Saturday, June 9, 2012

ඔබ මිය ගොස් නැත...

     ‘‘නිදහස් අධ්‍යාපනය සුරැකීම යනු අප සතු යුතුකමක් නොව අප උර මත පැටවුන වගකීමකි’’ එදා වෙනුර එදිරිසිංහ සොයුරා තම කපා දැමූ ඇඟිලි සහිත සුරතින් තමා රඳවා සිටි සිර කුටියේ බිත්තියේ ලියන ලද වැකියකි. තැලෙන්න තැලෙන්න පන්නරය වන වානේ මෙන පාලක ධනපති ගහලයන්ගේ මර්දනයේ රුදුරු හස්ථයට හසුවන හැම මොහොතක් පාසාම වඩා ජව සම්පන්න වන වඩා අධිෂ්ඨානශීලී වන ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට අධ්‍යාත්මික අවි සැපයූ වෙනුර එදිරිසිංහ වැනි පරමාදර්ශී අපේම අයියලා අක්කලා අපේ වීරයෝ සමරණ තවත් ශිෂ්‍ය වීර දිනයක් අබිසට අප පැමිණ සිටින්නෙමු.

     නම ඇසූ සැනින් තවමත් පාලක ධනපති නායකයන් සහ පරපුටුයන්ගේ දෙපා අඩ පණ කිරීමට සමත් අපේ පංතියට ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දුන් මොහොමඞ් නිෂ්මි, රන්ජිතම් ගුණරත්නම්, නිමල් බාලසූරිය, ශාන්ත බණ්ඩාර වැනි සුවහසක් විරු සොයුරන් සේම, නක්කල කුසලඥාණ, මත්තල පියදස්සී වැනි එදා අපේ රුහුණ විශ්වවිද්‍යාලයෙන් බිහිවූ
විරු හිමිවරුන්ගේ මතකයන්ගෙන් අප හදවත් පුරවා ගන්නා ජාතික ශිෂ්‍ය වීර දිනය අභියසට අපි පැමිණ සිටින්නෙමු.

     එකා පිට එකා මරා දමමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරුවන් 10 ක් මරා දමද්දීත් 11 වෙනි කැඳවුම්කරුවෙන් බිහි කර ගත හැකි වූ අධිෂ්ඨානශීලී සිසු නායකයන්ගෙන් සුපෝෂිත ශිෂ්‍ය ව්‍යාපරයක වත්මන් උරුමකරුවන් ලෙස අප මෙවර ජාතික ශිෂ්‍ය වීර දිනය සැමරුමට සූදානමින් සිටින්නෙමු.

     සත්‍යයේ අල්තාරය මත තම දිවි කුසුම් පූජා කරමින් ඔවුන් උර මතින් අප උරමත පැටවූ නිදහස් අධ්‍යාපනය සුරැකීමේ වගකීම පිළිබඳ යළි කතා කිරීමට, ඒ වගකීමට අප කෙරතම් සාධාරණයක් ඉටු කර ඇත්දැයි යන්න අපගෙන්ම අසා ගැනීමට මෙය  සුදුසුම අවස්ථාව වනු ඇත.

