Friday, August 30, 2013

T-56 සහ තබ්ලාව | මිලිටරි රියැලිටි සංකල්පය

ජාතික රූපවාහිනී සංස්ථාව විසින් සංවිධානය කෙරෙන රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ අවසන් මහා තරගය පසුගිය දිනෙක සජීවීව විකාශය කරන ලදී. එහි ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති රාජපක්ෂ සහ එම ආර්යාව සමග ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද සහභාගී වී සිටියහ. විනිශ්චය මන්ඩලයේ වාඩි වී සිටියේ යශෝදා විමලර්ධම, එඩ්වරඩ් ජයකොඩි හා ජැක්සන් ඇන්තනී යන තිදෙනාය. තරග වදින සොල්දාදුවන් ගීතය ගයා අවසන් වූ විට ඒ ගැන අදහස් දැක්විම මේ විනිසුරන්ට භාර වී තිබුනි. සිය සෑම අදහස් දැක්වීමක්ම පාහේ ජැක්සන් ඇන්තනී ආරම්භ කරන ලද්දේ "මිලිටරි රියැලිටි" සංකල්පය ලෝකයට පලමුවෙන් හදුන්වා දුන් "අතිගරු ජනාධිපතිතුමන්ට" සහ " ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ට" ස්වකීය උපහාරය පුද කරමින්ය.

රණවිරු රියල් ස්ටාර් වැඩසටහන වූ කලී වෙළඳපොල ධනවාදය සමග සිංහල රනකාමී ස්වෝත්තමවාදයත්, වැඩවසම් පිළිම වන්දනාවත් මිශ්‍ර වී බිහිවුනු අපූර්ව ආකාරයේ ඔලු තුනක සත්වයෙකි. සුපර් ස්ටාර් පන්නයේ රියැලිටි වැඩසටහන් බටහිර රටවල බිහිවූයේ විනේදාස්වාද කර්මාන්තය ( Entertainment industry) දියුනු වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. කාර්මික ධනවාදයෙන් පශ්චාත් කාර්මික යුගයට මාරු වෙද්දී බටහිර රටවල හටගත් එක් වැදගත් උද්ගතයකි විනෝදාස්වාද කර්මාන්තය වෙත විශාල වශයෙන් ප්‍රාග්ධනය ආයෝජනය වීම. ලංකාවේ රූපවාහිනී නාලිකා මහත් අභිරුචියෙන් විකාශය කරන සුපර් ස්ටාර් තරගවල සිට ලිට්ල් ස්ටාර්/ ලවිං ස්ටාර් තරග දක්වා වූ සියලු රියැලිටි වැඩසටහන් බටහිර විනෝදාස්වාද කර්මාන්තය තුලින් ගෙඩි පිටින් නයට ගත් සංකල්පයෝ වෙති. ජැක්සන් ඇන්තනී ඇතුලු පිරිස වාඩි වී සිටි විනිශ්චයාසනය පසුපස කුඩා පරිමාණ තිරයක් සවිකොට තිබුනි. විවිධ සමාගම් වල වෙළඳ සන්නාම එහි වර්ණවත්ව ප්‍රදර්ශනය කෙරෙමින් තිබුනි.
මේ වාණිජ ක්‍රීඩාවේ දී කෙසේ වුවද විකුනනු ලැබෙන්නේ "රණවිරුවා"වය. ශිහාන් මිහිරංග වැනි සුකුමාල තරුණයන් සහ නදිනි ප්‍රේමදාස වැනි ගැහැනුන්ගේ භාව භාව ලීලාවන් විකුනනවාට වඩා අභිමානවත් රණවිරුවන් විකිනීම තරමක වෙනස් වැඩකි. යුද්ධ කාලයේ විකාශය වූ මහත් ප්‍රසිද්ධියට පත් "අපි වෙනුවෙන් අපි" වෙළඳ දැන්වීම ඔබට මතක නම්, එම දැන්වීමේ ‍තේමාව වී තිබුනේ රණවිරුවාගේ නිල ඇදුම තුල සුන්දර මනුශ්‍යයෙක් ජිවත්වන බව පෙන්වාදීමයි. ඔහු "අපෙන් එකෙකි". රණවිරු රියල් ස්ටාර් තුලින් පෙන්වා දෙන්නේ හමුදා සොල්දාදුවා තුල මහත් සෞන්දර්යයාත්මක මිනිසෙක්, රසවතෙක්, සංවේදී කලාකරුවෙක් ජීවත් වන බවයි. කොච්චර ලස්සනද? අපේ රණවිරුවන්ට යුද්ධ කරනවා වගේම සිංදු කියන්නත් පුලුවන්.

