Saturday, April 19, 2014

ආගමික උමතුවෙන් ලෝකය ගලවාගතයුත්තේ කෙසේද?

එස්. එම්. බන්දුසීල සූරීන්
එස්. එම්. බන්දුසීල සූරීන්
එස්. එම්. බන්දුසීල සූරීන්, ලොව පුරා ජනාදරයට පත් සම්භාවනීය මට්ටමේ විද්‍යා විචාර සහ විද්‍යා ප‍්‍රබන්ධ කෘතීන් සරල හා සුමට ලෙස සිංහලට පරිවර්තනය කිරීමේ දශක ගණනාවක සිට යෙදී සිටින ප‍්‍රවීණ ලේඛකයෙක්.

1967දී විදුමිණ නමින් සතිපතා විද්‍යා ප‍්‍රකාශනයක් වීරකේසරී සමාගම මගින් පළ කළා. එහි මුල් කතුවරයා ලෙස කි‍්‍රයා කළ බන්දුසීලයන් පසුව රජයේ රැකියාවක් කරන අතර තම කාලය හා මුදල් යොදවමින් විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ පොත් පරිවර්තන පළ කිරීමට පිවිසියා.

1970දී ඩෙස්මන්ඞ් මොරිස්ගේ The Naked Ape (1967) කෘතිය ‘නිරුවත් වානරයා’ නමින් සිංහලයට පෙරළා කර්තෘ ප‍්‍රකාශනයක් ලෙස පළ කිරීමෙන් ඇරැඹුණු ඔහුගේ විද්‍යා සාහිත්‍ය මෙහෙවර අඩසියවසකට ආසන්න කාලයක් පැතිර තිබෙනවා.

බන්දුසීලයන් වඩාත් ම සිංහල පාඨකයන් අතර ජනාදරයට පත්වූයේ ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්ගේ විද්‍යා ප‍්‍රබන්ධ නවකථා හා කෙටිකථා ගණනාවක් සිංහලට පෙරැළීම නිසායි. එයට අමතරව ක්ලාක්ගේ ප‍්‍රධානතම අනාගතවේදී විද්‍යා කෘතිය වූ  Profiles of the Future ඔහු කාණ්ඩ දෙකකින් සිංහලට පරිවර්තනය කළා.


මෙරට පරිගණක හා තොරතුරු තාක්‍ෂණය සිංහලෙන් ප‍්‍රචලිත කිරීමේ ද පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඔහු වරක් පරිගණක වදන් සඳහා ඉංගී‍්‍රසි-සිංහල ශබ්දකොෂයක් සම්පාදනය කළා.

මෙහි දැක්වෙන්නෙ එස්.එම් බන්ධුසිල මහතා සමග ලක්බිම පුවත්පත 17 Dec 2013 පැවැත්වූ සම්මුඛ සාකච්චාවකි.
-----------------------------------------

මානව ප්‍රගමනය සඳහා විද්‍යාව හෝ පැරණි සම්ප්‍රදායික දැනුම (traditional knowledge) යන දෙකෙන් එකක් තෝරා ගත යුතු යයි සමහරුන් ලිහිල් තර්කයක් ඉදිරිපත් කරනවා. මෙය කොතරම් ප්‍රායෝගික ද?

සම්ප්‍රදායික හා නූතන යනුවෙන් දැනුම් පද්ධති දෙකක් ඇතැයි මම හිතන්නේ නැහැ. ලෝකයේ ඇත්තේ මිනිස් වර්ගයා සොයා ගත් දැනුමයි. ඒ ඒ දැනුම්, අදහස් හා සංකල්ප බිහි වූයේ ඒ ඒ පරිසරවල තිබු අවශ්‍යතාවන්ට අනුවයි. එක් යුගයකදී ප්‍රයෝජනවත් වූ දැනුම් සමුදායක් එම තත්වයන් වෙනස්වී මෙන් පසු එතරම් වැදගත් නොවන්නට පුළුවනි. උදාහරණයකට ආගමික මතිමතාන්තර වගේ.

