Monday, January 23, 2012

අන්තරයට නැගෙන චෝදනා (අ.වි.ශි.බ.ම. කඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා සමග පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරිනි)

අපේ කතාබහට මෙහෙම ප‍්‍රවිශ්ට වෙමු. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මේ මොහොතේ සටන්පාඨය ගැන කතා කරමු.


     විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සටන් පාඨ හැමවිටම ලංකාවේ ආණ්ඩුවේ දේශපාලන ගමන් මඟත් එක්ක සම්බන්ධයි. මේ මොහොත දිහා බැලූවොත් ආණ්ඩුවේ ගමන් මග වැටිලා තියෙන්නෙ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ හොදින් හෝ නරකින් කරන දිශාවට. එතකොට ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් පාඨ නිර්මාණය වෙන්නෙත් මේ කියන නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ වලින් ජනතාවගේ ජීවිත පීඩාවට පත්වීමට එරෙහිව. එමෙන්ම මේ සියල්ල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව තමා කරන්න උත්සහ කරන්නේ. එතකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමත් අපේ සටන් පාඨයක්.


     පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට, යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කප්පාදුවට, පාසල් වියදම් දෙමව්පියන්ගෙන් අය කිරීමට, උසස් පෙළ ප‍්‍රතිඵල අව්ලට,
එරෙහිව වගේම, රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිවලට භෞතික මානව සම්පත් වැඩිකරගැනීම පිළිබඳව ද ප‍්‍රශ්නයන් අන්තර්ගතයි. මේ ප‍්‍රශ්න වලට ආණ්ඩුව පිළිතුරු දෙන්නේ මර්ධනයෙන් නිසා. පන්ති තහනම් කිරීම, නඩු පැවරීම, ශිෂ්‍යභාවය අහෝසි කිරීම, හමුදාව යොදා සිසුන්ට පහරදීම, ශිෂ්‍ය සංගම් තහනම් කිරීම ජපුර වැනි සරසවියක ඉන්න ආණ්ඩුවේ අංක එකේ උපකුලපති හෙන්චයියන්ට එරෙහිව සටන් කිරීම ඇතුළත්. ඒ වගේම උතුරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ගොවියන්ට කූඩ දීම, කම්කරුවන්ට බලෙන් විශ‍්‍රාම වැටුප් දීම වැනි ප‍්‍රශ්න වලදී සරසවි සිසුන් ජනතාව සමග සිටිනවා.




ආණ්ඩුව කියනවා පෞද්ගලික තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් සිසුන් 1,500ට අධික පිරිසකට අධ්‍යාපන අවස්ථාවක් හිමිවෙනවා. මේ වන විටත් මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය සඳහා බඳවා ගන්නේ 340ක වගේ පිරිසක්. ඉතිං මේ ආකාරයට අධ්‍යාපන අවස්ථා හිමිවීමේ ඇති වැරුද්ද මොකක්ද?


     ඔබේ ප‍්‍රශ්නය ඉතාම හොදයි. දැන් ඔබ ඔය කියන මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයට මේ පාලකයෝ කරපු දේ හෙළිදරව් කරන්නත් මේක අවස්ථාවක්. මොරටුව තොරතුරු තාක්ෂණ පීඨය ආරම්භකරල වසර 05 ක් යනකම් අඩුම තරමේ ගොඩනැගිල්ලක් තිබ්බෙ නෑ. එය පවත්වාගෙන ගියේ බොරැුල්ල නගරයේ කුලියට ගත්ත තට්ටු ගොඩනැගිල්ලක, මේ පීඨය මොරටුව සරසවිය තුළට ගන්න කියල එහි ශිෂ්‍යයන් ඇතිතරම් පරිපාලනයෙනුත් පාළකයන්ගෙනුත් ඉල්ලූව ඒකට උත්තරේ උනේ සල්ලි නෑ කියන එක. හැබැයි මහපොල අරමුදලෙන් ණය දීල පෞද්ගලික උපාධි ප‍්‍රධාන ආයතනයක් වුණු මාලඹේ ීඛෂෂඔ ආයතනයට රුපියල් මිලියන ගණනක් මුදල් දුන්න ගොඩනැගිිලි හදන්න. එක පැත්තකින් ඒව මහපොළ අරමුදලෙ මුදල් අපට තියන තොරතුරු වලට අනුව තවම ඒ මුදල් මහපොල අරමුදලට ීඛෂෂඔ ආයතනයෙන් ගෙවල නෑ. මෙන්න ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය. පෞද්ගලික සරසවි හැදුවොත් මේ තියන රාජ්‍ය විශ්වවිද්‍යාල වලපල්ලට යන විධියට අදාල හොඳම උදාහරණය මේක.


