Saturday, July 30, 2011

අගෝරා (මිත්‍යාවට එරෙහි විද්‍යාවේ අරගලය)

     සිනමා රසවින්දනය යටෙත් අරම්බක ලිපිය වශෙයන් අප ඔබගේ අවධානයට යොමුකරන සිනමා පටය වන Agora ක‍්‍රි.ව. 3 වන සියවස අග සහ 4 වන සියවස මුල රෝම වහල් රාජධානියට සම්බන්ධව තිබූ ඇලෙක්සැන්ඩි‍්‍රයාව තුල දිවි ගෙවන ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක්, දාර්ශණිකයෙක් ලෙසත් වර්ගකල හැකි Hypatia නම් චරිතය කේන්ද්‍රකරගෙන මෙම චිත‍්‍රපටය ගෙඩනැගී ඇත. Agora යනු ඇලෙක්සැන්ඩි‍්‍රයාව තුල පාලකයින් ඒකරැස් වූ ස්ථානයට එම යුගයේ භාවිතාවු නමයි. සත්‍ය සිදුවමක් මෙම චිත‍්‍රපටයට පාදක වී ඇති අතර මෙය ස්පාඤ්ඤ නිර්මණයකි. ඇමරිකානු ඩොලර් මිලියන 75ක වියදමක් දරා මෙම නිර්මාණය කර ඇති අතර චිත‍්‍රපටය අධ්‍යක්ෂණය Alejancho Amenabar අතින් සිදුවූ අතර Hypatia  චරිතය Rache Weisz අතින් ප‍්‍රතිනිර්මාණය වී ඇත.

     ඔබ පය තබාගෙන තිබෙන මහ පොළොව, නැත්නම් පෘථිවිය, මේසයක පෘෂ්ඨය මෙන් පැතලි බව ඔබ ඇඳ පිළිගන්නා දෙයක් නොවේ. පෘථිවිය තමන්ගේ අක්ෂය වටා භ‍්‍රමණය වෙමින් සූර්යයා වටා පරිභ‍්‍රමණය වන බව නොදන්නා කුඩා ළමයෙකු සොයාගැනීමට පවා අද අපහසු කටයුත්තකි. ඒ තරමට අද මිනිසාගේ දැනුම, අවබෝධය පුළුල් වී ඇත. නමුත් දැනුමේ ඉතිහාසය දෙස හැරී බලන අපට එම කටයුත්ත ඔබට ඉහත ප‍්‍රධාන දෙය අද සිතන තරමට සරල එකක් නොවීය. පෘථිවිය ගෝලාකාරය යැයි පැවසීම වැනි අද ඔබ අධ්‍යනය කරන හා ප‍්‍රයෝජනය ලබන විද්‍යාත්මක දැනුම වෙනුවෙන් ඉතිහාසය තුළ බොහෝ මිනිසුන් ගැහැණුන් සිය ජීවිත අහිමි කර ගනු ලැබීය . මෙම චිත‍්‍රපටය තුළ එම ඉතිහාසය ගැන අපට කදිම අදහසක් ලබා දෙන අතර එය අපූර්වත්වයක් සමග චිත‍්‍රපටයට නගා ඉදිරිපත් කර ඇත.
 
     ක‍්‍රි.ව. 350-370 හයිපතියා රෝම අධිරාජ්‍යයේ දැනුමේ කේන්ද්‍රස්ථානයක් වූ ඇලෙක්ස්සැන්ඩි‍්‍රයාවේදී උපත ලබයි. ඇයගේ පියා Theon නම්වූ ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ තිබූ වටිනා ඓතිහාසික දැනුම එකතු කර තිබූ පුස්තකාලයේ අවසාන පුස්තකාලාධිපති ලෙස කටයුතු කර ගණිතඥයෙකි. ක‍්‍රි.ව. 3 වන අග සහ 4 වන සියවස මුල ඇලෙක්සැන්ඩි‍්‍රයාවට හා රෝම අධිරාජ්‍යයට යම් කැළඹිලි සහගත කාල පරිච්ෙඡ්දයක් විය. ඊට හේතුව වූයේ වහල් රාජ්‍ය ක‍්‍රිස්තියානිකරණයට ලක් වීමයි. ගොඩ නැගුණු කතෝලික ව්‍යාපාරයට හිස නමා වහල් රාජ්‍ය මුලූමනින් ම සිය ආගම බවට කතෝලික ආගම වැළඳ ගනු ලැබීය. ඉන්පසු ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ බුද්ධිමත් සම්ප‍්‍රදායන් සියල්ල විනාශ කරනු ලැබූ අතර කතෝලිකයන් ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ පුස්තකාලය පවා විනාශ කරනු ලැබීය. හයිපතියා ඇලෙක්සැන්ඩි‍්‍රයාව තුළ වූ ප්ලේටෝනියානු පාසලේ ප‍්‍රධාන ආචාර්යවරිය වන අතර ඇයගේ ඉගැන්වීම් හා ඇය කතෝලික ආගම විනාශ කිරීමේ වරදට ක‍්‍රි.ව. 415 වන විට ඇයව වද බන්ධනයට ලක් කොට මරණයට ලක් කරන ලදී. ඇයගේ මරණය සම්බන්ධයෙන් මත දෙකක් ඇති අතර එක් මතයක් වූයේ ඇයව නිරුවත් කොට පණ පිටින් හම ගසා මරණයට පත් කළ බව හා අනෙක් මතය වූයේ ඇයව නිරුවත් කොට බිම දිගේ ඇදගෙන යෑමෙන් මරණයට පත් කළ බවයි.
 
