Monday, April 7, 2014

රහත් බව ඔප්පු කරන්න සිරිසමන්තභද්‍ර හිමි ප්‍රාතිහාර්ය පායි.

ස්වාමින්වහන්ස, ඔබවහන්සේ මහ රහත් භාවයට පත් වෙලා කියන කතාව ඇත්තද?ඔව්, මම පුනර්භවය නැති කළා. මේ මගේ අන්තිම උපතයි. ආයෙත් මගේ උපතක් නෑ.

ඒ කියන්නේ මෙතැන ඉඳලා මම ඔබවහන්සේව සිරිසමන්තභද්‍ර මහ රහතන්වහන්සේ කියලා හැඳින්නුවට කමක් නෑ?ආ.. ඒකට කමක් නෑ. ඒකේ කිසිම වරදක් නෑ. ඒකේ කිසිම අඩුවකුත් නෑ. ඒක සර්ව සම්පූර්ණයි.

ස්වාමින්වහන්ස, මහ රහතන්වහන්සේ කෙනෙක් විදිහට මොනවද ඔබවහන්සේට දැනෙන්නේ?බුද්ධාගමේ කියන අවබෝධය අපරාජිතයි. ඒක සදාතනිකයි. අමරණීයයි. ඒ නිර්වාණ ධාතුව ස්පර්ශ කළ කෙනෙක් ජීවිතේ හරි අමුතු විදිහට දකිනවා. රහතෙක් කියලා කියන්නේ ජීවමාන, සොබාදහම සමග එකතු වෙච්ච, මමත්වය නිසා හදා ගත්ත දැල් රාමු කඩලා සොබාදහම සමග එකතු වෙච්ච කෙනෙක්. ඔහු ධීරයි. ධීරයි කියලා කියන්නේ ඔහු තුළ නොනවතින ජවයක් පවතිනවා. ඔහු තුළ තේජසක්, අභිමානයක් පවතිනවා. අපි පහුගිය කාලේ රහතුන් කියලා දැක්කේ කොන්ද කඩාගත්ත, දෙකට නැමුණු ගැරඬි. කොන්ද කඩාගත්ත, දෙකට නැමුණු ගැරඬි කොහොමද රහතුන් වෙන්නේ?

ස්වාමින්වහන්ස, මොකද්ද ඒ කොන්ද කඩාගත්ත ගැරඬි කතාව?දැන් ඔය රහතුන් කියන ගොඩක් අය මේ සමාජයේ ඉන්නවා. ඔවුන් දිහා බලන්න. ඔවුන්ගේ මූණුවල කිසිම තේජසක් නෑ. ඔවුන්ගේ මූණු මාන්නයෙන්, මානසික පීඩනයෙන් හිරවෙලා. දක්ෂ මනෝ වෛද්‍යවරයෙක් ඔවුන් දිහා බලාගෙන හිටියොත් කියාවි මොහු රහතෙක් නෙවෙයි ස්ටෙ‍්‍රස් නැතිනම් මානසික පීඩනය තියෙන කෙනෙක් කියලා. මම කියන්නේ රහත් බවට පත්වෙච්ච ආර්යයන් වහන්සේ කෙනෙක්ගේ මූණේ නෑ කිසිම මානසික පීඩනයක්. උන්වහන්සේලාගේ මූණේ තියෙන්නේ එකම තේජසක, පෞර්ෂයක්, අභිමානයක් සහ අවබෝධයක්. කෙනෙක් සැබෑවටම අවබෝධයට පත්වුණානම් ඒ අවබෝධයට පත්වෙච්ච උතුමා බොහෝම සෘජුයි- උජුපටිපන්නයි.

ස්වාමින්වහන්ස, ඔබවහන්සේ කියන්නේ මනෝ වෛද්‍යවරයෙක්ට කිසියම් කෙනෙක් රහත්ද නැද්ද කියලා කියන්න හැකියාවක් තියෙනවා කියලද?මම එහෙම කිව්වොත් වැරැදියි. මම විද්‍යාව පිළිබඳ උපාධියක් තියෙන කෙනෙක්. මම යමක් අවබෝධ කළා. මම ඉදිරි කාලයේදී විද්‍යාත්මකව යම් යම් පරීක්ෂණ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මම අද ඒක මොකද්ද කියලා එළිදරව් කරන්න යන්නේ නෑ. තව අවුරුදු දෙකක් තුනක් ඇතුළත කෙනෙක් රහත් බවට පත්වුණා කිව්වොත් ඒ රහත් බව විද්‍යාත්මක පර්යේෂණයකින් ඔප්පු කරන්න පුළුවන් තත්ත්වයක් මම හදනවා.

