Sunday, December 8, 2013

සෝමාවතියේ බුදුරැස්

සෝමාවතී මහා සෑයෙන් බුදු රැස් විහිදෙන බව මීට දෙසතියකට පමණ පෙර ලංකාව පුරා පෝස්ටර් අලවා බෞද්ධ රටවැසියාට දැනුම් දී තිබුණි. මේ මහා උත්සවයට සති තුනකට පමණ පෙර පැවති තවත් උත්සවයක දී, කොළඹ සිට බුද්ධ රූපයක් සෝමාවතිය දක්වා වැඩමවාගෙන ගොස් තැන්පත් කෙරුණි. එදා මොරසූරන වැසි දවසකි. මේ පින්කමේ දී එක් භික්ෂූන් වහන්සේ නමක් ධර්ම දේශනා පවත්වන අතරවාරයේ අහස දෙදරා ඈතින් විදුලි කෙටුවේය. ඒ අස්සේ, බොහෝ දෙනා ඡායාරූප ගනිමින් සිටියහ. කැමරාවලින් විහිදෙන පුපුරු එළි සහ අහසේ කෙටෙන විදුලි එළි දුටු දේශක භික්ෂූන් වහන්සේ එහි සිටි සැදැහැවතුන් අමතා, 'සෝමවතිය අරා බුදු රැස් විහිදෙන අසිරිය නරඹන්නැ' යි කීහ. ඒ මොහොතේ, එතැන සිටි දහස් ගණන් බැතිමත්තු දොහොත්මුදුන් දී පළාතම දෙවනත් වන සේ සාධුකාර දුන්හ. උපන් දා සිට දැක ඇති ස්වභාව ධර්මයේ සාමාන්‍ය ප්‍රපංචයක් වන විදුලිය කෙටීමක් පවා, අවශ්‍ය කරන මුළාවේ නියම මාත්‍රාව තුළ මෝහනයට පත් වූ විට, බුදු රැස් වශයෙන් දකින්නට තරම්, මේ සැදැහැවත්තු එදා පින්වත් වූහ.

දෙවැනි දවසේ (පසු ගිය 8 වැනිදා) උත්සවයට ද ලක්ෂ ගණන් බැතිමත්තු සෝමාවතියට රැස් වූහ. එදා ද මහ වැසි වැස්සේය.-

-පෙර දා මෙන් නොව, මහවැලි ගඟ උතුරා ගොස් පාරවල් ද යට වුණේය.

දස දහස් ගණන් සැදැහැවත් ජනයා ආපසු ගම රට බලා ඒමට නොහැකිව සෝමාවතී භූමි භාගය තුළ හිර වූහ. මහා පින්කම අවසන් වන විට දෙන්නෙකු මියගොස් සිටියහ. තවත් විසි ගණනක් තුවාල ලබා රෝහල් ගතව සිටියහ.

අවසානයේ දී, උද්ගතව ඇති හදිසි තත්ත්වය සළකා, අවශ්‍ය කරන ආහාර වර්ග සහ බෙහෙත් ද්‍රව්‍ය හෙලිකොප්ටර් මාර්ගයෙන් එම ස්ථානයට සපයා දීමට රාජ්‍ය බලධාරීන්ට සිදු විය. මෝහයට එරෙහි සාරවත් දර්ශනයෙන් සිය ජීවිතය ආදර්ශවත් කළ සහ මිනිස් වර්ගයා මෝහයෙන් ලවා ගැනීම සඳහා විමුක්ති මාර්ගයක් දේශනා කළ මුනිවරයෙකුගේ අනුගාමිකයන් වශයෙන් පෙනී සිටින වර්තමාන භික්ෂූන් වහන්සේලා විසින් නූගත් සැදැහැවතුන් ශ්‍රද්ධාවෙන් අන්ධ කොට මෝහය වෙතම දක්කනු ලැබීම ඒ උතුම් මුනිවරයාට කරන සතුරු කමකට අඩු දෙයක් නොවේ.