සමහර සමාජයන්හි දැනුම සොයා ගැනීම නිරතුරුවම සිදුවන අතර එම සමාජ ඒ නිසාම දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. සමහර සමාජ අලුත් දැනුම සොයා යෑමට උත්සාහ නොකර අතීතකාමයෙන් මුසපත් වී එක තැන ම පල් වෙනවා. දැනුම වේගයෙන් ඉදිරියට යනවා. තාක්ෂණයත් වේගයෙන් දියුණු වෙනවා. අප කළ යුත්තේ මෙම ප්‍රවාහයට එක් වීම මිස අපේ සම්ප්‍රදායික දැනුම සියල්ලට ම වඩා උසස් යයි කියමින් ගෝත්‍රිකයන් මෙන් ජීවත් වීම නොවෙයි.

ආතර් සී ක්ලාක් ඉතා පැහැදිලිව ම සියලු ම ආයතනගත ආගම් හා සාමයික දර්ශනයන් ප්‍රතික්ෂේප කළා. දේවවාදයන් නුදුරු අනාගතයේත්, අදේවවාදී අන් සියලු ම ආගම් ඉන් පසුවත් අවභාවිතය නිසා තුරන්ව යන බවට ඔහු ලියා තිබෙනවා. හේතුවාදියෙකු ලෙස ඔබ මෙය විග්‍රහ කරන්නේ කෙසේ ද?

ක්ලාක් විද්‍යාවේත් තාක්ෂණයේත් දියුණුව නිවැරදිව දුටු කෙනෙක්. අනාගතයේ විද්‍යාව විසින් සියලුම ආගමික සංකල්ප බිඳ දමන බව දුටු නිසා ඔහු සියලුම ආගම් ප්‍රතික්ෂේප කළා. මිනිසාට තමා හා තම පරිසරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොතිබූ කාලයක බිහි වූ විවිධ සංකල්ප මෙන් ආගමත් එක් අවස්ථාවකදී මිනිස් සමාජයේ පැවැත්මට ප්‍රයෝජනවත් වෙන්නට ඇති. නමුත් අද එය සම්පූර්ණයෙන් ම මිනිස් සමාජයේ දියුණුවට තර්ජනයක් වී ඇති දෙයක්. ඒ නිසා මිනිසාගේ අනාගත පැවැත්ම ගැන සැලකිලිමත් වන සියලු දෙනාගේ වගකීම වන්නේ ආගමික මතවාද වලින් අන්ධ වී ඇති සමාජය එයින් මුදවා ගැනීමයි. මේ නිසා අපි ක්ලාක්ගේ ස්ථාවරය ඉතා අගය කළ යුතුයි.

සියලු ආගම් කාරුණිකව ප්‍රතික්ෂේප කරන අතර ක්ලාක් අධ්‍යාත්මික බව (spirituality) අගය කළා. අධ්‍යාත්මික බව හා ආගම් යන දෙක වත්මන් සමාජයේ සමහරුන් පටලවා ගෙන තිබෙනවා නේද?

ඔව්. අධ්‍යාත්මිකබව මිනිස් සන්තානයේ ගැඹුරෙන් ම ඇති දෙයක්. එයට අයත් වන්නේ ආදරය කරුණාව වැනි මුලික හැඟීම්. ආගම් විසින් කර ඇත්තේ මිනිසා සතුව තිබූ අධ්‍යාත්මික හා සදාචාරාත්මක හැඟීම් පැහැරගෙන එය ඔවුන්ගේ නිපයුමක් ලෙස ඉදිරිපත් කිරීමයි. වත්මන් සමාජයේ මතයක් තියෙනවා ආගමක් අදහන්නේ නැති කෙනෙකුගේ අධ්‍යාත්මික හෝ සදාචාරාත්මක බවක් නැතැයි කියා. ඇත්තෙන් ම ආගම් විශ්වාස නොකරන අය අතර ඉතා අධ්‍යාත්මික හා සදාචාරත්මක පුද්ගලයන් සිටිනවා. ඔවුන් එසේ වී ඇත්තේ දෙවි කෙනෙකුට හෝ කර්මය වැනි දේකට බියෙන් නොව මිනිස්කමට උචිත එක ම චර්යා රටාව එය බව පිළිගන්නා නිසයි.

