Saturday, January 11, 2014

සෙල්ලම් කරමින් සිටි සුපුනි අසලට පැමිණි භූතයා

සත් හැවිරිදි දැරියක වූ සුපුනි සාලයේ ඇගේ සෙල්ලම් බඩුත් සමග සෙල්ලම් කරමින් සිටියේ තනිවමය. මේ මොහොතේ නිවසේ සිටියේ සුපුනිත් ඇගේ මවත් පමණි. මව මුළුතැන්ගෙයි වැඩක නිරතව සිටි අතර ඇය දියණිය රඳවා ගෙන සිටියේ තමන්ගේ දෑසට පෙනෙන මානයේය. එකවරම සුපුනි මහත් තැති ගත් ස්වභාවයකින් දුවගෙන විත් මවගේ පිටුපසට මුවා වී ඇය දැඩිව අල්ලා ගෙන සිටියේ තමා පසුපස කිසියම් බියකරු සතකු එලවාගෙන ආ විටෙක බඳු ස්වභාවයකිනි.

"මොකද දුවේ ? ඔයා කාටද බය වුණේ?" ආදී වශයෙන් මව දියණියගේ සිරුරට තට්ටු කරමින් ඇසුවත් සුපුනි සිටියේ මව අසන කිසිවක් පිළිබඳ අවධානයකින් තොරවය. කෙටියෙන් කිවහොත් සුපුනි වික්ෂිප්ත ස්වරූපයකින් මව දැඩිව අල්ලා ගෙන සිටියාය. කෙසේ හෝ තත්පර ගණනක කාලයක් තුළ සුපුනි සාමාන්‍ය තත්ත්වයට පත් අතර ඉන්පසු මඳක් වටපිට බලා යළි සෙල්ලම් බඩු අතරට දිව ගියාය.

දියණිය කුමකට හෝ බිය වන්නට ඇතැයි සිතූ මව ඇය තත්පර ගණනක කාලයක් තුළ සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු යළි ඒ ගැන සිතන්නට උත්සාහ කළේ නැත. නමුත් තවත් දෙදිනකට පමණ පසු ඒ තත්ත්වයම ඇති විය.

"ඇයි දුවේ?" මව කාරුණිකව විමසුවත් සුපුනි සිටියේ කිසිදු හැඟීමකින් තොරවය. මව සුපුනිගේ උරහිස් සෙලවුවත් ඇගේ ස්වභාවය වෙනස් නොවිණි. යළිත් මඳ වෙලාවකින් ඇය නින්දෙන් පිබිදියාක් මෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වූවාය.

"මොකටද ඔයා බය වුණේ?"මව සුපුනිගෙන් විමසුවාය.
"දන්නේ නෑ...." දියණිය දුන්නේ එබඳු පිළිතුරකි.

"එහෙනම් මං ළඟට දුවගෙන ආවෙ හොඳටම බය වෙලා?" නමුත් එයට පිළිතුරක් සුපුනි දැන සිටියේ නැත.

"ඔයා බය වුණේ මොකටද?"යළි මව ඇසුවාය.

"දන්නේ නෑ...." සුපුනි යළිත් එම පිළිතුරම දුන්නාය.

දැන් මවට මෙය ප්‍රශ්නයකි. ඇය සැමියා සමගද මේ පිළිබඳව පැවසුවාය. මේ අතර තවත් දිනක් එයම සිදු වෙද්දී බොහෝ දෙනෙකුගේ අදහස වුණේ සුපුනිට තනිකම් දෝෂයක් තිබිය හැකි බවය.

"මොකක් හරි සෙත් ශාන්තියක් කරල බැලුව නම්"ඔවුහු පැවසූහ.

ඊට පසු දිනම කපු මහතකු ගෙදරට ගෙන්වා සුළු සෙත් ශාන්තියක් කළේ මෙය එතරම් බරපතළ තත්ත්වයක් නොවන බව කපු මහතා පවා සඳහන් කළ නිසාය. නමුත් ඒ සෙත් ශාන්තියෙන් පලක් නොවුණු බව වැටහුණේ යළි දෙතුන් දවසකට පසු සුපුනි තුළ ඒ තත්ත්වය එලෙසින්ම හට ගත් නිසාය. දින තුන හතරකට වරක් පමණ සුපුනි තුළ ඇති වූ ඒ ස්වභාවය නිසා ඇය පාසල් යැවීමටද දෙමාපියන් තුළ පසුබෑමක් ඇති විය.

"වෙන කරන්න දෙයක් නෑ...... හොඳ කට්ටඩියෙක් ගෙන්නලා තොවිලයක්වත් කරල බලමු".පියා අවසානයේ යෝජනා කළේය.

සෑහෙන වියදමක් දරා තොවිලයද සිදු කෙරිණි. නමුත් කිසිදු දෘශ්‍යමාන හේතුවක් නැතිව සුපුනි බියපත් වීම සහ එයට හේතුව විමසූ විට ඇය කිසිවක් නොදැන හිඳීමත්, විනාඩියකටත් වඩා අඩු කාලයක් තුළ සාමාන්‍ය තත්ත්වයට පත් වීමත් යන මේ ලක්ෂණවලට සෑහෙන වියදමක් දරා කරන ලද තොවිලයෙන්ද ප්‍රතිඵල නොලැබිණි.