මෙය බුද්ධාගම සම්බන්ධයෙන් පමණක් නොව, සෑම ආගමක් සම්බන්ධයෙන්ම දක්නට ඇති යථාර්ථයකි. සත්‍යය නිරීක්ෂණය කිරීම අධ්‍යාත්මික තලයේ දී තරම් ප්‍රායෝගික තලයේ දී අපහසු නැත. එහෙත් ආධ්‍යාත්මික ක්ෂේත්‍රයේ දී තරමටම, ප්‍රායෝගික ක්ෂේත්‍රයේ දී ද, අන්ධ භක්තිකයාව නොමග යැවීමට සෑම ආගමකම පූජ්‍ය පක්ෂය නිරතුරුව කැප වෙයි. මේ ගැන මදක් සැලකිල්ලෙන් කල්පනා කළ විට, සෑම ආගමක්ම පවතින්නේ මිනිස් සත්වයාගේ බිය නැමැති පදනම උඩ පිහිටා බව අපට පෙනේ.

මේ බිය කුමක් ද? එය වූ කලී, පරම අවසානයක් දැකීමට ඇති බියයි. පටන් ගත් සියල්ල අවසානයක් වීම ස්වභාවය වුවත්, මරණය නැමැති අවසානය ප්‍රශ්න කිරීමකින් තොරව බාර ගැනීමට කිසි මිනිසෙකු සූදානම් නැත. මන්ද යත්, එහි ස්වභාවය විසින්ම යම් පරම ගතියක් හෙවත් ආපසු හැරවිය නොහැකි සදාතන ගතියක් ඊට ආරෝපණය කෙරෙන බැවිනි. ඇත්ත වශයෙන් මිනිසුන් බිය වන්නේ ඒ අවසානයට වඩා ඒ අවසානය තුළ පෙනෙන්ට ඇති අර කී 'පරම' ස්වභාවයටයි. පූජ්‍ය පක්ෂය විසින් මිනිසා ඉදිරියේ ආගම අදාළ කරවන්නේ මෙතැන දීය. එම පරම ස්වභාවය ප්‍රායෝගික තලයේ දී පරාජය කළ නොහැකි මේ මිනිසාට, (මරණය වළක්වා ගත නොහැකි මේ මිනිසාට) අධ්‍යාත්මික ලෝකයක් හරහා එය සාපේක්ෂ ප්‍රපංචයක් බවට පත් කර දීමට ආගම ඉදිරිපත් වෙයි. අර මිනිසාට එය සහනයකි. ඒ අනුව, මරණයෙන් තමා සදහට අවසන් නොවන්නේය යන්න, එනම් මරණයෙන් පසුව පවා තමා නොනැසී පවතින්නේය යන්න තනි තනි පුද්ගලයා කෙරෙහි ඇති කරන්නේ සහනශීලී හැඟීමකි. නූතන මිනිස් සමාජය තුළ මේ මනෝ භාවයෙන් නිදහස් වන්නේ, නිර්-ආගමිකයා හැරුණු කොට, ආගම් කෝව තුළ තවම පුහුණු කර නැති ළදරුවාය. නිර්-ආගමිකයා මරණය පාරභෞතිකයක් බවට පත් නොකරයි. මරණය ඔහුගේ සතුටට හේතුවක් නොවුණ ද, එය සැබෑ නිමාවක් වශයෙන් අවංකව බාර ගැනීමට ඔහු සූදානම් ය. අනිත් අතට, ළදරුවා මරණය නොහඳුනයි. ඒ නිසා ඔවුන් දෙන්නාටම මේ කියන පරම අවසානය ආගමික අරුතකින් අදාළ නැත. ඒ හැරුණු කොට, ආගමික ආභාෂයකට යට වන අනිත් සෑම පුද්ගලයෙකුම මේ හැඟීමට ගොදුරු වෙයි. ජීවිත කාලයක් තුළ වඩාත් ආගමික වන්නේ කුමන වයස් කාණ්ඩයක පිරිසක් දැ යි පිරික්සීමෙන්, මරණය සමග ආගම දක්වන ඒ සමාජයීය සම්බන්ධතාව වටහා ගත හැක. ආගම කුමක් වුවත්, ඕනෑම රටක වඩාත් ආගමික වන්නේ, මහළු උදවිය වීම අහම්බයක් නොවේ.

