Sunday, July 17, 2011

වෛද්‍යවරයාද පොදු අරගලයට එක්විය යුතුද...?

     ඒ 1987 වසරේ දිනයක් බව මට මතක ය. ලිප්ටන් වටරවුම දැඩි හිරු රැසින් දැමුණ ද ඒ නොතකා එහි රැස්ව හුන් සරසවි සිසුන්ගේ සටන් පාඨ ද ගිනි ගනිමින් තිබුණි. නිදහස් අධ්‍යාපනය රැක ගැනීම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම වැනි බොහෝ සටන් පාඨ රැව් නැඟුණු එම දවසේ ප‍්‍රහාරය සඳහා නියෝගය ලැබෙන තුරු කුලූ පොලූ ගත් පොලිස් හමුදාව රැකගෙන සිටියෝ ය. සිසුන්ගෙන් පිරුණු ලිප්ටන් වටරවුම ගමනාගමනයට මුළුමනින්ම නැවතීමේ තිත තැබී ය. සිදුවන්නේ කුමක් දැයි අවට රැස්වූවන් විපිළිසරව හිඳිද්දී එක්වරම ප‍්‍රහාරය ඇරඹුණි.

     කඳුළු ගෑස්, බැටන් ප‍්‍රහාර, සටන් පාඨ පහරදීම් ඇද වැටීම් තුවාල, ළතෝනි, කුණුහරුපයෙන් බැණවැදීම් යනාදියෙන් සංකලනය වූ මහා වියවුලක් එක් මොහොතක නිර්මාණය වූවේ ය. පහරකමින් වුව සිය සටන් පාඨ කෑගෑම නතර නොකළ සිසුන් වෙත එල්ල වූ කඳුළු වායු ප‍්‍රහාරය ඔවුන් විසුරුවාලී ය. ඉන් පසුව හටගත්තේ එළවා එළවා පහරදීමයි. ඉදින් ඒ මොහොතේ මම ඞීන්ස් පාර දිගේ ඔලිම්පික් තරගයට සහභාගි වූ ධාවකයෙක් වූවෙමි. මා පසුපස වතුර බාල්දියක් වෙනුවට බැටන් පොල්ලක් අමෝරා ගත් පොලිස් කොස්තාපල්වරයෙක් හතිලමින් දිව ආවේය.

     යෞවන වියේ වාසිය මට තිබූ අතර තඩි බඩක, නිල ඇඳුමක මෙන්ම බැටන් පොල්ලක බරද ඔහුගේ අවාසියට තිබුණි. එහෙත් ඒ සියල්ල මැද වුව සෑහෙන දුරක් මට ඉතා ළං ළංව එළවා ඒමට ඔහු සමත් වීම පිළිබඳව ඔහුට මගේ පෞරුෂය හැමදාම හිමි ය. එසේම ඔහුට තවත් දෙයක් සම්බන්ධයෙන් මගේ ගෞරවය හිමිවිය යුතු ය. ඒ කුපාඩි රැලක් ලෙස බොහෝ දේශපාලකයන් විසින් හඳුන්වනු ලබන, එමෙන්ම කැම්පස් සාහිත්‍යය තුළ තිත්ත කුණුහරුප ගිලදමන පිරිසක් ලෙස සැලකෙන සරසවි සිසුවකු වූ මගේ පවා අති මහත් විස්මයට හේතු වන පරිද්දෙන් ඔහු ඒ ලූහුබැඳයාම අතරේ වගුරුවාලූ කුණුහරුප ගොන්න සම්බන්ධයෙනි.

