Monday, March 5, 2012

අවුරුදු 49ක් තිස්සේ විඥානවාදයට එරෙහි කොවුර්ගේ අභියෝග එහෙමමයි

     කොවුර් මහතා තමන්ගේ මුල්ම ඔට්ටුව පුවත්පත් මගින් ප්‍රචාරය කළේ 1963 ජූනි මාසයේදීය. ඒ කවරයක බහා සීල් තබන ලද මුදල් නෝට්ටුවක අංකය කියන්නට පුළුවන් කෙනෙකුට රුපියල් 1,000 සිට රුපියල් 25,000 දක්වා මුදලක් ඔට්ටු අල්ලා දිනා ගන්නට පුළුවනි යන්නයි.

      මහානුභාව සම්පන්න මහා බල ඇති පුද්ගලයින් දැනුත් මෙලොව සිටින බවත්, විශේෂයෙන් එවැනි මහා සෘෂිවරුන් හිමාලය වනාන්තරය ආශ්‍රිතව ධ්‍යාන සුවයෙන් වාසය කරන බවත් පිළිගත් හින්දු භක්තිමතුන් ඇතුළු බොහෝ ආගමික අධික ශ්‍රද්ධා මතධාරීන්ට මෙය විශාල අභියෝගයක් විය. ලෝකයේ මොනම රටකවත් කිසිම නිදහස් මතධාරියකු, නිදහස් චින්තකයකු හේතුවාදියෙක් මෙවැනි අභියෝගයක් කවදාවත් කර තිබුණේ නැත.

      අධික ශ්‍රද්ධා මතධාරීහූ බොහෝ සේ කලබලයට පත් වූහ. මහා සෘෂිවරයෙක් දැන් දැන් මෙම අභියෝගය භාරගන්නවා ඇතැයි විශ්වාසය කරගෙන බලා සිටියහ.

      ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව ඇතුළු විදේශීය රටවල සිටින මහානුභාවසම්පන්න සෘද්ධිබලයක් ඇතැයි කියාගන්නා සුප්‍රසිද්ධ පුද්ගලයින්ට පවා මෙම අභියෝගයේ පිටපත් ලියාපදිංචි තැපෑලෙන් කොවුර් මහතා යැව්වේය. එහෙත් මහත් පුදුමය නම් මාස කිහිපයක් යනතුරුම කිසිවකු ඉදිරිපත් නොවීමය.

      කොවුර් මහතාද ඔට්ටුව දෙගුණ තෙගුණ කළේය. එය රුපියල් එක් ලක්ෂයක් දක්වා ඉහළ නැංවූයේය. මෙවැනි බල සම්පන්න පුද්ගලයින් සූදු කෙළියට කැමති නැති නිසා ඉදිරිපත් වන්නේ නැතැයි බොහෝ දෙනකු පුවත්පත් මගින් වරින්වර ප්‍රකාශ කළ නිසා එය ඔට්ටුවක් නොව පරිත්‍යාගයක් බවට ප්‍රකාශ කළේය. එහෙත් රුපියල් දස දහසක් වූ මුදලක් තැන්පතුවක් සේ තබා මෙම අභියෝගය පිළිගන්නා මෙන් කොවුර් මහතා ප්‍රකාශ කළේය. එසේ තැන්පත් මුදලක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටියේ ලාභයට හා ප්‍රසිද්ධිය ලබාගැනීම සඳහා බොහෝ දෙනකු ඉදිරිපත් වීම වැළැක්වීම සඳහාය.

      ඉන්පසු රුපියල් දහදාහක් තැන්පත් කිරීමට මුදල් නැති බව ප්‍රකාශ කරමින් බොහෝ දෙනකු පුවත්පත්වලට ලියා තිබුණි. එබැවින් එය රුපියල් එක්දහස දක්වා අඩුකළ කොවුර් මහතා තම අභියෝගය භාරගන්නා කෙනකු ඉදිරිපත් වන තුරු බලා සිටියේය. පුවත්පත් කතුවරු බොහෝ දෙනෙක්ද බලා‍පොරොත්තු රඳවාගෙන සිටියහ.