මෙහිදී හමුදා සොල්දාදුවා සෞන්දර්යමය වස්තුවක් බවට මාධ්‍යය විසින් පත්කරනු ලැබේ. උත්තුංග දේහධාරී රණකාමී එසේම කලාකාමී රණවිරු පිරිමින්ට එස්.එම්.එස්. ගැසීම සඳහා සමාජයේ යෞවනියන් අතර උන්මාදයක් වගාදිගා කරනු ලැබේ. එම එස්.එම්.එස්. තුලින් ඩයලොග් සමාගම ඊට සමගාමීව විශාල ආදායමක් උපයාගනී. සිංහල ජාතිය සමග බහුජාතික ප්‍රාග්ධනය අතිනත ගෙන ඇත්තේ එසේය.
එහෙත් යථාර්ථයේ දී හමුදාව සහ හමුදා සෙබලා යනු මෙවැනි සෞන්දර්යයමය වස්තුවක් නොව පීඩක උපකරණයක් බව අපි දනිමු. පසුගිය දා වැලිවේරිය- රතුපස් වලදී ඉතාම විවෘතව හා ඉතාම මිලේච්ඡ ලෙස හෙලිදරවු වූයේ එම කරුණ මිස ‍අනෙකක් නොවේ. එය (හමුදාව) අධිපති පංතිය සහ අධිපති සමාජ රටාව ආරක්ෂා කරගනු වස් නඩත්තු කෙරෙන මර්ධක යන්ත්‍රයකි. අද වැලිවේරිය නිරායුධ ජනයාගේ විරෝධය දැක්වීම් වලට විවෘතව වෙඩි තබා ඒවා විසුරුවා හැරීමට පාලකයින් වෙනුවෙන් මැදිහත් වන්නේ යම් සේද කටුනායක කම්කරු උද්ඝෝෂනවලදී නිරායුධ කම්කරුවන්ට ගිනි බින්දේද, හලාවත ධීවර උද්ඝෝෂනවලදී තරුණ ධීවරයෙක්ගේ හිස් කබල පුපුරා යන ලෙස වෙඩි තිබ්බේ ද රණවිරු රියල් ස්ටාර් වේදිකාව මත නර්තන ලීලා දැක්වූ හමුදා සෙබලුන්මය. මියගිය එල්.ටී.ටී.. සෙබලියන්ගේ සිරුරු නිරුවත් කොට, ඒවා සමග අශ්ලීල බස් තෙපලමින් විනෝද වෙමින්, ඒ විනෝද වීම් සිය ජංගම දුරකථන මගින් රූගත කොට සටහන් කරගනු ලැබුවේ ද මිලිටරි රියැලිටි වැඩසටහන් වල ගී ගයන මෙම සෙබලුන්මය. රියැලිටි වැඩසටහන් යනු යථාර්ථය එලෙසම විකාශය කිරීම නම් සැබෑ "මිලිටරි රියැලිටි" වැඩසටහන රණවිරු රියල් ස්ටාර් නොව චැනල් ෆෝ නාලිකාව විකාශය කල ශ්‍රී ලංකන් කිලිංග් ෆීල්ඩ්ස්. සමාජයේ දුගී සහ පීඩිත ස්ථරයන්ට අයත් තරුණයින් අතරින් ශක්තිසම්පන්නයින් තෝරාබේරා බඳවාගෙන, ඔවුන් මොල සේදීමකට ලක්කොට, සන්නද්ධ පුහුනුවක් ලබාදී ධනපති රාජ්‍යය වෙනුවෙන් ඕනැම ප්‍රචන්ඩ ක්‍රියාවක් කිරීම සදහා අවිචාරාත්මකව ඔවුන් පුරුදු පුහුණු කිරීම හමුදාවේ කාර්යය භාරයයි. සොල්දාදුවා යනු මේ අනුව විරුවෙක් හෝ යෝධයෙක් නොව අධිපති පංතිය විසින් සිය අභිමතාර්ථයන් වෙනුවෙන් පාවිච්චි කෙරෙන අධිපති පංතියේ ඉත්තෙකි. ගොදුරකි.

මිලිටරි රියැලිටි වැඩසටහන් මගින් සිදුකෙරන්නේ හමුදාව පිලිබද ඉහත දේශපාලන යථාව සෞන්දර්යයවාදී කඩතුරාවකින් වසාදැමීමයි. මේ නිසා රණවිරු රියල් ස්ටාර් යනු හමුදාවේ සිටින දක්ෂයින්ට "අත දීම" සදහා සිදුකෙරෙන අහිංසක සංගීත සාජ්ජයක් නොව අතිශය දේශපාලනික වැඩසටහනකි. බැල්කනියේ ඉහල ආසන අරා මහින්ද - ගෝඨාභය දෙබෑයෝ තෘප්තිමත් සිනහවකින් යුක්තව බලා සිටින්නේ කරලියේ රඟදෙන එම දේශපාලන වැඩසටහන දිහාය. සාරංග දිසාසේකර සිය හුරුබුහුටි නිවේදනයෙන්ද, ජැක්සන් ඇන්තනී සිය වාචාල නන් දෙඩවීම් වලින්ද, යශෝදා විමලධර්ම සිය ශාන්ත අභිනයන්ගෙන්ද වර්ණ ගන්වනු ලබන්නේ සෞන්දර්යයමය කඩතුරාවකින් වසනු ලැබූ එම දේශපාලන වැඩසටහනයි. මේ නිසා නිසැකවම අපට මෙසේ කිව හැක. රණවිරු රියල් ස්ටාර් - එහි කාර්යය අතින් ගත්කල්හි - 'රතු ඉර'ට වඩා දේශපාලනිකය

boondi.lk

1 comments :

Unknown said...

pivisenna http://videotutorialslk.blogspot.com/

Post a Comment