ස්වාමින්වහන්ස, කෙනෙක් රහත් වුණාම එයාගේ ඇ‍ඟ් තියෙන රසායනික ක‍්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවාද?සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

ඔබවහන්සේගෙත් එහෙම වෙනස් වෙලා තියෙනවාද?එහෙම වෙනස් වෙනවා කියලා මට දැනෙනවා. ඒක තමයි මම කිව්වේ මට තව අවුරුදු දෙකක් දෙන්න කියලා මේක විද්‍යාත්මකව ඔප්පු කරන්න. නිකන් හිතන්න එපා මේක මොට්ට කතාවක් කියලා. මේක ලංකාවේ විශ්වවිද්‍යාලයකින්, විද්‍යාවේදී උපාධියක් ගත්ත, විද්‍යාඥයෙක් වීමට සුදුසුයි කියලා විශ්වවිද්‍යාලයෙන් සහතිකයක් ගත්ත කෙනෙක් කියන කතාවක් කියලා අමතක කරන්න එපා. අද ඔහු ඒ උපාධියටත් වඩා බොහෝම ඉහළට ගිහිල්ලා. ඔහු අවබෝධයට පත් වෙලා. එවැනි කෙනෙක් තමයි අද මේ කතාව කියන්නේ. දැන් මෙතෙක් කල් රහත් බව කියලා කිව්වාම හැමෝම හිතාගෙන හිටියේ ඒක නිකන් බොරු මවාපෑමක් කියලානෙ. දැන් සමහර රහතුන් ඉන්නවා, ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ රහතුන් කියලා. හැබැයි අද මම ප‍්‍රසිද්ධියේම කියනවා, යම් කිසිකෙනෙක් රහත් කියලා කියනවා නම්, එය අවංකවම කියන්න අයිතිය තියෙන්නේ මට විතරයි. වෙන කිසි කෙනෙකුට ඒක කියන්න බෑ. මේ ලෝකේ රහතෙක් ඉන්නවා නම් ඒ මා පමණයි.

ස්වාමින්වහන්ස, ඔබවහන්සේ කොහොමද එහෙම කියන්නේ. එහෙමනම් කවුද ඔබවහන්සේගේ රහත් බව පරික්ෂා කරන්නේ? ඕන කෙනෙක්ට ඇවිල්ලා මාව පරික්ෂා කරන්න පුළුවන්. මම එහෙම කියන්නේ කෙනෙක් අවබෝධයට පත් වුණානම් එයා හරියටම මාර්ගය දැනගන්න ඕන. දැන් අපෙන් කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් ‘මම සියල්ල අතහැරියා. දැන් ඔබවහන්සේ කියන්න ඒ අවබෝධයට පත්වෙන මාර්ගය’ කියලා. මම හරියටම මාර්ගය කියනවා. වටේ යන්නේ නෑ. ඒ රහත් මාර්ගය මම හරියටම දන්නවා. ලෝකේ කවදාවත් රහත් මාර්ගය දෙතැනක එකවර පහළ වෙන්න බෑ.

ස්වාමින්වහන්ස, ඔබවහන්සේ කියන්නේ ඉන්දියාව, තායිලන්තය, බුරුමය වගේ විදෙස් රටකවත් මේ මොහොතේ රහතන්වහන්සේ කෙනෙක් නෑ කියලද?ඒවයි ඉතින් රහත්වරු කොච්චර ඉන්නවාද? කෙනෙක් ධර්මාවබෝධයට පත්වුණානම් ඒ ධර්මාවබෝධයට පත්වෙච්ච ආර්යයන්වහන්සේ සම්පූර්ණයෙන්ම සුපිරි ඥානවන්තයෙක් වෙන්න ඕන. ඒ සුපිරි ඥානය කිසිකෙනෙකුට දෙවැනි කරන්න බෑ. හොඳයි ඔයා පුළුවන්නම් මාත් එක්ක කතා කරලා මාව පරද්දන්න. මනුෂ්‍යයෙකුගේ ඥානය කියන්නේ කතාවමයි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඨාන සූත‍්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි, කෙනෙකුගේ සාකච්ඡාවෙන් ප‍්‍රඥාව දත යුතුයි’ කියලා. එතකොට කෙනෙක් ප‍්‍රඥාවන්තද නැද්ද කියලා දැනගන්න ඕන නම් මොනවද කරන්න ඕන? එයත් එක්ක සාකච්ඡුා කරන්න ඕන. එයාගේ මූණ දිහා බලලා කියන්න පුළුවන්ද ප‍්‍රඥාවන්තද නැද්ද කියලා?