      අගමැතිවරුන් හා බොහෝ රාජ්‍ය නායකයින් තමන්ගේ අද්භූත බලයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන රට ජාතියට විශාල මෙහෙයක් කරන බව පුවත්පත් මගින් ප්‍රකාශයක් කළ වස්කඩුවෙ එක් තැනැත්තෙකු සීල් තබන ලද කවරයේ ඇති මුදල් නෝට්ටුවේ අංකය කීමට ඉදිරිපත් වූයේය.


      එවකට දවස පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරය හෙබවූ ඩේවිඩ් කරුණාරත්න මහතා භාරයේ රුපියල් සියයක නෝට්ටුවක් සීල් තැබූ කවරයක බහා කොවුර් මහතා තැන්පත් කළේය.


      නියමිත දින නියමිත වේලාවට ඔහු දවස පුවත්පත් කාර්යාලයට පැමිණියේය. විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ මේ මහා සෘද්ධි බලධාරියා අංකයක් ලියා දුන්නේය. විනිශ්චය මණ්ඩලය අංක ගැලපීම සිදුකළේය. එය මුදල් නෝට්ටුවේ තිබුණු අංකයට වඩා සියයට සියයක්ම වෙනස් විය.


      මේ යුගයේදී ලංකාවේ මෙන්ම ඉන්දියාවේද විවිධ බල පරාක්‍රමධාරී ස්වාමිවරුන්ගේ සහ සෘෂිවරුන්ගේ විස්තර හා ප්‍රකාශයන් පුවත්පත්වල පළ වන්නට විය. දේව බලයෙන් ශුද්ධ වූ අළු, ලිංගම් ආදී දේ මැවිය හැකි යැයි කියාගන්නා සායි බබා, පද්ම මාලෙයි ස්වාමිගල්, තිලකානන්ද ස්වාමිගල් ආදීන්ගේ විස්මය දනවන මැවීම් පිළිබඳ විස්තර ඉන්දියාවේ මෙන්ම ලංකාවේද පුවත්පත්වල පළ වී තිබුණි.


      මේ මැවීම් කරන අවස්ථාවේදී තමන් දුටු බවත් සත්‍යවාදීව ඒවා වංචාවකින් තොරව සිදුකළ බවත් කිහිප දෙනකු පුවත්-පත්වලට ප්‍රකාශ කොට තිබුණි.


      විනිශ්චය මණ්ඩලයක ඉදිරියේ මෙම මහා ස්වාමිවරුන්ගේ ශරීරයන් පරීක්ෂා කරනු ලැබිමෙන් අනතුරුව ඔවුන්ට කැමති ඕනෑම දෙයක් නිර්මිත කිරීමට මැවීමට අවස්ථාව සලසා දෙන බව කොවුර් මහතා වරක් ප්‍රකාශ කළේය. ශුද්ධ වූ පුද්ගලයින්ගේ ශරීරයන් අතපත ගෑමට, පරීක්ෂා කිරීමට ඉඩ සලසා දීමට ඔවුන් අකැමැති වන්නේ නම් කොවුර් මහතා විසින් ඉදිරිපත් කරනු ලබන මුදල් නෝට්ටුවක් එම අනු අංක සහිතව මවන මෙන් ප්‍රකාශයක් කොවුර් කළේය. එසේ කරන පුද්ගලයකුට රුපියල් එක්ලක්ෂයක් පරිත්‍යාග කරන බවද ප්‍රකාශ කළේය.


      මෙම අභියෝගයද ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ප්‍රකාශයට පත්කරනු ලැබූ නමුත් කොවුර් මහතා මිය යනතුරු කිසිවකු ඉදිරිපත් වූයේ නැත.


