Tuesday, May 13, 2014

බල්ලන්, බූරුවන් පරාජය කළ ශිෂ්‍යයෝ…!

අධිකරණයට අයත් වැඩ ද තිබේ. අධිකරණය වුවද අත නොගැසිය යුතු වැඩ ද තිබේ. බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට යා යුතු නැති බව නීතිය නොවේ අකුරක් පවා නූගත් ගැමියෝ වුවද හොඳහැටි දනිති. එහෙත් අපේ රටේ ජනතාව ගොන්නුන් යැයි සිතා සිටින බූරු වහන්සේලාට ජයවේවා! උන් නීතියට මුවා වී ආණ්ඩුවේ මල අසූචි හෝදන්නට යන බව ඔප්පු වී හමාරය. අසූචි නාගන්නේ ඒ ආකාරයෙන් තමන්ට අයිති නැති දේ කරන්නට යන පක්කලි මහත්වරුන් නෝනාවරුන්ය. ඇතැම් විට එවැනි පක්කලියන් විනිශ්චය ආයතනවලට පත් කරන්නේ ද ආණ්ඩුව කරවන උන්මය. උන් උන්ගේ හැටියට වැඩ කරති. පාලකයෝ පාලනය ගෙන යන්නේ ජනතාව පෙළමින්ය. ඒ පාලනය සාධාරණිකකරණය කිරීම පක්කලියන්ගේ රාජකාරිය විය හැකිය. එහෙත් එය අධිකරණයේ කාරිය විය නොහැකිය.

මේ පූර්විකාව කියන්නට සිදු වූයේ ජනතාවට විරෝධය පළ කිරීමේ අයිතියක් නැති බවට පූර්ව නිගමනයකින් යුතුව කටයුතු කරන විනිසුරුවරුන් සිටින නිසාය. එවැනි විනිසුරුවරුන්ට කිව යුත්තේ තනතුරේ ගෞරවය ආරක්ෂා කරන්නට නොහැකි නම් පාලකයන්ගේ ගෙවල්වල වළං පිඟන්, කිළිටි රෙදි සෝදා යැපෙන්නට සූදානම් වන ලෙසය. ඇතැම් විනිසුරුවරු වෘත්තීය සමිති නායකයන්ට අයිතීන් දිනා ගන්නට සටන් කිරීම ගැන නියෝග පනවති. තවත් විනිසුරුවරු මහජන උද්ඝෝෂණවල යෙදී සිටි හේතුව නිසා මිනීමැරුම්වලට සම්බන්ධ යැයි පොලිසිය විසින් කියන ගම්වාසීන් වැලිකඩට දක්කති.

තවත් විනිසුරුවරු පාලකයන්ගේ පඩුරු පාක්කුඩම් ලබා ගන්නට උන්ගේ මන්දිරවලට බඩ ගාති. එහෙත් කොට්ටෝරුවා කොටා ගෙන ගොස් කෙසෙල් ගහට කෙටූ විට සිදු වන්නේ හොට පැටලීමයි. ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ඊයේ පෙරේදා පැවැත්වූ පෙළපාළිය නිසා එසේ හොට පටලවා ගත් උන් කීප දෙනෙක්ම වූහ. මේ ශිෂ්‍යයන් විරෝධය පළ කළේ හේතු ඇතිවය. ‘සම සෞඛ්‍ය’ උපාධිය කප්පාදු කිරීම ගැන තමන් ගෙන යන විරෝධතාව ගණනකට නොගත් නිසා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට ඊට විරෝධය පළ කර සිටීම ශිෂ්‍යයන් සතු අයිතියකි. එය උදුරා ගන්නට පාලකයන්ට හෝ පාලකයන් විසින් උසි ගැන්වූ පොලිසියට හෝ පාලකයන් විසින් කඬේ යවනු ලබන විනිසුරුවනට නොහැකිය.