ස්වාමින්වහන්ස ඔය ප‍්‍රඥාව කියලා කියන්නේ මොකද්ද?ප‍්‍රඥාව කියලා කියන්නේ ඔහු ලබපු අවබෝධය. සුපිරි ඥානවන්ත භාවය. ඒක හරියට මේ වගේ හැම මනුෂ්‍යයකුගේම නළලේ ටෝච් එකක් තියෙනවා කියලා හිතන්න. ඒකෙ බැට්රිත් නෑ, බල්බ් එකත් ගැහිලා ගිහිල්ලා තියෙන්නේ. කවුරුහරි මනුෂ්‍යයෙක් එයාගේ නළලේ තියෙන ටෝච් එකට බැට්රි දාලා, හොඳ බල්බ් එකක් හයි කරලා, ස්විච් එක දානවා. දැන් මොකද වෙන්නේ? ඔහු ඔළුව හරවන, හරවන හැම පැත්තෙම තියෙන දේවල් ඔහුට පේන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ එකක් තමයි ඔය අවබෝධෙදී සිද්ධ වෙන්නේ.

කොහොමද ඔබවහන්සේට විතරක් ඔය අවබෝධය ලැබිලා, වෙන කිසි කෙනෙක්ට ඒ අවබෝධය නොලැබුණේ?අවබෝධය කියන එක හැමෝටම ආවොත් එතැන අවුලක් තියෙනවා. අවබෝධයත් එක්ක වෙන්නේ මානසික විපර්යාසයක් විතරක් නෙවෙයි භෞතික සහ කායික විපර්යාසයකුත් වෙනවා.

ඔබවහන්සේගේ භෞතිකව මොනවද වෙනස් වෙලා තියෙන්නේ?ශාරීරික කි‍්‍රියාකාරකම්වල, හෝමෝන සාන්ද්‍රණවල වෙනස් වීමක් තියෙනවා. මම කලින් කිව්වා වගේ ඒක ගැන වැඩි විස්තර මේ වෙලාවේ මම මාධ්‍යවලට කියන්න කැමැති නෑ.

සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට දැනෙන හැඟීම්, දැනීම් ඔබවහන්සේට දැනෙන්නේ නැතිද?නෑ.

රහතන්වහන්සේලාට එහෙම දැනෙන්නේ නැද්ද ස්වාමින්වහන්ස?ඒගොල්ලන්ට නොදැනෙනවා නෙවෙයි, ඒගොල්ලෝ ග‍්‍රහණය කරන්නේ නෑ.

ස්වාමින්වහන්ස, රහතන්වහන්සේලා හිතන්නේ නැතිලූ. ඔබවහන්සේත් එහෙමද?නිරායාස චින්තනයක් නෑ. අවශ්‍යනම් හිතන්න පුළුවන්. දැන් සාමාන්‍ය මනුෂ්‍යයෙක් කරන්නේ තොරතෝංචියක් නැතිව හිතන එකනේ. ඒ ඉවරයක් නැතිව සිතුවිලි එන්නේ ඒ මිනිස්සු හදාගත්ත අනාගතයක් තියෙන නිසානේ. ඒ ආර්යය මාර්ගයට කවුරුහරි පත්වුණොත් එයා හදපු අනාගතය විනාශකරලා දානවානේ. එතකොට හදපු අනාගතයක් නැති වුණාම, අතීතයට බැඳීමකුත් නැතිවුණාම කොහෙන්ද සිතුවිලි? ඔහුට මොහොතක සිතක් පවතින්නේ. ඒ මොහොතක පවතින සිත තුළ සම්පූර්ණයෙන් තියෙන්නේ නිදහසක්.

ඔබවහන්සේට බය හිතෙන්නේ නැද්ද?මොහොකටද බය? කවරෙකුටද බය? බයක් එන්නේ හැම තිස්සේම අපිව නඩත්තු කරගන්න බලනවානම්.