      දේව බලය සහ තවත් අදෘශ්‍යමාන බල මහිමයන් පෙන්නුම් කිරීමට කැලණිය මකර තොරණ යටට 1969 වසරේ එක්තරා දිනෙක පැමිණෙන මෙන් පුද්ගලයෙක් පුවත්පත් මගින් ආරාධනයක් කර තිබුණි. පුවත්පත් කලාවේදීන් පිරිසක් සමග කොවුර් මහතා නියමිත දින නියමිත වේලාවට එහි ගියේය. මහජනතාව සෑහෙන පිරිසක්ද මෙම අසහාය පුද්ගලයා දැක ගැනීමට එහි පැමිණ සිටියහ.


      එහෙත් එවැනි කිසිවකු පැමිණියේ නැත. පසුව කළ විපරමකින් පුවත්පත් කලා-කරුවන් සොයා ගත්තේ එකී පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ විදේශිකයකු බවය.


      වලගෙදර ප්‍රදේශයේ එක් චීවරධාරී පුද්ගලයෙක් ඡායාරූප-යකට නැගීමට හැකිවන ආකාරයට භූත දර්ශනයක් ඉදිරිපත් කළ හැකි බව පුවත්පත් මගින් ප්‍රකාශ කොට තිබුණි. දිනයක්, වේලාවක් හා ස්ථානයක් දන්වා පුවත්පත් මගින් කොවුර් මහතා ප්‍රකාශයක් කළ නමුත් යථෝක්ත චීවරධාරියා පිළිබඳ කිසිවක් ඉන්පසු අසන්නට නොලැබුණි.


      එක් දේව දරුවකුගේ ඡායාරූපයක් ලබාගත් සෑම විටම දරුවාගේ වම්පසින් රන් කඩුවක්ද, දකුණු පසින් පෙනය පුම්බා ගත් නාගයෙක්ද පෙන්නුම් කරන බව වරක් පුවත්පත්වල පළ වී තිබුණි. මෙම දරුවා ඡායාරූපයකට නැගීම සඳහා කොළඹට රැගෙන ඒමට කැමති බවද දන්වා තිබුණි. එහෙත් කොළඹට රැගෙන පැමිණෙන මෙන් දැන්වුවත් එසේ නොපැමිණි නිසා ලංකා හේතුවාදීන්ගේ සංගමයේ දෙනෙකු මෙම දරුවාගේ ඡායාරූපයක් ලබාගැනීම සඳහා දඹකොළ වැවට ගිය නමුත් ඔවුන්ට ඡායාරූපයක් ලබාගැනීමට තබා දරුවා දැක බලා ගැනීමට හෝ අවස්ථාවක් හිමිවූයේ නැත.


      හස්ත රේඛා ශාස්ත්‍රඥයෙක් වරක් රුපියල් පන්සියයක මුදලක් තැන්පත් කර දස දෙනකුගේ උපන් දිනයන් හා වේලාවන් සඳ-හන් කර දුන් විට තමාට ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂභාවයද, ජීවත් වනවාද මිය ගොසින්ද යන්න ද කීමට හැකිබව ප්‍රකාශ කළේය. මේ පුද්ගලයා මෙම අභියා්ගය භාරගන්නා දිනදී කොවුර් මහතාගේ නිවසේදී ගිවිසුමක් අත්සන් කළේය. එම අවස්ථාවට සහභාගි වූ පුවත්පත්වේදීන්ද කිහිප දෙනකු විය. ඔවුන් මෙම ඡායාරූපය පුවත්පත් කිහිපයකම පළකොට තිබුණි. එහෙත් ඔහු අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා නියමිත දින ඉදිරිපත් වූයේ නැත.