     ඒ වනාහි මා උපරිම නාටකීය ආකාරයෙන් කුණුහරුප කියනු ඇසූ අවස්ථාවයි. දිව ඒමේ වෙහෙස බැටන් පොල්ල ඔසවා ගෙන ඒමේ ආයාසය ගොජ දමන කෝපය මැද ඔහු ඉතා මනරම් ලෙස කුණුහරුප ප‍්‍රහාරය ද එල්ල කළේ ය. ඊට කලින් අවස්ථාවක එපරිද්දෙන්ම පොලිස් ප‍්‍රහාරය එල්ලවූ අවස්ථාවක අපි මේ සටන් කරන්නේ රාළහාමිලාගෙත් දරුවන් වෙනුවෙන් යැයි පැවසූ විට එක් රාළහාමි කෙනකු පිළිතුරු දුන්නේලඅනේ ‘‘පලයල්ලා යන්න අඩි තුනක් උස නෑ අම්මගේ _ _ _ _ _ _ විප්ලවේ’’ යනුවෙනි. කෙසේ හෝ වේවා එදා මා පසුපස පැන්නූ රාළහාමි කුණුහරුප උච්චාරණය අතින් සියල්ල පසුබස්වාලූවේ ය.

     එකල පැවති බොහෝ සටන් අවසන නිදහස් අධ්‍යාපනය නමින් අප ලත් ජයග‍්‍රහණයන් වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට ගැනීමට තීරණය කරනු ලැබීමයි. එහෙත් අනූව දශකය ඇරඹෙන විට, අද දවස වන විට විශේෂඥ වෛද්‍යවරුන් ලෙස සමාජයට ඉමහත් සේවයක් කිරීමට හැකියාව තිබූ එමෙන්ම ජනතා සේවය යන්න පිළිබඳ නිරවුල් දැක්මක් තිබූ දේශපාලන සවිඥාණික බවින් ද යුත් වෛද්‍ය සිසුන් පිරිසක් අපට අහිමිව තිබුණි. සිය වෛද්‍ය උපාධිය පසෙකලා ඔවුහු එදා සැබැවින්ම කැපවූවෝ සමාජයම සුවපත් කරලිය හැකි වෙනසක් උදෙසා ය. එදා අරගල කළ ඔවුන්ට ගැරහීම පසුකලෙක ඇතැමුන්ගේ විලාසිතාවක් වුව ද සිය යෞවනයේ දී ඔවුන්ට එවන් කැපකිරීමක් කිරීමට සිදුවන්නේම ලාංකීය සමාජයේ දැනුවත් මිනිසුන්ගේ නිහැඬියාව හා නිද‍්‍රාශීලිත්වය නිසා ය යන්න අදට ද වලංගු සත්‍යය ලෙස ඉතිරිව පවතී. වෙනුර එදිරිසිංහ, ත‍්‍රිමාවිතාන, සුගත් අශෝක ද සිල්වා, අතුල සේනාරත්න, කොල්ලූරේ, ජයශ‍්‍රී යනාදි වශයෙන් නම් සඳහන් වන නොවන බොහෝ වෛද්‍ය සිසුන්ගේ පරිත්‍යාගය ද සරසවි අධ්‍යාපනය, මෙන්ම වෛද්‍ය වෘත්තිය ද ලබාගෙන ඇති සීමිත ජයග‍්‍රහණ පිටුපස ඇති බව අපට අමතක කළ නොහැකි ය.

     ඉඳින් මේ අතීත මතක සටහන ලියා තැබීමට සිත් වූයේ පසුගිය දා පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය පිළිබඳ තොරතුරු ඇසීමට ලද හෙයිනි. මෙවර එනම්, ජුනි 25 දින කොළඹ දී පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය අවසන් වූයේ සංගමය සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීමෙනි. එහිදී අලූතින් පත් වූ නිලධාරි මණ්ඩලය ලත් ඡුන්ද සංඛ්‍යාව හා පරාජිත අපේක්ෂකයා ලත් ඡුන්ද සංඛ්‍යාව අතර ඓතිහාසික මට්ටමේ පරතරයක් දක්නට ලැබිණි. පසුගිය කාලය පුරාම අතිශය නිද‍්‍රාශීලි පිළිවෙතක ගැලූණු හිටපු නිලධාරි මඩුල්ලේ ක‍්‍රියා කලාපය බහුතරයක් වෛද්‍යවරුන් විසින් එකහෙළා ප‍්‍රතික්ෂේප කර ඇති බව මෙයින් පැහැදිලි වෙයි.