      සිසුන් 1500 කට අවස්තාව ලැබෙයි. හැබැයි ඒ කාගේ දරුවන්ටද? රුපියල් ලක්ෂ විස්සක්, තිහක් විස්ක්කරන්න පුළුවන් දෙමාපියන්ගේ දරුවන්ට. එහෙම වියදම් කළ හැකි පිරිස මේ රටේ ජනග‍්‍රහණයෙන් කොතරම් සුළු පිරිසක්ද? උදාහරණයකට සිතන්න. මාළඹේ වෛද්‍ය උපාධිය. ඒක රුපියල් ලක්ෂ හැටපහටත් වැඩියි, ඒ කියන්නෙ මාසයකට රුපියල් ලක්ෂයක්වත් වියදම් කරන්න ඕනෙ. එහෙම කරන්න පුළුවන් අය ඉන්නෙ රටේ ජනග‍්‍රහණයෙන් 2% ක් විතර ප‍්‍රමාණයක් ඉතිරි 98% ට වෙන්නෙ හූල්ලන්න. මේ යෝජනාව ක‍්‍රියාත්මක උනොත් සමාජ අසාධාරණය තීව‍්‍ර වෙනව? එය දැවැන්ත සමාජ නැගිටීම් වලටත් මග පාදන්න ඉඩ තියෙනව.




ඔබ කියනවා පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් නිදහස් අධ්‍යාපන අයිතිය අහෝසි වෙනවා කියල. ආණ්ඩුව කියනවා නිදහස් අධ්‍යාපනය 200% න් ආරක්ෂා කිරීමට සහතික වෙනවා කියල. මේ කඹ ඇදිල්ලෙන් පීඩාවට පත්වෙන්නෙ මේ රටේ ශිෂ්‍යයා සහ පොදු ජනතාව?


     පැහැදිලිවම කියනවා අපි ඉන්න ස්ථාවරය නිවැරදියි. ආණ්ඩුව කියන්න උත්සහ දරනවා පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මට නිදහස් අධ්‍යාපනය අභියෝගයට ලක්වෙන්නෙ නෑ කියන එක. මේක පාට්ටපල් බොරුවක්. මේක තමයි ලෝකෙ තියෙන ලොකුම විහිළුව. බලන්න, ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දෙ විශ්වවිද්‍යාලවලට වෙන්කරන ප‍්‍රාග්ධන වියදම මිලියන 1235 න් කප්පාදු කළා. දිගින් දිගටම විශ්වවිද්‍යාලවලට වෙන්කරන ප‍්‍රතිපාදන කප්පාදු කරනවා. කෝප් වාර්තාවෙන් හෙළිදරව් වෙලා තියෙනවා විශ්වවිද්‍යාල ගණනාවක වෙන්කරපු ප‍්‍රතිපාදන අයථා ලෙස යොදාගෙන ඇති බව. මේ තත්ත්ත්වය තුළ විශ්වවිද්‍යාල දුර්වල කිරීමේ සැලැස්මක් තියෙනවා. ඉංගි‍්‍රසි අධ්‍යාපනය, පරිගණක අධ්‍යාපනය ඉතාම දුර්වල මට්ටමක තියෙන්නෙ. දියුණු කරන්න කිසිම වැඩපිළිවෙලක් නෑ. වයඹ විශ්වවිද්‍යාලයේ ඉංගී‍්‍රසි පිඨයේ සිසුන් 1300 ක් ඉන්නවා. ඉංගී‍්‍රසි ගුරුවරු දෙන්නයි ඉන්නෙ. රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ළමයි 1300 ට ඉන්නේ ඉංගී‍්‍රසි ගුරුවරු දෙන්නයි. බහුතරයක් ඉංගි‍්‍රසි ඹබසඑ වලඉන්න ගුරුවරු විශ‍්‍රාම යා යුතු වයසේ ඉන්න පාසල් ගුරුවරු. දැනුම පිළිබඳ ප‍්‍රශ්නයක් නැතත් ක්්ච්ජසඑහ එක ගැන ප‍්‍රශ්නයක් තියෙනවා. පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් 300ට තියෙන්නෙ පරිගණක 6යි. දවසකට එක ළමයෙක්ට ලැබෙන්නෙ මිනිත්තු 11 යි. රජරට විශ්වවිද්‍යාලයේ ළමයි 2,500 ට පරිගණක තියෙන්නෙ 50 යි. එක ළමයෙක්ට දවසකට ලැබෙන්නේ විනාඩි 15 යි. මේවා නිකං දැන් ධාතු කරඩුවෙලා. මෙහෙම පුළුවන්ද පරිගණක ඉගෙනගන්න. ලෝකය පුරා තොරතුරු තාක්ෂණ විප්ලවයක් වෙලා තියෙන මොහොතක අපේ ශිෂ්‍යයන්ට වෙලා තියෙන්නෙ ඒවා දිහා බලබල හැරිල යන්න. මේ කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වන පාලකයෝ තමයි දැන් කියන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළාට නිදහස් අධ්‍යාපනය අභියෝගයට ලක්වෙන් නෑ කියල. හොදම උදාහරණය රජරට වෛද්‍ය පීඨය. මේකෙ මහාචාර්ය ඒකකය එක හදල නැති නිසා ගියා මැයි මාසේ පටන් ගන්න තිබුණ අවසන් වසර අධ්‍යයන කටයුතු තවවෙනකනුත් පටන් අරන් නැහැ. ඊට සමාන්තරව ජ‘පුරේ බඳවා ගත්ත ශිෂ්‍යයෝ උපාධිය අවසන් කරල ගිහිල්ලා. මේක තමයි ප‍්‍රශ්නය. හැබැයි මාලඹේට රාජ්‍ය බැංකුවකින් ණයක් දෙනවා සායනික පහසුකම් හදාගන්න. හැබැයි රජරට වෛද්‍ය පීඨයට ප‍්‍රතිපාදනත් නෑ. මේක තමා ඇත්ත. මේ පාලකයො කියන කොට එහෙමයි. කරනකොට මෙහෙමයි.




