකි, පට්ට රහක්. මේ සියලූ කතාවලදී ඉවසා දරාගත නොහැකි ඒ ඒ හැටියට උපරිම රසපිරුණු යන්න හැඟවෙයි.
අද වාමාංශික මොඩලයේ සඟරාවල පට්ට යන්න ජනපි‍්‍රය වචනයකි. පට්ට පොලිටික්ස් යන්න නියම දේශපාලනය යන්න හඟවයි.

පට්ට කෑල්ලක් යනු ගැහැනු ළමයින් සඳහා භාවිත කරන්නකි. ඒ ගැහැනු ළමයාට පබාවතියගේ බඳු රූපයක් ඇති බව, සාලිය කුමරු අශෝකමාලා වර්ණනා කිරීමේදී කේශාන්තයේ සිට පාදාන්තය දක්වා පියයුරු, කලවා, දෙතොල, දෑස්, කෙස් මේ සියල්ල එකින් එක වර්ණනා කිරීමේදී කළ වර්ණනාත්මක ඇගයුම්, ෙඡ්ද දහයකින් පමණ ලිවිය යුතු වර්ණනා වත්මන් තරුණයින් එක් වචනයකින් කියන්නට ගත් උත්සාහයක් ලෙස පට්ට යන වචනය යොදා ගනියි. පට්ට කෑල්ල කී විට ඒ සියලූ අරුත් එහි ගැබ්ව පවතී.

පට්ට වෙසඟන යැයි කීවේ නියම උපරිම, මචනයේ පරිසමාප්ත අරුතින්ම වෙසඟනකි යන තේරුම දනවන්නටය. භාෂාවේ යමක් පැහැදිලි කරමින් කියන්නට අසීරු විට පැහැදිලි කිරීමට වචන බොහෝ ගණනක් යෙදීමට වඩා එක් වචනයක් භාවිත කිරීම පහසුය. පට්ට යන්න එසේ යොදාගත හැකි වචනයකි. පට්ට යන්න යෙදු විට නැවත පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත.

පෙර යුගයේදී පැරැණි සාහිත්‍යයේදී පදයක් ගත්විට ඊට අටුවා, ටීකා, ටිප්පනී ගැටපද, ලියාගෙන ඒමට සිදුවූයේ ඒ පදය තේරුම් කිරීම සඳහාය. ශිෂ්ටාචාරයේ දැනට ඇති විශිෂ්ටතම සන්නිවේදන සොයාගැනීම වූ කලී භාෂාවයි.

භාෂාව ඉතා දියුණු තත්ත්වයකට පැමිණ නොතිබූ යුගයේදී නිරුක්ති පැහැදිලි කරන්නට විශාල මහන්සියක් දරන්නට සිදුවිය. පට්ට වැනි වචනවලින් ඒ කිසිදු මහන්සියකින් තොරව තේරුම මේ යැයි හැඟවිය හැකිය.

අද පරම්පරාව එකඟයි යන්න හැඟවීමට -”අනිවාර්යෙන්ම” යන්න යොදාගනී. එය අද ප‍්‍රශ්නවලට ඔව්, එහෙමයි, එකඟයි මේ සියල්ල හැඟවීමට යෙදිය හැකි ස්ථීරසාර යෙදුමක් බවට පත්ව ඇත. ස්ථීරවම, ඒකාන්තයෙන්ම, සත්තකින්ම, අනිවාර්යයෙන්ම යනුවෙන් ගම්වල භාවිත කළේ ද අද පරම්පරාව අනිවාරතයෙන්ම යන්න භාවිත කරගත්තා වූ අරුතමය. එය යමක් පිළිබඳව සපථ කිරීම සඳහා එක් වචනයකින් දෙන පිළිතුරු දීමකි.