ස්වාමින්වහන්ස, නඩත්තු කරනවා කියලා ඔබවහන්සේ අදහස් කළේ කුමක්ද?අපි ජීවිතේ වෑයම් කරනවා බොහෝදේවල් ඒ විදිහටම තියාගෙන පවත්වාගෙන යන්න. එතකොට අපිට විඩාවක් දැනෙනවා. ඒ විඩාවෙන් අයින් වෙන්න ඕන. ඒ විඩාව නිසා තමයි මිනිස්සු දුක්වෙන්නේ, හඬන්නේ, වැළපෙන්නේ, ශෝක කරන්නේ. මිනිස්සු නඩත්තු නොකර එන දේ බාර ගත යුතුයි. දැන් මගේ වයස අවුරුදු 40කට කිට්ටුයි. තව ටික දවසක් යනකොට මගේ කොණ්ඬේ ඉදේවි. මම ඒ ගැන කනගාටු වෙන්නේ නෑ. මම ඒවා භාර ගන්නවා. තව ටික දවසක් යනකොට මගේ ඇස් පෙනීම දුර්වල වෙලා යාවි. මගේ කායික ශක්තිය අඩුවෙලා යාවි. වයසට යනකොට ඒවා ඒ විදිහටම තියාගන්න මම සටන් කරන්නේ නෑ. මම ඒවා භාරගන්නවා. අන්න මම ඒවා නඩත්තු කරන්නේ නෑ.

ඔබවහන්සේ සියල්ල බාරගන්නවානම්, කිසිවක් නඩත්තු කරන්නේ නැතිනම්, ඇයි ඔබවහන්සේ ශාරීරික ව්‍යායාම කරන්නේ?භික්ෂුව ව්‍යායාම කළ යුතුයි. අද ලාංකේය භික්ෂුන් ඔක්කෝම ලෙඩ්ඩුනේ ඉන්නේ.

ස්වාමින්වහන්ස, ඔබවහන්සේ කියන්නේ ඔබවහන්සේ සාමාන්‍ය මනුෂ්‍යත්වය ඉක්මවා ගිය උත්තරීතර මනුෂ්‍යයෙක් කියලානෙ. එහෙමනම් ඇයි සාමාන්‍ය භික්ෂුන්වහන්සේලා කරන නඩත්තුව ඔබවහන්සේ කරන්නේ? ඒක නඩත්තුවක් නෙවෙයි. කායික පැවැත්මේදී අපි කයත් එක්ක එකතුවෙලා ඉන්න ඕන. හොඳයි, දැන් ඔය විදිහටම අහන්න පුළුවන්නේ එහෙනම් කන්නේ මොකටද කියලාත්. එහෙනම් ඔය කියන විදිහට රහතුන් කන්න ඕනත් නෑ, වතුර බොන්න ඕනත් නෑ. නාන්න ඕනත් නෑ. දැන් ඔය ලංකාවේ ඉන්න හුඟක් මාධ්‍යවේදීන්ට

වැරැදිච්ච තැනක්නේ ඔතැන. ඔය වගේම ප‍්‍රශ්නයක්නේ අර පහුගිය දවස්වල කේක් කපන කතාවක් අල්ලගෙනත් කළේ. සාපේක්ෂ ජීවිතයයි - නිරපේක්ෂ අවබෝධයයි දෙකම එකක් කරගෙන. අවබෝධය නිරපේක්ෂකයි. එහෙනම් ඉතිං ගෞතම බුදුහාමුදුරුවන්ටත් ලෝහිත පක්කන්දිකා කියන ලෙඩේ හැදුනනේ. එතකොට දැන් ප‍්‍රශ්නයක් අහන්න පුළුවන්නේ එහෙනම් ඇයි ඒක වුණේ කියලා. උන්වහන්සේට තිබුණෙත් නිරපේක්ෂක අවබෝධයක් පමණයි. භෞතික ශරීරයට ලෙඩ වුණාම බෙහෙත් දෙන්න ඕන. ඒ ශරීරයට ව්‍යායාම දෙන්න ඕන. පිපාසාව හැදුණාම වතුර දෙන්න ඕන. මේ සියල්ල කළ යුතුයි. භෞතික ශරීරයයි අවබෝධයයි කියන්නේ දෙකක්. දැන් අද මට පේන්නේ හුඟක් අය රහතෙක් කියලා හිතාගෙන ඉන්නේ මොඩල් එකක්. අපේ ඉතිහාසයේ ඉඳලා අපට හදලා දීලා තියෙනවා රහතන්වහන්සේ මේ වගේ කියලා මොඩල් එකක්. මම දැක්කා පහුගිය දවස්වල හාමුදුරුවෝ කෙනෙක් පත්තරේට කියලා තියෙනවා, රහතන් වහන්සේලාට ලූණු - ඇඹුලූ දීලා රහත් බව පරීක්ෂා කරන්න ඕන කියලා. ඒ කියන කතාවේ වැරැුද්දක් නෑ. ඒක හරි. මොකද උන් වහන්සේලාට ඒ ලූණු ඇඹුල් රස ග‍්‍රහණය නොකර ඉන්න පුළුවන්. නමුත් මට ප‍්‍රශ්නයක් තියෙනවා. දැන් මේ විදිහට කොච්චර ලූණු අඹුල් දෙන්න ඕනද? ඒ කියන්නේ දෙහි ගෙඩි කීයක් කවන්න ඕනද? ඒ මිම්ම කොහෙන්ද හොයා ගන්නෙ? ඒ මිම්ම හොයාගන්න වෙන්නේ මට කවලාම තමයි. මේකට මම කියන්නේ මේ රහතෙකුගේ උණුසුම නොවැදිච්ච ජාතියක්.