මට මෙහිදී මතක් වෙනවා ආතර් සී ක්ලාක් ඔහු ලියූ The Fountains of Paradise නම් පොතේ උපුටා දක්වා ඇති ජවහර්ලාල් නේරුගේ කියමනක්. එය නම් 1962 වර්ෂයේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය අමතමින් අගමැති නේරු කළ ප්‍රකාශයයි. එතුමා කියා සිටියේ “දේශපාලනය හා ආගම යල්පැන ගිය අදහස් බවත් දැන් කාලය පැමිණ ඇත්තේ විද්‍යාව හා අධ්‍යාත්මික ගුණ ධර්ම සඳහා බවත්”. (“Politics and religion are obsolete; the time has come for science and spirituality.”)

ඇත්තෙන් ම ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එක ම මග වන්නේ සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි. එසේ නොවුන හොත් ආගමික ගැටුම්වලින් මිනිස් වර්ගයා ම විනාශ වී යෑමට ඉඩ තියෙනවා.

විද්‍යාව හා ආගම් අතර අතාත්වික ආකාරයේ මතුපිට සංසන්දනයක් කරන්නට සමහරුන් තැත් කරනවා. ඇතැම් ආගම් අදහන අයට දැඩි ලෙස උවමනා වී ඇත්තේ නූතන විද්‍යාව මගින් තමන්ගේ ආගම තහවුරු වෙනවා යයි කියන්නට. මේ ගැන ඔබේ මතය?

මෙය මා දකින්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ වේගවත් දියුණුව ඉදිරියේ තව දුරටත් පවත්වා ගත නොහැකි තමන්ගේ ආදිකාල්පික මත තහවුරු කිරීමට ගන්නා දුර්වල ප්‍රයත්නයක් හැටියටයි. සෑම ආගමක් ම මිනිසා විශේෂ නිර්මාණයක් ලෙස සැලකුවත් සත්‍යය නම් මිනිසා යනු සත්ව පරිණාමයේ එක් අවස්ථාවක් පමණක් වීමයි. පරිණාමීය ක්‍රියාවලියේ එක් සතෙකුට පමණක් අදාල වන ‘සත්‍යයන්‘ තියෙන්නට බැහැ. උදාහරණයක් හැටියට මිනිසාට වඩා බුද්ධිමත් යන්ත්‍රයකට මේ ආගම් අදාල වේ ද? එසේත් නැත්නම් ආගම් වලංගු වන්නේ කාබන්වලින් සැදුණු ජීවින්ට පමණක් ද?

ක්ලාක් මහතා කියා තියෙනවා ආගම නියෝජනය කරන්නේ මිනිසාගේ නොමේරූ අවස්ථාවක්ය කියා. එතුමාගේ සමහර කෘතිවල මිනිස් වර්ගයා මෙම ළදරු ප්‍රවණතාවන්ගෙන් මිදෙන බවට ඉඟි කර තිබෙනවා. අද දක්නට ලැබෙන ආගමික උන්මාදය දෙස බලන විට පෘථිවියේ අනාගතය සුරක්ෂිත කළ හැක්කේ සියලු ආගම් ඉවත දැමීමේන් බව ඉතා පැහැදිලියි. එසේ නැත්නම් තමන් අදහන දෙය පමණක් සත්‍යයයි විශ්වාස කරන විවිධ කොටස් එකිනෙකා විනාශ කර දමන බවට කිසිම සැකයක් නැහැ.

Click on this image to enlarge

3 comments :

යකා said...

බ්ලොග් අවකාශයේ නිරාගමික ලිපි කීපයක්ම පළ වුනා. ඒ ගැන සතුටුයි. මමත් මගෙ බ්ලොග් එකේ ජ්‍යොතිෂය වගෙ දේවල් ගැන ලිපි පළ කළේ එසේ නොකරනතාක් කල් සමාජයට බියෙන් අප සැමදාම නිහඩව සිටීම යනු සමාජය මිත්‍යාධකාරයේ සදාකාලිකව තබා ගැනීමට අපත් උදවු කරනවා වැනි නිසයි

Ajith Kumara said...

ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා. ඔයාලාත් ඔයාලගේ බ්ලොග් මට එවන්න. දන්න කියන ඒවත් එවන්න එතකොට මට එකතු කරගන්න පුලුවන්. බ්ලොග් පාඨකයන්ට පහසුවක් හැටියට මටත් මේ වැඩේ කරන්න හිතුනා. පහතින් තියෙන්නේ ලින්ක් එක.

http://blogdharshakaya.blogspot.com/

ෆැන්ටසි said...

නොදන්නා කමට දොඩවන උදම් වැකි....

Post a Comment