     අද නිදහස් අධ්‍යාපනය හමුවේ බරපතල ප‍්‍රශ්න ගනනාවක් මතු වී ඇත. එදා සිසු විරුවන්ගේ රත් පැහැ රුධිරයෙන් වන්දි ගෙවා පරාජය කළ පෞද්ගලික විශ්වවිද්‍යාල නැවතත් කරළියට පැමින ඇත. පාසල් අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය යන මේවා ගැන අද කියන්නට ඇත්තේ ඒවා පිස්සන්ගේ පලාමල්ල මෙන් වී ඇති බවයි. ඇමති පිස්සන් විසින් සමස්ථ අධ්‍යාපනයම කාබාසිනියා කරමින් ඇත. ලාභය මිසක් අන් කිසිදු වචනයක් නොදන්නා වටිනාකමක් නොදන්නා නව ලිබරල් ධනවාදය සිය රාජ්‍ය නැමති දඬු අඬුවෙන් අධ්‍යාපනය මිරිකා අපේ දෙමාපියන්  චප්ප කර ලාභය ආසවනය කිරීමට යත්න දරමින් සිටී. පළමු වසරට ඇතුලත් වීමට වලිකන චූටි නංගිගේ මල්ලිගේ සිට සරසවි අධ්‍යාපනය හදාරා සරසවියෙන් පිටවන සරසවියෙන් පිටවී තවත් වසර ගනනක් ගෙදරට නාකිවී අවසන කරකියා ගත දෙයක් නොමැති කමට රු. 10000 ක කාර්යභාරයක් නොමැති රජයේ රැකියාවකට යන උපාධිධාරියා දක්වා අධ්‍යාපනය ලබන අපේ පංතියේ සියල්ලන්ම අද මහා පීඩාවක උරුමකරැවන් වී ඇත.‍

     සිහින පුරයේ ද සීනා කියන පරිදිම  The Sihina No Salary වී ඇත. හැමෝටම තරඟයක් ඇත. පසුපස නොබලා නොනැවතී දුවන  තරඟයක එක තැන දුවන්නට සිදු වී ඇත. දෙමාපියන්ගේ බලාපොරොත්තු පොදි වලින් අපගේ ගමන් මලූ බරවී ඇත. නමුත් ඉන් එක බලාපොරොත්තුවක් හෝ ඉටු කරමින් ගමන් බර සැහැල්ලූ කර මොහොතක හෝ අස්වැසිලක් ලබන්නට වෙලාවක් අපට නැත. එක තැන දිවීමම ජීවිතය වී ඇත. පසුගිය වසර කීපය තුළ ස්ත‍්‍රී දූෂණ 5000 ක් සිදු වී ඇත. ළමා අපයෝජන 15000 ක් සිදු වී ඇත. අවුරුදු දෙදහස් පන්සියගනනක් පරණයි කියන පෞඩ ඉතිහාසය අද අපට දී ඇති දායාද මේවාය. අපට මෙවර විරු සිසුවන් සැමරීමට සිදුව ඇත්තේ මෙවන් වටපිටාවකය.

     ඒ නිසා පැහැදිළි, ඉතා පැහැදිළි, ඔව් සුපැහැදිළි වෙනසක් අපට අවැසි වී ඇත. එදා සිසු විරුවන් දිවි පිදූයේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන එම වෙනස් සමාජය වෙනුවෙනි. අධ්‍යාපනයේ සම අයිතියත් වීමේ සම අයිතිය වෙනුවෙනි. ජනාධිපති උතුමන්ගේ කුමාරයට මෙන් අපේ ගමේ ඉන්න අජටාකාශගාමියෙක් වෙන්න කැමති ඒ අසාව නිසාම පොල් ඉති දෙකක් අත් දෙකේ බැඳගෙන පොල් රුප්පාවේ රූං කියාගෙන දුවන කුමාරලා දක්වා සියල්ලන්ටම තමන් කැමති ක්ෂේත‍්‍රයක අධ්‍යාපනය ලැබීමට හැකි සම අයිතිය ලැබෙන සමාජයක් වෙනුවෙනි. ඉතින්,

කවදා නම්, 
එවන් දිනක්, 
එවන් අධ්‍යාපනයක්, 
එවන් සමාජයක්,
දක්නට හැකි වේවිද අපට 
ඔව් අපි හැමෝටම... 
මෙවර අපගේ විරු සිසු සැමරම් පැතුම එයයි.               

      ඉතින් දිනක පලවා ගනඳුරු                 සීත 
      උතුම් හිරුමඩල බැබලෙන මතු           දාක 
      මිටින් නොහෙළු පරපුර වෙත බැඳි      පේ‍්‍රම 
      තදින් වැලඳ සිපගමි ඔය විරු             දෑත

0 comments :

Post a Comment