සම සෞඛ්‍ය උපාධි අයිතිය ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කැඳවා තිබුණු විරෝධතා පෙළපාළිය ගැන අධිකරණය දී තිබුණේ අපූරු නියෝගයකි. එහි දී කියා තිබුණේ සිසුන් කොළඹ නගරයේ ස්ථානවල විරෝධය කළ යුතු නැති බවයි. කරනවා නම් උද්ඝෝෂණය කොටුව දුම්රියපොළ ඉදිරිපිට කළ යුතු බව අධිකරණයේ නියෝගය විය. විරෝධතාවක් පළ කරන්නේ යම් විරෝධයක් ඉදිරිපත් කිරීමටය. විරෝධය පළ කරන්නට සුදුසු තැන එය නොකර වෙනත් තැනක විරෝධය පළ කරන්නේ නිවටයන්ය. ශිෂ්‍ය ව්‍යාපාරය කිසිදා නිවටකම් කරන්නේ නැති බව පසුගිය දා යළි සනාථ කළේය. ඒ ශිෂ්‍ය විරෝධය සංවිධානය කරන බව දැනගත් වහාම පාලකයන්ගේ නියමයෙන් පොලිසිය බත්බැලයන් පිරිසක් කළේ අරුම පුදුම නාඩගමක් නැටීමය.

ඔවුහු අධිකරණය හමුවට ගොස් ශිෂ්‍ය උද්ඝෝෂණ පැවැත්වේ යැයි ඔත්තු සේවා වාර්තා කළ ස්ථානවල දී කිසිදු විරෝධතාවක් හෝ නොපැවැත්විය යුතුය යන නියෝගයක් අධිකරණයෙන් ලබා ගත්හ. ඒ මදිවාට උද්ඝෝෂණ කළ යුතු තැන ලෙස කොටුව දුම්රියපොළ ඉදිරිපිට අධිකරණය හරහා නම් කිරීමට ද මේ බත්බැල නිලධාරීහු සමත් වූහ. අධිකරණය කළ යුත්තේ යුක්තිය පසිඳලීම මිස බල්බැලයන් කියන කියන විදිහට පාලකයන්ට අවශ්‍ය නියෝග නිකුත් කිරීම නොවේ.

ඉතින්, විරෝධය පළ කිරීමේ අයිතිය තමන් සතු බව අධිකරණයට වඩා හොඳින් දන්නා ශිෂ්‍යයෝ අධිකරණ නියෝගවලින් පසුබැස ගියේ නැත. ඒ ශිෂ්‍ය ව්‍යාපාරය අඩපණ කිරීමට අධිකරණය හරහා ශිෂ්‍ය නායකයන් පිරිසක් නම් කරමින් ඔවුන්ට විරුද්ධව නියෝග ගැනීමට ද පාලකයන්ගේ කටු ලෙව කන නිලධාරීහු සමත් වූහ. ඉතින් උන්ට මකුළු දැලින් හමන සුළං වැළකිය හැකි වූයේ නැත. ශිෂ්‍ය නායකයන්ගේ මව්පියන්ට තම නිවෙස් අයිති ප‍්‍රදේශයේ පොලිසියට වාර්තා කරන ලෙසට දන්වා තිබේ. ජනතාව මර්දනය කිරීමේ කැත හෙලූව මේ තරම් ඉක්මනින් පෙන්වීමට පාලකයන් ඉදිරිපත්ව තිබේ. තම දරුවන් වයස අවුරුදු 18 ට වැඩි නිසා ඔවුනට යම් මතයක් දැරීමට හා ක‍්‍රියාමාර්ග ගැනීමට අයිතිය ඇති බව මව්පියන් විසින් පොලිසියේ දී ප‍්‍රකාශ කර තිබේ.

පාලකයන්ටත් බත්බැල පොලිසියටත් බල්ලාගේ වැඬේ කරන්නට යන අධිකරණයේ බූරුවන්ටත් පාඩමක් ඉගෙන ගන්නට නොහැකි වූ බව දනිමු. මන්ද නියෝග කඩකල ශිෂ්‍ය නායකයන්ගෙන් පලිගැනීම අරඹා ඇති බැවිනි. අධිකරණය තමන්ට අයිති නැති නියෝග නිකුත් කිරීම මෙතැනින් නවතින්නේ නැති බව ද සහතිකය. එහෙත් බල්ලාගේ වැඬේ කරන්නට යන බූරුවන් කොහේ සිටියත් උන්ට හිස නැවිය යුතු නැති බව පෙන්වා දුන් ශිෂ්‍ය ව්‍යාපාරයට ජයවේවා! නියෝග කඩදාසිය දෙකට නවා …. ගසා 07 වැනිදා පැවැති පෙළපාළියට ගිය ශිෂ්‍යයන්ට සුබ පතමින් මේ සටහන නිමා කරමි.

0 comments :

Post a Comment