තවත් පැත්තකින් අන්තරයට නැගෙන චෝදනාවක් තමයි නවකවදය. දේශපාලන ගොඩ වැඩිකර ගැනීම වෙනුවෙන්ද මේ නවකවදය මුදාහැර තිබෙන්නෙ?



     මේක අභූත චෝදනාවක්. නවකවදය සම්බන්ධයෙන් ගත්තොත් අපි ඉන්න ස්ථාවරය තමයි නවක වදයක් තියෙනව නම් ඒක නතර වෙන්න ඕන. එතකොට විශ්වවිද්‍යාල ඇතුළේ නවකවදය අපි නියෝජනය කරන්නෙ නැහැ. විශ්වවිද්‍යාල තුළ කුමන හෝ නවකවද සිද්ධියක් වෙනව නම් ඒකට දඩුවම් කිරීම පිළිබඳව, ඒකට විනය පරීක්ෂණ කිරීම පිළිබඳ ප‍්‍රශ්නයක් නැහැ. හැබැයි නවකවදය දඩමීමා කරගෙන ශිෂ්‍ය මර්දනය කි‍්‍රයාත්මක කරනව නම් ඒකට අපි විරුද්ධයි. අද වෙන්නෙ සැබෑ ලෙස නවකවදයට විරුද්ධ වන කි‍්‍රයාවලියක් නෙවෙයි. නවක වදයක් මවමින්, පෙන්වමින් ඒක දඩමීමා කරගෙන ශිෂ්‍ය මර්දනය කි‍්‍රයාත්මක කරන එක. විශ්වවිද්‍යාල අතුළේ එල්ල කරනු ලබන නවකවද චෝදනා පට්ටපල් බොරු කියන එක ඒවා සංවිධානාත්මකව ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව එල්ලකරන මඩ අවලාද කියන එක අද ඔප්පු කරල තියෙනවා. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප‍්‍රථම වසර ශිෂ්‍යයෝ. ප‍්‍රථම වසර ශිෂ්‍යයන්ට නවක වදය දුන්නා කියලා ශිෂ්‍යයෝ 6 ක් පංති තහනමට ලක්කරල. හැබැයි නවකවදයට භාජනය වෙච්ච ශිෂ්‍යයෙක් නැහැ. ප‍්‍රථම වසර ශිෂ්‍යයෝ සියලූදෙනාගෙම අත්සනින් පරිපාලනයට පෙත්සමක් යොමුකරල තියෙනවා අපිව නවකවදයට භාජනය වුනේ නෑ, අපිට ජ්‍යෙස්ඨයෝ නවකවදය දුන්නෙ නෑ. උපකුලපතිවරයා පරසක්වල ගහලා කියනවා නවකවදය දුන්නා. හැබැයි ඉතිං නවකයො නවකවදයට භාජනය වෙලා නැහැ.


