Sunday, August 25, 2013

හම්බයින් එලවා ජලගැටලුව විසඳූ රාවණා පුරාවෘතය

King Ravana
King Ravana
රාවණා රජතුමාට "හම්" කම්හලක් තිබුණි. එහි සේවය කළේ හම්බයින් ය. හම්බයා යනු "හම් බඩු යාන්ත්‍රිකයින්" බව අරිසේනියානු පද නිරුක්තියෙන් පැහැදිළි වෙයි. [හම්=හම්, බ=බඩු, යා=යාන්ත්‍රිකයා]

සතුන්ගේ හම් ලබා ගැනීමට අකමැති වූ රාවණා රජතුමා එම කම්හලේ "දර්ශනීය ලෙලි" හෙවත් ලෙදර් හැදුවේ විස්මිත හෙළ තාක්ෂණය යොදා ගනිමින් රබර් වලිනි. [ලෙදර් යනුත් හෙළ වචනයකි; ලෙ=ලෙලි, දර්=දර්ශනීය] 

රබර් වලින් ලෙදර් හැදීමේ හෙළ තාක්ෂණය වනාහී, ඇල්වතුරට කෙමිකල් දැමීම හෙවත් "ඇල්කෙමි" තාක්ෂණයයි. [ඇල්=ඇල්වතුරට, කෙමි=කෙමිකල් දැමීම] 

රබර් යොදා ගනිමින් නිෂ්පාදනය කළ ලෙදර් හෙවත් "දර්ශනීය ලෙලි" නිෂ්පාදනය කළ කොටසට යොදා ගත් විශ රසායන ද්‍රවයක් පරිසරයට මුදා හැරීම නිසා ප්‍රදේශයේ ජනතාව ලෙඩ විය. එය ආරංචි වූ ජන හද අඳුනන දුක විමසාලන රජතුමා ජනතාවට උද්ඝෝෂණය කිරීමට ඉඩ නොතබාම, කර්මාන්ත ශාලාව වසන්නට අණ කළ විට තම රැකියාව රැක දෙන ලෙස කියමින් හම්බයෝ උද්ඝෝෂණය කළහ. "හම්බයාට රැකියාව රැක දීමත්, ජනතාවට බොන්න පිරිසිදු ජලය ලබා දීමත් දෙකම කරන්නට මට බැරිය. එනිසා හම්බයා පල තෝ මැදපෙරදිගට" කියා එකල රාවණා රජතුමා හම්බයින්ව මැදපෙරදිගට පන්නා දමන ලදී. රාවණගේ ඝර්ජනාවට බිය වූ හම්බයෝ මැදපෙරදිගට පැන දිවූහ. එදා සිට මැදපෙරදිග "අරාබිය" යනුවෙන් හැඳින්වේ. [අ=අපරාජිත, රා=රාවණට , බිය=බියවූවෝ].

අන්න බලන්න එදා සිටි රජාගේ වැඩ. අපටත් එවන් රජෙක් ඇත්නම්.....

කතාව එතනින් ඉවර නැත. පෙර කී පරිදි ලෙදර් වැඩ වලට හුරු වී සිටි හම්බයින්ට වෙනත් රැකියාවක් කිරීමට නොහැකිව අරාබියේ ඔටු චූ බොමින් නන්නත්තාරේ යන්නට විය. එය දැනගත් රාවණා රජතුමා බොහෝ සෙයින් දුකට පත් වී එම "නන්නත්තාරයේ යන්නන්" උදෙසා රබර් යොදා ගනිමින් "ලෙදර් බඳින" මහා කර්මාන්ත ශාලාවක් අරාබියේ ඉදි කළේය. එය පිහිටි ප්‍රදේශය "ලෙබනන්" යනුවෙන් හැඳින්වෙනු ලැබීය. [ලෙ=ලෙදර්, බ=බඳින, නන්=නන්නත්තාරයේ යන්නන්ට]. ලෙබනන් වැසියෝ අදටත් රහසේම රාවණාට වඳින්නේ හෙළදිව දෙසට නමස්කාර කරමිනි. හෙළයෙක් වීම ගැන ආඩම්බරයි නේද?

නමුත් ඒ කර්මාන්ත ශාලාව නිසාත් අරාබි ප්‍රදේශයේ ජලය දූෂණය විය. (රබර් ගෑවුණොත් ඔහොම තමයි.) කොතෙක් දුෂණය වූවාද කිවහොත් එහි ජලය තෙල් බවට පත් විය.

ඉහත දැක්වෙන ඉතිහාස පුවත පද නිරුක්ති වලින් ඔප්පු කිරීමට අමතරව, වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ, බමුණන් විසින් විනාශ කළ ලෙබනන් සෙල් ලිපියේ, ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළ පුස්කොළපොත්වල, නාසා ආයතනයේ ලෙබනන් සම්බන්ධ රහසිගත පර්යේෂණ වාර්තා වල සඳහන් වී තිබේ.

පද නිරුක්ති මගින් ඕනෑම ඉතිහාස කතන්දරයක් 100% ක් සත්‍යව සහ විශ්වාසනීයව ඔප්පු කළ හැකි බව මේ ලිපිය කියවීමෙන් ඔබටත් වැටහුණානම් මෙය Share කරන්න.

උපුටාගැනීම - වර්ගපූර්ණිකාව

0 comments :

Post a Comment