Saturday, September 17, 2011

ළමා අපචාර, විවාහය සහ වයස


     දැනට වයස අවුරුදු 18 ක්ව පවතින විවාහ වන වයස් සීමාව අවුරුදු 15 ක් දක්වා අඩු කිරීමට තමන් යෝජනා කරන බව අමාත්‍ය සෙනෙවිරත්න මහතා පසුගියදා ප‍්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ හිටපු ජනාධිපතිනියගේ කාලයේ ඊට අනුමැතිය ලැබී තිබුණු නමුත් විවිධ සංවිධානවලින් එල්ල වූ විරෝධය හමුවේ එය ක‍්‍රියාත්මක නොකළ බවයි. නව නීතිය ගෙන ඒමට ප‍්‍රධාන හේතුව ලෙස ඇමතිවරයා දක්වන්නේ, අවුරුදු 18 ට අඩු අයගේ ලිංගික සබඳතා සහ ළමා අපචාර නිසා නඩු විශාල ප‍්‍රමාණයක් තිබෙන අතර එම නඩු ගොඩ අඩු කිරීමට නව නීතිය මගින් හැකි බවයි.
     නඩු අඩු කර ගැනීමේ අරමුණෙන් නීති වෙනස් කිරීම වැරදි ක‍්‍රියා පටිපාටියක් බව මුලින්ම පැවසිය යුතුය. ළමා අපචාර චෝදනාවලට ලක් වූ අධීක්ෂණ මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවේ බලධාරීන්ගේ ආශිර්වාද මැද යෙහෙන් වැජඹෙන නිසා මෙම නීති සංශෝධනයට ඔවුන්ගේ සහාය ලැබෙනු ඇත. එහෙත් රටක නීතියක් වෙනස් කළයුත්තේ එම නීතියෙන් ආවරණය කරන ලද සමාජ චර්යාවන්ගේ වෙනස්කමක් හේතුවෙන් නීති වෙනස් කළ යුතුම බවට අවධාරණය කෙරී ඇති විටකදීය. උදාරහණයක් ලෙස මහජන දේපළ කෝටි ගණන් විනාශ කළ මැති ඇමතිවරුන්ට විරුද්ධව නීතිය කි‍්‍රයාත්මක නොවන නිසා ඔවුන් යළිත් මැතිවරණයකට ඉදිරිපත්වීම වළක්වාලන නීතියක් අලූතින් සම්මත කළ හැකි නම් එය සාධාරණය.

     සමාජයේ සිදු වන වෙනස්කම් මත, එම වෙනස්කම් සැලකිල්ලට ගෙන විවාහ වන වයස් සීමාව වෙනස් කරන්නේ නම් එය සාධාරණ ක‍්‍රියාවකි. එහිදී අවධානය යොමු කළ යුතු කරුණු ගණනාවකි.

     යුරෝපා රටකදී නම් බොහෝ විට අවුරුදු 15 ක් යනු ස්වාධීන පුද්ගලයෙකි. ඔවුන්ට ස්වාධීන ජීවිත ගත කිරීමේ හැකියාව ඇත. එහෙත් ලංකාවේදී තත්වය ඊට වඩා වෙනස්ය. අවුරුදු 15 ක් යනු ලංකාවේදී ළමා වයසකි. අවුරුදු 15 ක් වූ ස්වාධීන ජීවිත ගත කිරීමේ හැකියාව ඇත්තේ ළමා ශ‍්‍රමිකයින් ලෙස කුඩා කල සිට ශ‍්‍රමය විකිනීමේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ දරුවන් පමණි. එසේ නැතිව පාසලේ 10 වැනි වසරේ ඉගෙන ගන්නා දරුවන්ට විවාහ වී ගත හැකි විවාහ ජීවිතය’ කුමක්ද? විවාහවීම යනු ලිංගික සබඳතා පැවැත්වීම පමණක් නොවන බව නොදන්නේ බාල වයස්කරුවන් පමණි.

     අප රටේ මූලික අධ්‍යාපනය ලෙස ගණන් ගැලෙන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයයි. සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ අයකුට රැුකියාවක් සොයා ගැනීමට සිදු වන්නේ දැඩි දුෂ්කරතා මධ්‍යයේය. ඒ ද බොහෝ විට කම්කරු රැුකියාවකි.