මානසිකව බොහෝ අසරණ වූ සුපුනිගේ මව්පියෝ ඇය වෛද්‍යවරයකු වෙත ගෙන ගියහ. සුපුනිව මනාව පරීක්ෂා කළ වෛද්‍යවරයා කීවේ ඇයට කිසිදු රෝග තත්ත්වයක් නැති බවයි. වෛද්‍යවරයා එසේ කීවත් සුපුනිගේ තත්ත්වයෙහි වෙනසක් දැකිය නොහැකි වුණි. දෙමාපියන් දැන් බොහෝ සෙයින් අසරණය. දියණිය පාසල් යැවීමටත් දැන් ඔවුහු බිය වී හිඳිති. අන්තිමේ ඔවුන් සුපුනිව මනෝ වෛද්‍යවරයකු වෙත රැගෙන ගියේ ඇයට කිසියම් මානසික ආබාධයක්වත් තිබේදැයි සැකයෙනි.

විශේෂඥ මනෝ වෛද්‍යවරයා සුපුනිගේ රෝග ලක්ෂණ එකක් නොහැරම හොඳින් විමසා බැලීය. ඇයට කිසිදු කායික රෝගයක් නැති බවට කායික රෝග වෛද්‍යවරයාද පවසා තිබුණි. නමුත් මෙය මානසික රෝගයක්ද නොවන බව විශේෂඥ මනෝ වෛද්‍යවරයාට වැටහිණි.

සුපුනිට හට ගෙන තිබුණේ ස්නායු සම්බන්ධ එක්තරා අපස්මාර රෝගී තත්ත්වයකි. මෙය හැඳින්වෙන්නේ ශංඛක පිණ්ඩික අපස්මාරය (Temporal lobe epilepsy) ලෙසිනි.

අපේ මොළයෙහි කන් දෙක පහළට වන්නට පිහිටා ඇති කොටස හඳුන්වන්නේ ටෙම්පරල් ලෝබ් (Temporal lobe) යනුවෙනි. අපට හැඟීම් දනවන කොටස පිහිටා ඇත්තේ, මොළයෙහි මෙම කොටසේය. අප සාමාන්‍යයෙන් අපස්මාරය ලෙස සිතා සිටින්නේ බිම වැටී ප්‍රකෘති සිහියකින් තොරව දඟලමින් කටින් සෙම දමන රෝග තත්ත්වයයි. මෙයට සමහරු මීමැස්මොරය ලෙසින්ද ව්‍යවහාර කරති.

සාමාන්‍යයෙන් අපස්මාර රෝග තත්ත්වයේදී සිදු වන්නේ කිසියම් හේතුවක් මත මොළයෙහි ස්නායු පද්ධතියේ යම්කිසි ස්නායු ඛණ්ඩයක ස්වයංක්‍රිය විද්‍යුත් උද්දීපනයක් ඇතිවී එය මොළයෙහි පැතිරී යාමයි. නමුත් මොළයෙහි එය සිදුවන ස්ථානය අනුව අපස්මාර රෝග තත්ත්වය හට ගන්නා ආකාරය වෙනස් වෙයි.

ඉහතද සඳහන් කළ පරිදි රෝගියා බිම වැටී දරදඬු වී ප්‍රකෘති සිහියකින් තොරව දඟලමින් මුඛයෙන් සෙම වගුරවන අපස්මාරය හට ගන්නේ එම ස්වයංක්‍රිය විද්‍යුත් උද්දීපනය මොළයේ මැද කොටසින් ආරම්භ වී මුළු මොළය පුරාම පැතිරීමේදීයි. නමුත් සුපුනිට වැළඳී තිබූ ශංඛක පිණ්ඩික අපස්මාරයේදී සිදුවන්නේ මොළයෙහි ටෙම්පරල් ලෝබ් කොටසේ ඇතිවූ විද්‍යුත් ස්නායු උද්දීපනය එම කොටසේ පමණක් පැතිරීමය.

එහිදී තත්පර ගණනක කාලයක් තුළ රෝගියාට කල්පනාව නැතිව යයි. නමුත් සිහි නැතිව ඇද වැටෙන්නේ නැත.

රෝග ලක්ෂණ හට ගන්නා මොහොතේ දරුවාට කිනම් හෝ හැඟීමක් ඇතිවී වහාම දිව ගොස් මව හෝ වැඩිහිටියෙකුට මුවා වී මුහුණ සඟවා ගෙන, දැඩිව අල්ලා සිටිය හැකිය. විනාඩියකට වඩා අඩු කාලයක් තුළ රෝගියා සාමාන්‍ය තත්ත්වයට පත්වේ. එහිදී රෝගියාට එම සිද්ධිය සිදුවන්නට තත්පර ගණනකට පෙර සිදුවූ දේවල් සහ රෝග ලක්ෂණ පවතින තත්පර ගණනක කාලය තුළ සිදුවූ දේවල් පිළිබඳව මතකයක් නැත.

හරියටම කිවහොත් එය තද නින්දක හිඳ පිබිදියාක් බඳු තත්ත්වයකි. සුපුනිටද තමා සෙල්ලම් කරමින් හිඳ කුමන වෙලාවක මව ළඟට පැමිණියේද යන්න ගැන දැනීමක් නැත. මව අසලදී සිදුවූ දෑ ගැන මතකයක්ද නොමැත.

තමා සිටින ස්ථානය පිළිබඳ රෝගියාට වැටහීමක් ඇති වන්නේ රෝග තත්ත්වයෙන් මිදුණු පසුවය.
මෙම අපස්මාර තත්ත්වය පහසුවෙන් සුව කළ හැකිය. ඒ සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධ ප්‍රතිකාරද තිබේ. සුපුනිට එම ප්‍රතිකාර ටික කලක් ලබා දීමෙන් පසු රෝග තත්ත්වය සුවපත් විය.

-විශේෂඥ මනෝ වෛද්‍ය ඩබ්ලිව්.ඒ.එල්. වික්‍රමසිංහ-

1 comments :

arugeadaviya said...

හොඳ ලිපියක්!

Post a Comment