     පසුගිය කාලය තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙස බලන විට පැහැදිලිව දක්නට ලැබුණු එක් දෙයක් වූවේ පොදුජන යහපත තබා ඔවුන් සිය සමාජිකත්වයේ අභිවෘද්ධියට අදාළ කරුණුවල දී පවා දක්වන ලද නිද්‍රාශීලී ප‍්‍රතිපත්තියයි. විශේෂයෙන්ම එහිදී දක්නට ලැබුණේ රජුන් අමනාප කර නොගෙන කල් බැලීමේ ප‍්‍රතිපත්තියයි. එහෙත් පොදුවේ ගත් කල බහුතරයක් වෛද්‍යවරුන් තුළ දක්නට ලබුණේ තම සංගමයෙන් අපේක්ෂිත අරමුණු ඉටු නොවන්නේ ය යන හැඟමකි. මෙතෙක් සිටි නිහඬ වත බිඳ හෙළමින් ඔවුන් විශාල උද්යෝගයෙකින් ඉදිරිපත්ව නව නිලධාරි මඩුල්ල පත්කර ගැනීම එක් අතකින් පැවති පාලනයට එරෙහි සිය අප‍්‍රසාදය ඉතා පැහැදිලිව දක්වා සිටීමක් ලෙස සැලකිය හැකි ය.

     දැන් එක් යුගයක් අහවර ය. නව නිලධර මඩුල්ලක් ඉදිරිය සඳහා වගකීම දරා සිටියි. එහෙයින්ම මේ මොහොත රජයේ වෛද්‍යවරුන් හා අනෙක් සමස්ත වැඩකරන පංතියේ වෘත්තිය සමිති ව්‍යාපාර අතර පුළුල් සංවාදයක් ඇරඹීමට සුදුසුම මොහොත යැයි විශ්වාස කරනා හෙයින් මම මේ සටහන ලියමි. ලංකාව දිගුකාලීන නිද්‍රාවකින් පිබිදෙන්නට පටන්ගෙන සිටියි. පලින් පල දැල්වුණ ආලෝක පුංජයන් එක් මහා ආලෝකයක් බවට පත්කර ගැනීමට කම්කරු පංතියට ඇති හැකියාව යළි යළි පළවෙමින් පවතී. විශේෂයෙන්ම මෙතෙක් පසෙකට වී සිටි ලාංකීය බුද්ධිමතුන් හෙමිහිට හෝ ඇස් ඇරීම මේ මොහොතේ ඉතා වැදගත් ය. සරසවි ආචාර්යවරුන්ගේ සටන මෙහිලා තීරණාත්මක බලපෑමක් බව සහතික ය. එහෙත් සරසවි ඇදුරු සටන කවරාකාර විය යුතු ද, ඔවුන්ගේ අරමුණු කවරාකාර විය යුතු ද යන ප‍්‍රවේශය සම්බන්ධයෙන් පසුගිය රාවය පුවත්පතට මහාචාර්ය ඩෙස්මන්ඕ මල්ලිකාරච්චි විසින් සපයන ලද ලිපිය ඉතා වැදගත් වෙයි.