     අවුරුදු 18 ට වඩා අඩු වයසේ පසුවන්නන්ගේ ලිංගික සබඳතා බහුල ග‍්‍රාමීය ප‍්‍රදේශවල තත්වය සොයා බලන්නේ නම් එහි වෙසෙන සාමාන්‍ය පෙළ විභාගය අසමත්වූ තරුණ තරුණියන් ගත කරන ජීවිත කවරාකාරදැයි හඳුනා ගත හැකිය. සාමාන්‍ය පෙළ විභාගයෙන් හයයි තුනක් ගොඩ දා ගැනීම හෙවත් අවම වශයෙන් සමත්වීම ඔවුන්ගේ ඉන් අනතුරුව ගොඩනැගෙන මුළු ජීවිතයටම වැදගත්ය.

     අවුරුදු 5 දී පාසල් අධ්‍යාපනය අරඹන දරුවකු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නේ අවුරුදු 16 දීය. පළමුවර අසමත් වන ගම්බද සිසුන් දෙවැනි වර විභාගයට පෙනී සිටින්නේ 17 දීය.

     අනෙක් අතට මෙලෙස විවාහ වන හෙවත් ලිංගික සබඳතාවලට ඇති සීමාව අවුරුදු 15 දක්වා අඩු කළ විට ඉන් විශාල වාසියක් අත් වන්නේ කාටද යන්න විමසා බැලිය යුතුය. අද සාමාජයේ ළමා අපචාර පිළිබඳ පුවත් නිරන්තරයෙන් වාරතා වන අතර නව නීතිය එම අපචාරකරුවන්ට සහන සැලසීමක් නොවන්නේද? ඔවුන් දිරිමත් කරන්නක් නොවන්නේද? නව නීතිය සම්මත වූ විට, අවුරුදු 15 දැරියක දූෂණය කළ අයකුට නීතිය ඉදිරියේදී ඇය සිය කැමැත්තෙන් ලිංගික සබඳතා පැවැත්වූ බව ඔප්පු කර නිදහස් වීමට ලැබන ඉඩ ගැනද අවධානය යොමු කළ යුතුය.

     ලංකාව තුළ අවුරුදු 15 ක් යනු ලිංගික සබඳතා පිළිබඳ දැනුමක් ඇති වයසක් නොවේ. විශේෂයෙන්ම එම වයසේ පසුවන දැරියන් එබඳු සබඳතාවලට යොමු වන්නේ බොහෝ විට ඔවුන්ගේ කැමැත්ත මත නොව වැඩිහිටියන්ගේ පෙළඹවීම හෝ බල කිරීම මතය. ඒ නිසා නව නීතිය මගින්, සිය ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමට කුඩා දැරියන් යොදා ගන්නා වැඩිහිටියන්ට නීතිමය රැුකවරණයක් සාදා,ඊට ගොදුරුවල දැරියන්ගේ අනාගතය අඳුරු කිරීම වැළැක්විය නොහැකිය.

     තවත් කරුණක් වන්නේ දෙමාපියන්ගේ අනු දැනුම මත බාලවයස්කරුවන් (විශේෂයෙන්ම ගැහැණු දරුවන්) විවාහ කර දීමය. සමීක්ෂණයක් කර බලන්නේ නම් මෙම ප‍්‍රවණතාව ඇත්තේ ඉතා දුෂ්කර ජීවිත ගත කරන ග‍්‍රාමීය පවුල් අතර බව වැටහෙනු ඇත. ඔවුන් තම දියණියන් අඩු වයසින් විවාහ කර දෙන්නේ වෙන කරන්නට දෙයක් නැති නිසාය. ආණ්ඩුවට හිසරදයක් වී ඇති නඩු ගොඩ ළමා අපචාර හා අඩු වයසින් විවාහ කර දීම නිසා බව පැහැදිලිය.

     ඊට පිළියම වන්නේ නඩු අඩු කිරීමට නීති පහත හෙළීම නොව, නීති උල්ලංඝනය නොවන තැනට සමාජය උසස් කර ලීමය. මෙම ප‍්‍රවණතාව නාගරිකව අඩු වන්නේත් ග‍්‍රාමීයව ඊට සාපේක්ෂව වැඩි වන්නේත් ඇයි දැයි විමසා බැලිය යුතුය. දුෂ්කර ග‍්‍රාමීය ජනතාවගේ ජීවිත නංවාලීම හා ඔවුන් දැනුවත් කිරීම ඊට ගත හැකි පිළියමකි. ආණ්ඩුව ඇඟට අමාරු එහෙත් ගුණදායක පිළියම් වෙත යොමු වන්නේ නම් රෝගය සුවපත් කළ හැකිය. එසේ නොවේ නම් මෙම ඇමතිවරුන්ගේ මුවින් ඊළඟට අප අසන්නට ලැබෙනු ඇත්තේ ලෙඩා මළත් බඩ සුද්දයි වර්ගයේ කතා ය.


සංස්කාරක
තෙවන ඇස

0 comments :

Post a Comment