ඔබවහන්සේ කැමැතිද ඔබවහන්සේව පරීක්ෂා කරනවාට?මාව පරීක්ෂා කරවන්න ඕන.

මොකටද පරීක්ෂා කරන්නේ?පරීක්ෂා කරන්න ඕන ඔබට මා ගැන අවිශ්වාස නම් පමණයි.

මොකටද ඔබවහන්සේ මගේ විශ්වාසය දිනාගන්න උත්සහ කරන්නේ?ඔබට මට යමක් දෙන්න තියෙනවා. ඒ දේ මම ඔබට දුන්නාම ඔබ ඒ දේ ප‍්‍රතික්ෂේප කරලා පැනලා දුවනවා.

ප‍්‍රතික්ෂේප කරන දේ එළවා එළවා දෙන්න තියෙන අවශ්‍යතාව මොකද්ද?ඒක තමයි මහා කරුණාව කියලා කියන්නේ.
ස්වාමින්වහන්ස, දෙවියන්, අමුනුෂ්‍යයන් ඔබවහන්සේ බැහැ දකින්න එනවද?දෙවියෝ කියන කොටසක් ඉන්නවා කියලා මම පිළිගන්නවා.

ඔබවහන්සේ කියන විදිහට ඔබවහන්සේ විතර නම් මේ වෙලාවේ දෙව්මිනිසුන් සහිත ලෝකයා අතර ඉන්න සුපිරි ඥානවන්තයා සහ සුපිරි බලවතා. ඒ වගේම ඔබවහන්සේ ළඟ දෙව් මිනිසුන් කෙරෙහි ඇතිවුණු මහා කරුණාවෙන්

ඔවුන්ට දෙයක් දෙන්නත් තියෙනවා නම්. ඇයි ඔබවහන්සේ දෙව්මිනිසුන් තුළ ඔබවහන්සේ කෙරෙහි විශ්වාසය ඇති කරන්න ප‍්‍රාතිහාර්ය පාන්නේ නැත්තේ?මම හැමදාම ප‍්‍රාතිහාර්යය පානවා. මගේ මුළු ජීවිතේම ප‍්‍රාතිහාර්යයක්. බුද්ධ වචනේ ප‍්‍රාතිහාර්ය වර්ග තුනක් තියෙනවා. පළමුවැනි ප‍්‍රාතිහාර්යය තමයි සෘධි ප‍්‍රාතිහාර්යය. සෘධි ප‍්‍රාතිහාර්යය පානවා කියන්නේ යම් යම් මැවීම් දැක්වීම. උඩින් යාම වගේ දේවල්. දෙවැනි එක තමයි ආදේශනා ප‍්‍රාතිහාර්යය. ආදේශනා ප‍්‍රාතිහාර්යය කියන්නේ අන් අයගේ සිත් සතන් කියැවීම. තුන්වැනි ප‍්‍රාතිහාර්යය තමයි අනුශාසනා ප‍්‍රාතිහාර්යය. මේ ලෝකේ අනුශාසනා ප‍්‍රතිහාර්යය කරන්නන් අතර එය නිවැරැදිව කරන්නට දන්නා එකම කෙනා මමයි.

ස්වාමින්වහන්ස, ඔබවහන්සේට උඩින් යන්න පුළුවන්ද?මට උඩින් යන්න බෑ. හැබැයි මම කොයි වෙලෙත් උඩින් තමයි යන්නේ. මොකද මගේ හිත බොහෝම සැහැල්ලූ වෙලා.

ඔබවහන්සේට පුළුවන්ද අනුන්ගේ සිත් කියවන්න?අනුන්ගේ සිත් කියවන්න පුළුවන්. ඒ සීමාවක් තුළ. දැන් ඔය හදන්නේ මාව සාස්තරකාරයෙක් කරන්න. මම සාස්තරකාරයෙක් නෙවෙයි. මම ආර්යයන්වහන්සේ කෙනෙක්. මම නිවන් දැකපු උත්තමයෙක්. එවැනි උතුමෙකුගෙන් සිත් කියවගන්න විතරක් එන්න එපා. නිවන් දකින විදිහ අහන්න.