      මාස කිහිපයකට පසු මෙම පුද්ගලයා මරදාන දුම්රියපළ අසලදී මෙම ගිවිසුම හා පුවත්පත් ඡායාරූප පෙන්නමින් අතබලා ශාස්ත්‍ර කියන බව කොවුර් මහතාට දැන ගන්නට ලැබුණි. අපි ඔහු සොයා ගියෙමු. මුලින් අප ඉදිරියේ ඔහු ප්‍රකාශ කළේ “කොවුර් මහතාගේ අභියෝගයක් ජයගත් ලෝකයේ සිටින එකම පුද්ගලයා මමයි. මෙන්න සාක්ෂි” යනුවෙන්ය. එහෙත් හදිසියේම කොවුර් මහතා එම ස්ථානයට පැමිණියේය. කොවුර් මහතා දුටු සැණින් හඳුනාගත් ඔහු ටික දුරක් දුවගොස් පිරිස අතර සැඟවී ගත්තේය. අප කිසිවකුට ඔහුව සොයාගත නොහැකි විය.


      වරක් ඇහැලියගොඩ ප්‍රදේශයේ අද්භූත ස්වාමිවරයකු පුදුමා-කාර දේ කරන බවත්, කොවුර් මහතාගේ අභියෝගයන් කිහිපයක් භාරගැනීමට කැමැත්තෙන් සිටින බවත් ඔහුගේ බැතිමතකු පුවත්පතකට ලියා තිබුණි. මුදල් නෝට්ටුවක් මැවිය හැකි බවත් භූතයකු ඡායාරූපයක් ගැනීමට ඉදිරිපත් කළ හැකි බවත්, ගිනිගෙන රත් වූ අඟුරු ගොඩක් මැද නොපිළිස්සී තත්පර තිහක් හිටගෙන සිටිය හැකි බවත් එයින් කියැවිණි.


      කොවුර් මහතා විසින් මෙම පුද්ගලයාට දිනයක් නියම කොට අවස්ථාවක් සලසා දෙන ලදී. පුවත්පත් කලාවේදීහූ රැසක්ද එදිනදී කොවුර් මහතාගේ නිවසට පැමිණ සිටියහ.


      පුවත්පත්වලට නිවේදනය සකස් කොට යවා තිබුණේ බැතිමතා හරියටම නියමිත වේලාවට පැමිණියේය. මෙම අද්භූත ස්වාමිවරයාට මෙහෙකාරකම් කළ භූතාරූඪයෙන් ශාස්ත්‍ර කියූ අංජනම් එළි බැලූ සුරූපි කාන්තාව සමග යථෝක්ත ස්වාමිවරයා කලින් දින අතුරුදන්ව ඇති බව එම බැතිමතා ඉතා ශෝකබරිතව පිරිස ඉදිරියේ ප්‍රකාශ කර සිටියේය.


(අමුණුගොඩ තිලකරත්න - උපුටා ගැනීම ඉරිදා ලක්බිම)

4 comments :

Sumith Niriella said...

අපිත් හදමු හේතුවාදී ගවේෂණ කවයක්....
හේතුවාදීන්ගේ සංගමය දැන් කරන ගවේෂණයක් නෑ. ඔවුන් බාල දේශපාලනයට පල්ලම් බැහැලා.
ලංකාවට අන් කවරදාටත් වඩා කොවුර්ලා අවශ්‍ය යුගයක් මේ.

Unknown said...

මමත් කෝවුර් මහත්මයගේ ගොඩාක් පොත් කියවලා තියෙනවා හරිම රසවත් ඔය වගේ සිද්ධි ගොඩාක් තියෙනවා..මම හිතන්නේ එතුමාගේ පුතා තවම ඔය ලියුං කවරේ තියාගෙන ඉන්නවා කවුරුහරි අභියෝගය බාරගන්නකං...

රාජ් said...

මේ දවස්වල ඉරිද ලක්බිමේ යන්නෙ කොවූර්ගෙ පරීක්ෂණ. හාස්කම්වල අවසානය වෙන්නෙ මාණසික රෝගියෙක් හදුන්වා ගැනීමෙන්.

basura eranga said...

කෝවුර් මහතා කියන දේවල් කියන්නෙ කාටවත් පිලිගන්න කියල නෙවේ.එතුමා කැමති ඕනම අභියෝගයක් සතුටින් බාරගෙන ඒවට හොදට පිලිතුරු දීම.

Post a Comment