     ඉතිහාසය පුරාවට මානව සමාජය තුළ විඥානවාදය හා ද්‍රව්‍යවාදී මතයන් අතර ලෝකය තේරුම් ගැනීමට සිදු වූ අරගලය හා පංති සමාජය තුළ විඥානවාදය පාලක පංතියේ පැවැත්ම වෙනුවෙන් රාජ්‍ය අනුග‍්‍රහය සහිතව ක‍්‍රියාත්මක වූ ආකාරය මෙම චිත‍්‍රපටය තුළ ඉතා හොඳින් ප‍්‍රතිනිර්මාණය කර ඇත. මේ චිත‍්‍රපටය තුළ කලා අධ්‍යක්ෂණය අපව සජීවීව තුන්වන සියවස තුළ ඇලෙක්සැන්ඩි‍්‍රයාවට රැුගෙන යයි. චිත‍්‍රපටිය තුළ පසුතල සැකසුම හා වර්ණ භාවිතය තුළ අපට කිසිදු කෘතිම බවක් නොදැනෙන සජීවි දසුන් පෙළක් නැරඹීමට ඉඩකඩ සළසා දෙයි. චිත‍්‍රපටය තුළ සංගීත සුසංයෝජනයේ දී ඉපැරණි නාද රටා හා සංගීත භාණ්ඩ භාවිතය තුළ චිත‍්‍රපටයේ ඓතිහාසික පසුබිම අප සිත් සතන් තුළ කාවැද්දීමට නිර්මාණකරුට හැකියාව ලැබී ඇත.
 
     චිත‍්‍රපටය තුළ හයිපතියා එවකට පෘථිවිය හා අනෙක් ග‍්‍රහ වස්තු සම්බන්ධයෙන් ටොලමි ඉදිරිපත් කරන අදහස වූ පෘථිවි කේන්ද්‍රවාදය ගැන විශ්වාසය තැබූව ද ඊට වෙනස් සිතීමක හා අධ්‍යනයකද ඇ නිරතවිය. ඇය ඒ සඳහා විවාහය ආදී වුවමනාවන් පසෙක ලා ප‍්‍රකෘතිය තේරුම් ගැනීමේ හා අධ්‍යයනය වෙනුවෙන් කැපවීම සිදු කරන ලදී. ඇය අවසානයේ පෘථිවි කේන්ද්‍රවාදය වෙනුවට සූර්යය කේන්ද්‍රවාදය සම්බන්ධවත් ග‍්‍රහවස්තු සූර්යයා වට ඉලිප්සාකාර මාර්ගයන්හි ගමන් කරන බවත් සොයා ගන්නා ලදී. ඒ වාගේම ඇයට ගුරුත්වාකර්ෂණය වැනි සංසිද්ධි සම්බන්ධයෙන් යම් ඉවක් තිබුණු බව ද පැහැදිලිය. විඥානවාදයේ නැගී සිටීමත් සමඟ දැනුම් පද්ධති සමාජයට ප‍්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට නොහැකි වූ අතර මිනිස් සමාජය නැවත අවුරුදු 1000 ට පමණ පසු කොපර්නිකස් යුගය තුළ මෙම සොයා ගැනීම් තහවුරු කරන ලදී. (16 වන සියවස) විඥානවාදී විද්‍යාවේ සංවර්ධනය හා සමාජ සංවර්ධනය මෙම නිසා අවුරුදු 1000න් පමණ ආපස්සට හරවන ලදී. එනම් හතරවන සියවස තුළ මිනිස් සමාජයට එකතු විය යුතුව තිබූ දැනුමක් නැවත මිනිස් සමාජයට එකතු වූයේ 16 වන සියවස තුළ ය. මෙයට විඥානවාදය සමාජය තුළ මුල් බැස ගැනීම බල පෑ අතර යුරෝපයේ අඳුරු යුගය ද මෙම යුගය ලෙස නම් කරනු ලැබේ. හයිපතියාගේ ජීවන කතා පුවත චිත‍්‍රපටය තුළ අපට බලපෑම් කරනුයේ අද දවස තුළ ප‍්‍රකෘති විද්‍යාවන්ගේ හා සමාජ විද්‍යාවන්ගේ විඥානවාදී මත වෙනුවට එම විද්‍යාවන්ගේ ජයග‍්‍රහණ සමාජයට පෙරළා ලැබෙන ද්‍රව්‍යවාදය වෙනුවෙන් ඉතිහාසය තුළ දී මෙන් ම වෙනත් ස්වරූපයක අරගලයක් වර්තමානය තුළ පවතින බවයි. ඒ සඳහා මෙම චිත‍්‍රපටය තුළ අපට ඒ සඳහා උත්තේජනයක් ධෛර්යයක් ලබාදෙනු ඇත.

ගිණිසිලුව අැසුරිනි
සංස්කාරක
තෙවන ඇස



IMDB වේබ්අඩවියෙන්

Agora (2009) බාගත කරගැනීමට (mediafire.com)


0 comments :

Post a Comment