පට්ට යන වචනය භාෂාව තුළට ගෙනාවේ කවුරුන් වුවත් සිදුවුණේ එසේ වචනය ගෙනා විට එය පත්තුවීමකි. එසේ ලැව් ගින්නක් සේ වචන පත්තු කිරීම භාෂාවකදී කළ හැක්කකි.

ගැහැනු ළමයින් හැඳින්වීමට මාර කඳක් යනුවෙන් යොදා ගත්තේය. ඒ වචනය ”මාර කැත” හැඳින්වීමක් ලෙස අර්ථ විග‍්‍රහ කළ සුචරිතවාදීහු අප රටේ සිටියහ. බෝධිසත්වයන් වහන්සේ කුස ජාතකයේදී පබාවතිය හඳුන්වා ඇත්තේ ද කඳ යන නමිනි. ජාතක පොතේ ස්වර්ණ තාල ස්කන්ධයක් ලෙස පබාවතිය හඳුන්වා ඇත. ස්වර්ණ යනු රත්තරන්ය. තාල යනු තල්ය. ස්කන්ධ යනු කඳය. සරල සිංහලයෙන් ගත්තම පබාවතිය යනු රන් තල් කඳකි. වත්මන් පරපුර මාර කඳක් යනුවෙන් කළ ව්‍යවහාරය ඒ පැරැුණි ව්‍යවහාරයේම නව මුහුණුවරකි.

‘පිස්සු හැදෙන සඳ’ මීට කලකට පෙර ආ භාවිතයකි. මේක මහ පිස්සු හැදෙන කාලයක් යනුවෙන් එයින් අරුත් ගැන්වුණි. හොදි මදි, හොදි ඕන් නෑ, දිරවගන්න ලේසියි, තව හොදි ටිකක් තිබුණා නම් යන්න අද ජනපි‍්‍රය තවත් යෙදුමකි. රසය මදි, තියන රසය හොඳටම ඇති, තව රස තිබුණොත් හොඳයි යන්න මින් අර්ථ ගැන්වේ.

මල පැන්නා යන්නද පසුගිය කාලයේ භාවිත වූ ජනපි‍්‍රය යෙදුමකි. කෝප ගැන්වූවා යන්න හැඟවීමට මෙය යෙදේ. අර්ශස් රෝගය සෑදුණු විට ගුද මාර්ගයේ බඩවැල එළියට පැමිණේ. එය මලක හැඩය ගනී. වේදනාව නිසා ඒ රෝග තත්ත්වය හැදුණු විට කේන්තිය එයි. කේන්තිය ආවා යන්න ඇඟවීමට මල පනිනවා යන්න යෙදුනි. ඒ අරුතින්ම තොට අර්ශස්ද යන්න ඇසීම පසුගිය කාලයේ ආ දෙයකි.

පෙර සඳහන් කළ සියලූ වචන අපේ ඉපැරැුණි ජනවහරත් සමඟ සබඳකමක් තිබූ වචන මිස එක්වරම ප‍්‍රාදුර්භූත වූ වචන නොවේ. මේ සියල්ල භාෂණයේ තිබූ ඒවා මිස ආකාස්මික ඒවා නොවේ. භාෂා මූලයකින් හැදෙන වචන මිස ඉබේ පහළ වෙන වචන නොවේ. පට්ට සිට එල, දක්වා කී නොකී සියලූ වචනවලට එකී සත්‍ය වලංගු වෙයි.

lankadeepa.lk

2 comments :

අප්පුහාමි said...

නියම කතාව එකෙන් ම පට්ට කතාවක්

arugeadaviya said...

වටිනා ලිපියක්..

බ්ලොග් ලෝකයේ නම් මල පැනීම...පුෂ්පය විකසිත වීම ලෙස යෙදෙන බව දැක ඇත....එයද අපූරු යෙදුමකි....මෙය මුලින්ම භාවිත කලේ හැලප කඩේ බ්ලොග ලියන හැලපයා යයි හිතමි. මා වැරදි නම් නිවැරදි කරන්න.

Post a Comment