Saturday, September 17, 2011

ඔබ අපේ හදවත් තුළ සදාතනිකය...



              දළුලා වැඩෙන පැතුමන් සුවහස්            හදක
              තළලා දැමිය හැකිවෙද පොඩිකර         ගලක                                මුළුලා නොසිට නැගිටිව් සොයුරනි     නිසැක
              වළලා දමව් පාලක.................................

     ඒ කවියට අවසානයක් ලැබී නැත. ඒ එක් අඳුරු යුගයක, සරසවි සිරගෙවල් කළ යුගයක, මරණයට ගොදුරුව සිටි සොහොයුරන්ගේ රතු ලේ වලින් බිත්තියක් මත ලියැවුණකි. ඒ කවිය අවසන් කිරීමට පෙර පැහැරගෙන ගොස් ඔහුගේ දිවි තොර කළා විය යුතුය. කවියක පද පේළි හතරකට දිගු කරගත නොහැකි වූ ඔහුගේ කය කොහේ හෝ බිමක අළු වී මිහිතලයට යට වී ගොස් හමාරය. එහෙත් ඒ සොයුරන්ගේ සුසුම්, හැඟුම්, පැතුම් යළි යළිත් සදාකල් හමා එන මාරුතයක් සේ අපේ ජීවිත හරහා ඇදී යයි.

     මියෙන බොහෝ මිනිසුන්ට මියෙන දිනයක් ඇත. මරණයට හේතු වූ ස්වාභාවික හේතුවක් ඇත. නෑදෑයින්ට, මිතුරන්ට ඔහු හෝ ඇය වෙනුවෙන් ශෝක වීමට අවමගුල් උත්සවයක් ඇත. මරණයෙන් පසු, ස්මාරක, සොහොන් කොත් ආදී බොහෝ දේ ඇත. තෙමස් පූර්ණ, වාර්ෂික කෙරෙන පිංකම්, දාන-මාන ඇත. එහෙත් ඒ ‘‘ධවල භීෂණයේ’’ නිසල වූ ඒ මිනිසුන්ට ඒ කිසිවක් හිමි වුණේ නැත. එහෙත් සදාතනිකව යුගයක් යුගයක් පාසා සරසවියට එන සෑම සිසුවෙකුගේම, සිසුවියකගේම හදවත් ඔවුන් පිළිබඳ භක්තියෙන්, ආදරයෙන් පිරී ඇත. නිදහස් අධ්‍යාපනයේ වටිනාකමත්, එය රැුකගැනීමට සරසවි සිසුන් කළ අතිශය දුෂ්කර අරගලයත් දන්න හැම මිනිසෙකුගේම සිත් තුළ, හදවත් තුළ දෙදණ බිම හොවන දිනය ජාතික ශිෂ්‍ය වීර දිනයයි.
     දුක් විඳින, වි`දිමින් විඩාවට පත්වූ මිනිසුන්ගේ දරුවන්ට ඉතිරි වුණු අවසන් අයිතිය වන ‘‘අධ්‍යාපනයේ අයිතිය’’ උදුරා ගැනීමට පාලකයින් අවි අමෝරාගෙන සටන් වඳින මොහොතක, නිසල දෙනෙතින් අයෝමය ධෛර්යයෙන් ඒ මහා පර්වත සමඟ ගැටුණේ ඔවුන්ය. තමන් ඇසින් නොදුටු ඊළඟ පරම්පරාව වෙනුවෙන් ‘‘නිදහස් අධ්‍යාපනය’’ ඉතුරු විය යුතුයැයි දෙවරක් නොසිතා තීරණ ගත්තෝ ඔවුහුය. බලාපොරොත්තු දහසක් පොදි බැඳගෙන සරසවියට පැමිණ, පාඨමාලාවත්, සරසවියත්, අවසානයේ සිය දිවියත් පරදුවට තබා ඔවුන් සටන් කළේ ඊළඟ පරපුර දිනවන්නයි. වියරු රකුසෙකු මෙන් වූ අළුගෝසු ආණ්ඩුවක් සමඟ නොබියව සටන් කළ නිසා ඔවුන්ගේ දෙමාපියන්ගේ දෙනෙතට සදා නොසිඳෙන කඳුළක් තබා ඔවුන් පිටව ගියේය. දෙමාපියන් තුළ පමණක් නොව, අප හැරගිය වෙනුර, නිෂ්මි, ති‍්‍රමා, බාලේ, සොයුරනි, ඔබව නොදුටු අප තුළද සදාතනික නිම නොවන කඳුළක් ඔබ ඉතිරිකර ගියේය.

     ඉපදෙන බොහෝ මිනිසුන් ජීවත් වෙයි. අවසානයේ මියයති. එහෙත් ඔවුන්ගේ මතකය රැුඳෙන්නේ බොහෝ විට සිය ඥාති හිතමිතුරන් අතර පමණය. එහෙත් මිනිසෙකුට සදාතනිකව ජනතාවගේ, සාමාන්‍ය මිනිසුන්ගේ හදවත් තුළ ජීවත් විය හැකි නම්, මිනිස් සමාජයේ යහපත හා ප‍්‍රගමනයට යමක් කළ අයෙකු ලෙස මිය යා හැකි නම් ඔහු මිනිස් සමාජයේ ලැබිය හැකි ඉහළම ගෞරවය වන ‘‘ජනතා වීරයෙක්’’ යන ඇමතුම ලබයි. වත්මන් සමාජයේ තමාවම තම වීරයෙක් ලෙස හඳුන්වන ‘‘ටෙම්පරි’’ වීරයන් දුටු විට අපට මහා අපුලක් දැනෙන්නේ සැබෑ වීරයන් අප තුළ ජීවත් වන නිසා විය යුතුය.