     එම ලිපිය සැබැවින්ම සරසවි ඇදුරු මඬුල්ලට තමන්ගේ පොදු වගකීම, යුතුකම පිළිබඳව විචාරාත්මකව බැලීම සඳහා වන ඇරයුමකි. එසෙදීම එය ඔවුන්ට යළි පුද්ගලික න්‍යාය පත‍්‍රවලට සීමා වී ගුහා තුළ කොටුවීමට ඉඩ නොදෙන සේ කළ ලෙන්දොර වැසීමකි. තම වෘත්තියට අදාළ වන ප‍්‍රශ්න හා ගැටලූ සම්බන්ධයෙන් සටන් කිරීමට අයිතියක් කවරම වෘත්තියකයන්ට වුව තිබෙන නමුදු ඔවුන්ට කෙසේවත් පොදු ප‍්‍රශ්න හමුවේ නිහඬවීමට ද ඒ සම`ගම අයිතියක් නැත. එහෙයින් මහාචාර්ය ඩෙස්මන්ඕ ප‍්‍රශ්න කරන්නේ මේ අවශ්‍යතාවයයි. සටන්කාමී ජීවගුණය පසසමින් ඔවුන් හා එක පෙළට සිටගන්නා ගමන් ඔහු සිය විවේචනය මගින් ඇදුරු පිරිසට සිහිපත් කරන්නේ පොදු පුරවැසියකු වෘත්තියකයකු ලෙස ඔවුන්ගේ කර ඇරිය නොහැකි වගකීමයි.

     රජයේ වෛද්‍ය නිලධාරීන්ට ද සරසවි ආචාර්යවරුන්ට මෙන්ම තවදුරටත් හුදෙක් ස්වකීය හිමිකම් වෙනුවෙන් පමණක්ම සීමා වී සිටිය නොහැකි ය. පාලකයන් සමස්ත කම්කරු පංතියම කුඩාම අංශුව දක්වා බෙදීම සඳහා මාරාන්තික මෙහෙයුමක් අරඹා ඇති විටෙක එක් මොහොතක තනිවීම යනු මුළුමනින්ම ඇදවැටීම බව මේ වන විට වෛද්‍යවරුන් ද වටහා ගත යුතුව තිබේ. එහෙයින්ම ඔවුන්ට ඉදිරියේ දී සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අනෙක් සහෝදර වෘත්තිකයන්ගේ ප‍්‍රශ්න උදෙසා කෙරෙන අරගලවල දී නිහඬව සිටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් හෝ ඉඩක් නොමැත. පොදුවේ සියලූ දෙනාගේම යහපත උදෙසා එකතු වීම ලංකාවේ වැඩකරන පංතියේ අද දවසේ සටන් පාඨය එයයි.

     ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් මැදිහත්වීම සඳහා ඉහළම සුදුසුකම් ඇත්තේ වෛද්‍යවරුන්ට ය. මේ වන විට පුද්ගලික රෝහල්වල ධනපති පංතියේ ආධිපත්‍යය යටතේ ශ‍්‍රමය විකුණන්නාගේ තත්ත්වයට පත්ව ඉන්නා ඉහළම විශේෂඥ වෛද්‍යවරයාට පවා ධනවාදයේ සූරාකෑමෙන් ගැලවීමට නොහැකි ය. දැනට ඔහු එය නොදනිතත්, තමාගේ දිවියේ මනුෂ්‍යයකු ලෙස සැබෑ මනුෂ්‍ය දිවියක් ගෙවීටම ඇති කාලය වැයකර තමා වැටී ඉන්නා දඩබලූපොරයක් වැනි තරගය දෙස බැලීමට ඔහුට ඉතා ඉක්මනින් දවසක් එළඹෙන බව නියත ය. ධනවාදය සියලූ මිනිසුන්ගේ සිහින බිඳ දමයි. අධි පරිභෝජනවාදී ජීවන රටාවක් තුළ අප තුර`ගන් බවට පත්කර ධාවන පථයේ ඇද වැටුණු පළමු මොහොතේ දී අප කසළ සේ බැහැර කරලයි. එහෙයින්ම මේ මොහොතේ බුද්ධිමතුන්, වෘත්තිකයන් පුළුල් සමාජ වෙනසක් සඳහා මැදිහත්වීම අත්‍යවශ්‍ය ය.