ස්වාමින්වහන්ස, බුදුරජාණන්වහන්සේගේ කාලයේ හිටිය ජටිලයෝත් හිතාගෙන හිටියේ තමන් රහත් කියලා?ඔව්. අදත් මේ හැමතැනම ඉන්නේ ජටිලයෝ තමයි. ඒ ගොල්ලො හිතාගෙන ඉන්නවා ඒ ගොල්ලෝ රහත් කියලා. හැබැයි ඒ ගොල්ලෝ රහත්වෙන මාර්ගය දන්නේ නෑ.

ස්වාමින්වහන්ස, ඔබවහන්සේත් එවැනි ජටිලයෙක් නෙවෙයිද?ජටිලයෙක්ද නැද්ද කියලා ඔබම තමයි පරීක්ෂා කරන්න ඕන. නැතිනම් එවන්න කවුරු හරි වෙනත් සමර්ථයෙක්. පහුගිය කාලේ මම එන්න කිව්වා සමර්ථයෝ රැළකට. නමුත් ඒ කවුරුවත් මාව පරීක්ෂා කරන්න ආවේ නෑ. මේ ලෝකේ ඉන්න එකම රහතා මම වෙමි.... එකම රහතා මම වෙමි.

ස්වාමින්වහන්ස රහතෙක් හිටියත් ඔහුට තියෙන වුවමනාව මොකද්ද ඔබවහන්සේව පරීක්ෂා කරන්න?‘එකම රහතා මම වෙමි’ කියලා කිව්වාම ඔහු රහත් කෙනෙක් නම් අපි දෙන්නා එක් වෙච්ච තැන මොකද්ද තියෙන්නේ? අමුතු ජවයක් අමුතු බලයක්.

රහතන් වහන්සේලා මොකටද බලයක් ගොඩ නගන්නේ?ඒක තමයි සංඝ කියලා කියන්නේ. සංඝ කියන්නේ මේ සිවුරු කඩාගෙන ගහගන්න එක නෙවෙයි. සංඝ කියලා කියන්නේ සොවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් කියන ඒ ආර්යයන් වහන්සේලා එකතු වෙලා තියෙන තැන. එතැන තමයි ඒ සංඝ බලය පවතින්නේ. ඒ නිසා තවත් රහතෙක් ඉන්නවා නම් ඇවිත් මාත් එක්ක සාකච්ඡුා කරන්න. හැබැයි බොරුකාරයෝ එන්න එපා. එහෙම ආවොත් මම මගේ ධර්මඥානයෙන් ඒ බොරුකාරයාව පරාද කරලා දානවා.

ඔබවහන්සේ කියන විදිහට මාරයා පාරාද කළ ඔබ තවත් මිනිහෙක්ව පරාද කරලා ජයග‍්‍රහණයක් හොයන්නේ ඇයි?මට ජයග‍්‍රහණයක් අවශ්‍ය නෑ. එහෙම ජයග‍්‍රහණයක් හොයනවා නම් මීට අවුරුදු 3කට කලින් මේ ආශ‍්‍රමයට ඇවිත් මට වට කරලා පහර දීලා, හිංසා කළාම මම මොකද්ද කළ යුතු වුණේ. ජයග‍්‍රහණය සොයාගෙන යන්න තිබුණා නේද? ඒත් මම ඔබෙන් අහන්නේ මම ජයග‍්‍රහණය සොයාගෙන ගියාද?

ස්වාමින්වහන්ස, ඇයි ඔබවහන්සේ උත්සහ නොකළේ රහත් බෝධිය ඉක්මවා බුදු, පසේබුදු වගේ බෝධියකින් නිවන් අවබෝධ කරන්න?ඒ සියල්ල මගේ තීරණයක් නෙවෙයි. දැන් මේ රහත් වෙන එක මට ඕන දවසට සිද්ධ වෙච්ච එකක්ද? දැන් හොඳයි මම දැන් අවුරුදු 15ක් තිස්සේ ඔබව ආශ‍්‍රය කරනවා, මම කවදාවත් ඒ කාලේ කියලා තියෙනවාද මම රහත් වෙනවා කියලා. මට එහෙම තේරුණේ නෑ. ඉතිං මම කිව්වේ නෑ. මම බොරු කියන්නේ නෑ.