     80 දශකයේ ධවල පති‍්‍රකාවත්, උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයත්, සරසවි ප‍්‍රවේශයේ දිස්තී‍්‍රක් කෝටා ක‍්‍රමය අහෝසියත් වැනි නිදහස් අධ්‍යාපනයට මාරාන්තික යෝජනා ගෙන එන විට පද්මසිරි තී‍්‍රමාවිතානලාට, වෙනුර එදිරිසිංහලාට ගත හැකි පහසු තීරණයක් තිබුණි. ‘‘ඔවුන් ඒ වන විටත් වෛද්‍ය පීඨයේය. වෛද්‍ය උපාධි ලෝගුව පෙනෙන තෙක් මානයේය. ආපසු හැරී බැලිය යුතු නැත. ලෝගුව දමා වෛද්‍යවරයෙක් විය හැක.’’ එහෙත් ඔවුන් එය බැහැර කළේය. ඒ වෙනුවට වත්මන් සරසවි සිසු පරපුර වෙනුවෙන් උපාධිය අත්හළේය. අවසානයේ තම අමිල දිවි කුසුම පුද කළේය. එහෙත් උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, කැළණිය සරසවියේ රාගම වෛද්‍ය පීඨය බවට පත් විය. සටන ජයගත්තේය. ජයග‍්‍රහණය සමරන විට ති‍්‍රමාගේ දෙනෙත්, වෙනුරගේ දෙනෙත් විවරව තිබුණේ නැත. එහෙත් සටන දිනුවේය. වත්මන් පරපුර ඒ කඳුළු, ලේ , ජීවිත මතින් ගොස් සිය උපාධි ලෝ්ගුව ගැනීමට වාසනාවන්ත වූයේ ඒ තිත්ත ඇත්ත නිසාය.

     වර්තමානයේද සරසවි පද්ධතිය අවුල් ජාලයක් කර ඇත. පාලකයින්ට අවශ්‍යව ඇත්තේ අතිශයින් සරල දෙයකි. සරසවි සිසුන් දණගැස්සවීමත්, නිදහස් අධ්‍යාපනයේ ගෙළ සිඳීමත්ය. මේ දෙකම ගහත්, පොත්තත් සේ බැඳී ඇති බව පැහැදිලිය. තවමත් මේ රටේ යමෙකුට මෙය නොතේරේ නම් ඔවුන් ‘‘කැමැත්තෙන්ම නිදා සිටින උන්ය’’ ඔවුන් අවදි කළ නොහැක. සමහර විට ජයග‍්‍රහණය ලබන මොහොතක හුරේ තබමින් ‘‘දිනන කෝච්චියට’’ ගොඩවනු ඇත.

     සිසුන් දණගැස්සවීමට, හමුදා පුහුණු, නීතිමය මර්දනය, පංති තහනම් කිරීම්, අත්අඩංගුවට ගැනීම, හතර වෙනි තට්ටුවට යැවීම, පොලිසි තුළදී පහරදීම් යන සියළු උපකරණ පාවිච්චි කරන බව මේ මොහොතේ පාලකයන්ගේ භූමිකාව දුටු විට පැහැදිලිය.

     මේ සියල්ල යටින් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමත්, පාසල් සංවර්ධන කමිටු හරහා පාසලේ සියලූ වියදම් දෙමාපියන්ට පැටවීමත් ආණ්ඩුව යුහුසුළු වී ඇත. කැමති වුවද අකමැති වුවද ශිෂ්‍ය ව්‍යාපාරයට නිදහස් අධ්‍යාපන අයිතිය රැුකගැනීමටත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුකගැනීමටත් දැවැන්ත සටනක් පැමිණ ඇත. දුෂ්ඨයන්, වීරයන්, පාවාදෙන්නන්, පැන දුවන්නන්, දෙබිඞ්ඩන්, මේ සියලූ දෙනා මේ වන විටත් සිය භූමිකාවට ප‍්‍රවේශ වී ඇත. වත්මන් සරසවි සිසුවාට පැවරී ඇති වගකීම අති විශාලය. එමෙන්ම මේ රටේ ජනතාව වෙතද, ප‍්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර වෙතද පැවරී ඇති වගකීම අති මහත්ය. මේ සියලූ දෙනාගේ සාමූහික ප‍්‍රයත්නයක් මේ මොහොතේ ඉතා අත්‍යාවශ්‍යව ඇත.

     එක යුගයක මෙම අභියෝගය ජය ගත්තා වූ ඒ අභීත විරු සිසුන් එවැනි වීරෝධාර සටනක පහන් ටැඹ බව පැහැදිලිය. ‘‘මනුෂ්‍යත්වයේ සාරය ඇත්තේ සටන් කිරීම තුලයි’’ එසේ නොමැතිව පාලකයිනුත්, ඔවුන්ගේ වන්දිභට්ටයිනුත් කියන ආකාරයට පාලකයින්ට දණ ගසන්නේවත් සාදු නාද දීමෙන් වත් නොවන බව කිව යුතුය. එවැනි සටනකට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය පණ පොවන බව ඉතිහාසය විසින් තහවුරු කිරීමට ඉඩ තබමු.


ගිනිසිළුව ඇසුරිණි
සංස්කාරක
තෙවන ඇස

0 comments :

Post a Comment