     සෞඛ්‍ය ක්ෂේත‍්‍රය යනු අද වන විට අවුල් ජාලයකි. ප‍්‍රතිකාර ගැනීමට මුදල් නැති කම නිසා රෝගියා වාහනයක දමාගෙන ටිකට් විකුණා ආධාර එකතු කරන ජනයාගේ සංඛ්‍යාව වැඩි වීම මේ සඳහා ඇති සරලම උදාහරණයයි. ඖෂධ සමාගම්වල මාෆියාව, රෝහල්වල ඖෂධ හි`ගය, දිගු සැත්කම් පෝලිම්, යනාදියේ සිට වෛද්‍යවරයා හා පොදු සමාජය අතර වන අනවබෝධය තුළින් ජනිත වන දුරස්ථ බව දක්වා පියවරින් පියවර ඇත්තේ ගැටලූ කන්දකි. මෙහිදී වෛද්‍යවරයා හා සමාජය අතර ඇති දුරස්ථභාවය බරපතළම ගැටලූවකි. තවමත් වෛද්‍යවරුන්ගේ පැත්තෙන් මේ පිළිබඳ අවධානයක් යොමන බවක් පෙනෙන්නට ද නැති. එහෙත් වෛද්‍යවරුන් වෘත්තිය ක්‍‍්‍රියාමාර්ගයක් ඇරඹූ විට සැපට ඉන්නා දොස්තරලාට තව පඩි මොකටද කියමින් දේශපාලකයන්ගේ උසිගැන්වීම් මත සාමාන්‍ය ජනයා වෛද්‍යවරුන්ට අම්මා මෝ නැතිව බැණවදින්නේ අවබෝධය පිළිබඳව පවත්නා මේ ගැඹුරු ආගාධය නිසාම ය.

     එහෙයින් වෛද්‍යවරුන් හුදෙක් සිය වෘත්තිමය දිවියට සිරගත වූ භූමිකාවෙන් පිට බුද්ධිමත් ස්ථරයක භූමිකාවට අවතීර්ණ විය යුතු ය. ඒ සඳහා එක් පසෙකින් වෛද්‍ය ආචාරධර්මවල සිට ක්ෂේත‍්‍රයේ ඇති ගැටලූ දක්වා වන පුළුල් පරාසය ආවරණය කෙරෙනා අභ්‍යන්තරික සංවාදයක් ඇරඹීමට උත්සුක වන අතරම ඔවුන් පොදු සමාජය සම`ග ද විවෘත සංවාදයක් ඇරඹිය යුතු ය. වෛද්‍යකර්මය යනු හුදෙක් නලාව තබා බලා බෙහෙත් නියම කිරීමට වඩා දෙයක් බව ඔප්පු කරනා ගමන්ම පොදුවේ සෞඛ්‍ය පද්ධතිය රෝගී කරනා විවිධ බැක්ටීරියා හා වෛරස් ආසාදනයන්ට එරෙහිව ක්ෂේත‍්‍රයේ අනෙක් සහෝදර පිරිස් සම`ග අත්වැල් බැඳගැනීමට රජයේ වෛද්‍යවරුන් විවෘත හා නිහතමානී විය යුතු ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පාලකයන්ගේ අතකොලූවක් වීමේ අනතුරින් මිදීමට හැකිවීම පිළිබඳව සුබපතන ගමන් ඉහත ගැටලූ සටහන් කළේ ඔවුන් ඉදිරියට ද තම වෘත්තීය හිමිකම් වෙනුවෙන්ම පමණක් හිරවූ මිනිසුන් ලෙස නොසිටිනු දැකීමට ඇති ඉමහත් අපේක්ෂාව නිසාම ය. මිනිස්සු වෛද්‍යවරයාට ජීවකයා යැයි කියති. එහෙත් ජීවකයා මෙහෙ කරන්නේ රජුට ය. රජයේ වෛද්‍යවරුනි ඔබ පිවිසිය යුත්තේ පොදු සමාජයට ය.

සංස්කාරක - තෙවන ඇස
(දෙරණ ඇසුරිණි)

0 comments :

Post a Comment