මරණයට වඩාත් ළංවන්නේ ඔහු බැවිනි. එසේම, ඕනෑම රටක අඩුවෙන්ම ආගමික වන්නේ තරුණ පිරිස වීම ද මේ අනුව අපට තේරුම් ගත හැක. එහි අදහස වන්නේ, මරණ බිය සෑම ආගමකම මූලික පදනම වන බවයි.

එසේ බියට පත්ව සිටීම, මේ පුද්ගලයාගේ මානසික සෞඛ්‍යය සරිකර දීමේ වගකීම බාරගෙන සිටින පූජ්‍ය පක්ෂයට ඉල්ලමකි. තමාට නොපෙනෙන ඊළඟ ලෝකයේ ස්වභාවය ඒ තනි තනි පුද්ගලයාට කියා දෙන්නේ පූජකයා ය. ඒ ලෝකයේ සතුට හෝ දුක, මේ ලෝකයේ දෛනික පැවැත්ම සමග ගැටගැසූ විට, පූජ්‍ය පක්ෂය ඒ මිනිස් ප්‍රජාව අතරේ මහා බලවේගයක් බවට පත්වීම ස්වභාවිකය. කායික ලෙඩ සුව කරන වෛද්‍යවරයා මෙන්, ආධ්‍යාත්මික ලෙඩ සුව කිරීම පූජ්‍ය පක්ෂය බාරගන්නේ ඒ තතු යටතේය. එහෙත්, ලෙඩ නොවී සිටීමේ හැකියාවක් මිනිසාට නැද්ද?

නූතන ලෝකය තුළ පුරාණ කාලයට වඩා වැඩියෙන් විවිධ මට්ටමේ මානසික රෝගීන් සිටිනවා විය හැක. එය නූතන ශිෂ්ඨාචාරය සහ භෞතික දියුණුව සමග වෙනම සාකච්ඡා කළ යුතු කාරණයකි. මෙහිදී සැළකිල්ලට ගැනෙන්නේ, ආධ්‍යාත්මික රෝගී තත්ත්වයට පත් නොවී සිටීමට නොහැකි ද යන්න පමණි. මධ්‍යතන යුගයේ දී, යම් සමාජයක් වසංගත රෝගයක් පැතිරෙන විට පල්ලිය කෙළේ, පළාතේ ප්‍රජාව දේවස්ථානයට කැඳවා සමූහ යාච්ඤා පැවැත්වීමයි. එයින් සිදු වුණේ වසංගතය වඩාත් සීග්‍රයෙන් බෝ වීමයි. වසංගත තත්ත්වයක දී මිනිසුන් ඒකරාශී වීමෙන් හැකි තාක් වැළැකිය යුතු බව නූතන වෛද්‍ය විද්‍යාව අද අපට කියා දෙයි.

ලෙඩක් වැළඳුනු විට කට්ටඩි සොයා යාම වෙනුවට අද අති බහුතරය යන්නේ වෛද්‍යවරයෙකු සොයාගෙනය. මේ තත්ත්වය අප උදා කරගෙන ඇත්තේ, විද්‍යාව සොයා ගත් භෞතික සත්‍යයන් පෞද්ගලික මට්ටමෙන් නිරීක්ෂණය කිරීමෙනි. සහසුද්දෙන් අත්දැකීමෙනි. බොහෝ ආගමික මිථ්‍යාවන්, ස්වාධීන නිරීක්ෂණ මාර්ගයෙන් බැහැර කිරීමට තරම් නූතන මිනිසා අවශ්‍ය කරන දැනුම් පද්ධතියෙන් අද සන්නද්ධය. එහෙත් බොහෝ විට, ඒ නිරීක්ෂණ හැකියාව ඔහු භාවිත නොකරයි. විදුලි කොටන විට, එක් පුහුදුන් භික්ෂුවක් දේශනා කළ පමණින්, අප සාධුකාර දෙන්නේ එබැවිනි. බුදු රැස් විහිදීමට තරම් හාස්කම් පෑ එවන් මහා පින්කමක් අවසානයේ ඇති වන අවාසනාවන්ත ආපදාවක් වළක්වා ගැනීමට තරම් ඒ බුදුරැස් මහිමයට නොහැක්කේ මන්ද කියා අප ප්‍රශ්න කරන්නේ නැත.