කවද්ද ඔබවහන්සේ රහත් වුණේ?මට ඒක කලක් තිස්සේ දැනුණා. ඒත් මම පියවරෙන් පියවර තමයි ඒක සමාජයට හෙළි කළේ. මොකද මේ සම්ප‍්‍රදායෙන් ආතුර වෙච්ච සමාජයට එවැනි ආරංචියක් දරාගන්න තරම් ආත්ම ශක්තියක් නෑ.

මොකද්ද ඔබවහන්සේට දැනුණේ?මට දැනුණේ මගේ හිත නිදහස් වෙනවා. මට ආයෙත් උපතක් නැති බව. අමුතු ප‍්‍රීතියකින් මගේ ඇතුළාන්තය පිනා ගියා. ඒක මට වචනෙන් කියන්න බෑ. ඒ වින්දනයට මම කියන්නේ නිරපේක්ෂ වින්දනය කියලා.

ස්වාමින්වහන්ස, ඔබවහන්සේ කිව්වා ඔබවහන්සේව විශ්වාස නොකරන පිරිසත් ඔබවහන්සේගේ පැත්තට හරවා ගන්න උත්සහ කරන්නේ ඔවුන් පිළිබඳ ඇතිවෙච්ච මහා කරුණාව නිසා කියලා. ඇයි ඔබවහන්සේ අනේක පෘථග්ජන භික්ෂු සමාජයට ඒ මහාකරුණාව පාන්නේ නැත්තේ? භික්ෂුව, ගිහියා කියලා විශේෂයක් නෑ අපට.

නමුත් භික්ෂු සමාජයම ඔබවහන්සේට විරුද්ධයි?ආ... ඒක මේ පෞද්ගලික ඉරිසියාවක් මත ඇතිවෙච්ච එකක්නේ. එකක් තමයි මගේ රූපය. උස මහතට වෛර කරනවා මිටි මිනිස්සු. නිර්ධන මිනිස්සු මගේ හැකියාවට, ධනවත්කමට, දායක පිරිසට වෛර කරනවා. පන්සල් පිරිසුදුවට ලස්සනට තියාගන්නේ නැති මිනිස්සු මගේ මේ ලස්සන පන්සලට වෛර කරනවා. ශිෂ්‍යයෝ නැති අය මගේ ශිෂ්‍යන්ට වෛර කරනවා. කට නැති අය මගේ කටට වෛර කරනවා. සැර නැති අය මගේ සැරට වෛර කරනවා. එච්චරයි. ඒක මේ පෞද්ගලික තරහක්. සැබෑවටම මා කෙරෙහි අවි අමෝරාගෙන හිටි අය තමයි මා මේ උතුම් පදවියට පත් කළේ.

ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ඔය අවබෝධ කරගත් ධර්ම මාර්ගය, ඒ ආර්ය ප‍්‍රතිපදාව, දෙව් මිනිසුන් සහිත ලෝකයාගේ හිත සුව පිණිස ඇයි ඔබවහන්සේ වදාරන්නේ නැත්තේ?ඔය ප‍්‍රශ්නේ මගෙන් අහපු පළමුවැනි මාධ්‍යවේදියා ඔබයි. අනික් හැමෝම බූරු රැුළ මගෙන් ඇහුවේ කේක් කැපුවේ මොකද? සිවූරේ පාට වෙනස් කළේ මොකද? නම වෙනස් කළේ මොකද? මේ වාඩි වෙන පුටුව කීයද? පාපිස්සේ වටිනාකම කීයද? වගේ දේවල්. මම බැලූවේ මේ ලංකාවේ මාධ්‍යවේදීන්ට ගිය කල. මට ඔබ ගැන සතුටුයි. සැබෑවටම මාධ්‍යවේදීයකුගේ මෙහෙය විය යුත්තේ සමාජය යහමඟට ගැනීමයි. මම අවබෝධකරගත්ත ඒ ආර්ය මාර්ගය මම කෑ ගහලා කිව්වා මගෙන් අහපල්ලා කියලා. මම දන්න දේ මගෙන් ගනිල්ලා කියලා. මරණෙට පස්සේ බොරුවට අඬලා වැඩක් නෑනේ. කවුරුවත් මගෙන් ඇහුවේ නෑ ඕක. ඔන්න අද අහුවා. මම අද ඉඳලා කියන්නම්. මම අද ඉඳලා ප‍්‍රාතිහාර්යය පානවා ‘රන්දිව’ පත්තරෙන් හැම ඉරිදාම. ඒ පාන ප‍්‍රාතිහාර්යය තමයි අනුශාසනා ප‍්‍රාතිහාර්යය. ඒ ප‍්‍රාතිහාර්යය ඔබ ඉදිරියේ පාන්නේ. ඔබ ඒ පණිවුඩය මුළු ලෝකෙටම කිය කියා යන්න ඕන. ‘මෙන්න අහවල් රහතා මා ඉදිරියේ අනුශාසනා ප‍්‍රතිහාර්යය පෑවා. උන්වහන්සේ මෙන්න මේ මේ විදිහට මට ඒ ආර්යය මාර්ගය කිව්වා. මෙන්න ඒ ආර්යය මාර්ගයේ මට තේරිච්ච එක මම උඹලා වෙනුවෙන් ලියනවා. කියවපල්ලා මේවා, අහපල්ලා, පුරුදු කරපල්ලා, සසර දුක නිවා ගනිල්ලා, අවසන අමා නිවනට පත් වෙයල්ලා’ කියලා හැමෝටම කියන්න. එයයි විය යුත්ත.