මීට අවුරුදු පහකට පෙර ඇමරිකාව හරහා හමා ගිය කත්‍රීනා නැමැති චණ්ඩ මාරුතය පාඨකයාට මතක ඇති. එහි දී, නිව් ඕර්ලියන්ස් නගරයේ පමණක් දහසක් දෙනා මරුමුවට පත්වුණි. දස ලක්ෂයකට උන්හිටි තැන් නැති වුණි. මේ සියලු ජනයා, සර්ව බලධාරී, සියල්ල දත්, මහා කාරුණික දෙවියෙකු පිළිබඳ විශ්වාස කළෝය. එසේ වුවද, අවසානයේ දී ඒ දෙවියන්ට වඩා මේ මිනිසුන් කෙරෙහි යන්තම් හෝ කාරුණික වී තිබුණේ, කාලගුණ විද්‍යාඥයන්ය. ඔවුන් විසින් චණ්ඩ මාරුතය ගැන අනතුරු ඇඟවීම් කල් තියා ප්‍රකාශයට පත්කර නොතිබෙන්නට, විනාශය මීට වඩා දැවැන්ත වනු ඇත. එසේ තිබියදීත්, ඉන් අනතුරුව කළ ජනමත විචාරණයකට අනුව, දිවි ගලවාගත් අයවළුන්ගෙන් සියයට 80 ක් දෙනා කියා සිටියේ, එම විනාශය තුළින් දෙවියන් වහන්සේ පිළිබඳ තමන්ගේ විශ්වාසය තවත් තහවුරු වූ බවයි/ (මීට සපුරා වෙනස් මතයක් පළ කළ හැකිව සිටි මියගියවුන්, මේ ජනමත විචාරණය සඳහා සහභාගී කර ගැනීමට නොහැකි වී ඇති බව කරුණාවෙන් සළකන්න/)

කත්‍රීනා මාරුතයට නිව් ඕර්ලියන්ස් නගරය බිළි වෙද්දී, වන්දනාවේ යමින් සිටි ඉස්ලාම් භක්තිකයන් දහසකට ආසන්න පිරිසක් ඉරාකයේ පාලමක් උඩ ඇති වූ අධික තදබදය නිසා හුස්ම හිරවී, පයට පෑගී ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් වඳින්නට ගියේ වෙනම දෙවි කෙනෙකුටය. ඔහුද, නිව් ඕර්ලියන්ස් වාසීන්ගේ දෙවියන් මෙන්ම, සර්ව බලධාරීය. මහා කාරුණිකය.

තමා සතු දෑ අහිමි වීම සහ තමාට අහිමි දෑ අත්පත් කර ගැනීම වැනි ලෞකික වරදාන පතා අවුරුදු පතා කතරගම යන ලක්ෂ ගණන් මිනිසුන්, මීට වසර විස්සකට පමණ පෙර, කතරගම කිරි වෙහෙරේ කොත සොරකම් කළ සොරා තවමත් අල්ලා දීමට ඒ දෙවියන්ට නොහැකි වූ බව සැළකිල්ලට නොගනිති.

ආගමික මිථ්‍යා ප්‍රශ්න කිරීමට ඔබ ඇල්බට් අයින්ස්ටයින් කෙනෙකු විය යුතු නැත. ඒ තරමට, එම ප්‍රවාද අති සරළය. ළාමකය. එහෙත් අත්‍යන්තයෙන්ම බිහිසුණුය. ඔබේ පැත්තෙන් අවශ්‍ය කරන්නේ, ඇස් මට්ටමේම පුපුරා යන බොරුව එයාකාරයෙන් දැකීමට අවංක වීමත්, කෝච්චියක් ඉදිරියට එන විට රේල් පාරෙන් ඉවත් වීමට අවශ්‍ය කරන තරමේ අවම තර්ක බුද්ධියකින් සන්නද්ධ වීමත් පමණි.

ගාමිණී වියන්ගොඩ

1 comments :

arugeadaviya said...

මිථ්‍යාව වපුරන්න මාධ්‍ය පවා උඩගෙඩි දෙන්නේ මීහරක්ව මඩට දානවා වගේ..ඕවා එක්තරා ආකාරයක දේශපාලන ප්‍රොජෙක්ට්...

Post a Comment