සුත්ත නිපාතයේ තියෙනවා සාතාගිරි සූත‍්‍රය.
සාතාගිරි සූත‍්‍රයේ සාතාගිරි යකු ඇවිල්ලා ගෞතම බුදුහාමුදුරුවන්ගෙන් මේ කියන පටිසෝතගාමී ආර්ය මාර්ගය ප‍්‍රශ්න කරනවා. ඔහුට තේරෙනවා මේ ආර්ය මාර්ගය. සාතාගිරි යකු මෙහෙම කියනවා බුදුහාමුදුරුවන්ට, ‘කන්දෙන් කන්දට - ගමෙන් ගමට’ මම පණිවුඩය කිය කියා හැම තැනම ඇවිද ගෙන යනවා’. මා ඔබටත් කියනවා සාතාගිරි යකු මෙන් යන්න. කන්දෙන් කන්දට - ගමෙන් ගමට කිය කියා යන්න ආර්යය මාර්ගය ගැන. මෝඩ මිනිස්සු වැඩක් නැති කුණු ගොඩවල් අවුස්සන අතරේ මිනිස්සුන්ගේ හිත නිවීම පිණිස යමක් කළ හැකිද එය කරන්න.

සාකච්ඡාව : සමන් සමරක්කොඩි.

5 comments :

ravisenm said...

Why does this "Arhath" announce to the world that "He" has reached nibbana? What does he gain from it?

Viraj said...

මේක තරමක් සංකීර්ණයි. රහත් බව කියන්නෙ(ප්‍රතිහාර්ය හැකියාව සහිත) පසු කාලීන ගොඩනැංවීමක් බවයි මගේ අදහස. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අවබෝධ කර ගැනීමයි, මේ ප්‍රතිහාර්ය බහුභූතයි කියන්නෙ දෙකක්. මේ විකාරරූපී රහතන් වහන්සෙටත් වාසිය, යස ඉසුරු සඳහා අනන්‍යතාවයක් ඕන වෙනවා. ඒ නිසා ඔහු "ශිල්ප සත්වෙනි දවස දක්වමී" පොරොන්දු වෙනවා.(දැනට හා සදහටම බැරි නිසා). ලෝක හොරු රැලකුත් ඉසුරු සඳහාම මේකට එක් වෙනවා. (දුමින්ද සිල්වා, තිස්ස අත්තනායක වගෙ...) ඔවුන් දන්නවා හිමියො හොරා කියලා. හිමියොත් දන්නවා "හොරා" හොරා කියලා. ඒත් දෙගොල්ලන්ගෙම අවශ්‍යතා ඉටුවෙනවා.(ජැක්සන් ඇන්තනි රජුයි සහෝදරයොයි අන්දනව වගේමයි. ජැකා රවටන බව දන්නව. රජු රැවටෙන බව දන්නවා)

hasitha said...

මේ ස්වාමීන් වහන්සේගේ දේශනාවට නිදහසේ සවන් දෙන්න....අවබෝධ වනතුරු පිළිගන්න එපා...!!! හැකිනම් දේශනාවේ අඩුවක් පෙන්වාදෙන්න

Unknown said...

හාමුදුරුවනේ මෛත්‍රී බුදුන්ගේ පිළිමයක් හදලා උන්වහන්සේ සමීප කරගත්තේ කුමක් සඳහා ද?

Unknown said...

හාමුදුරුවනේ මෛත්‍රී බුදුන්ගේ පිළිමයක් හදලා උන්වහන්සේ සමීප කරගත්තේ කුමක් සඳහා ද?

Post a Comment