     ඔබ දන්නවා දැන් විශ්වවිද්‍යාලවලට එස්.බි. දිසානායක ඇමතිවරයා වයින් බෝනික්කෝ කීපදෙනෙක් එවලා තියෙනවා. රිමෝට් කන්ට්‍රෝල්වලින් මේ අයව පාලනය කරන්න පුළුවන්. මේ කිහිපදෙනා විශ්වවිද්‍යාල අපකීර්තිමත් කරන්න එස්.බි. ඇමතිගේ උවමනාවට කි‍්‍රයාත්මක වෙනවා. මේ සමහර සිසුන්ට එස්.බි. ඇමතිවරයා උදේ සවස කතා කරනවා. හමුදා කඳවුරු ඇතුලේ පුහුණු කරලා ගෙනාවේ. මේ අයත් කළේ තමන්ගේ අසනීප තත්ත්වයන් නවකවදය ලෙස හුවා දැක්වුවා. රුහුණ විශ්වවිද්‍යාලයේදී කැන්ටිමේ පෝලිමේ වැටුණු ශිෂ්‍යයාවක් රෝහල් ගත කරාට පස්සේ දිග හැරෙන්නෙ නවකවද සිද්ධියක් විදහට. ඇයට ඒ දේ වුණේ ඇයි? ඇය හමුදා පුහුණුවේදී උස තාප්පයකින් වැටුණා. ඉන් කොන්දට හානි වුණා. ඒ නිසා තමයි පොලිමකවත් හිටගෙන ඉන්න බැරිවෙන්නේ. හැමදාම පාසල් උදේ රැුස්වීම්වල පාසල් සිසුන් ඇති තරම් කලන්තය දාලා වැටෙනවා. මේක කව්රුත් දැකලා ඇති. ඒ බොහෝ දෙනෙක් එහෙම වැටෙන්නෙ උදේට කාලා නැති නිසා. ආණ්ඩුව පලවෙනි වසරේ සිසුන්ට දෙනවා කියපු උදේ ආහාර වේල ගැන දැන් කතාවක් නෑ. සරසවි ශිෂ්‍යයන්ට තියෙන කරුණාව ඇයි මේ පාසල් සිසුන්ට නැත්තේ. හමුදා පුහුණුව ගැන කතා කරන්නෙ නැති අය විශ්වවිද්‍යාලෙ පෝළිමක ඇද වැටිල රෝහල් ගත කළාට පස්සෙ, කලින් තිබුණ රෝගය උත්සන්න වුනාට පසසේ ඒක නවක වදය ලෙස හුවාදක්වනවා.




නමුත් මේ වෙද්දි දෙමාපියෝ පවා චෝදනා කරනවා පෞද්ගලික දේශපාලන වුවමනා වෙනුවෙන් ශිෂ්‍යයෝ බිලී බා ගන්නවා කියන එක. මොකක්ද ඔබේ පිළිතුර?



     විශ්වවිද්‍යාල ශිෂ්‍ය දහස් ගණනක් පාරට ආවම ඒක ජනමතය නෙමෙයි. හැබැයි ටීවී දැනල් දෙකතුනකට එන ටෙලිෆෝන් කෝල් දෙකතුනක් ඒ ගොල්ල කියන්නෙ ජනමතය කියලා. මේක පුදුම සූත‍්‍රයක්. ත‍්‍රිමාල, වෙනුරල මරා දැම්ම. හැබැයි උතුරු කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාල අරගලය දිනුවා. එතකොට ඒක තේරුමක් නැති වැඩක්ද? මේ ‘‘බිළිදෙන’’ කතා කියන්නෙ මොකටවත් නොවෙයි සමාජය බියවද්දන්න. සමාජය දුර්වල කරන්න මේක වෙනත් විදියක තර්ජනයක්. ඒ විතරක් නෙමෙයි මර්ධනකාරී ගමන සාධාරණීකරණය කරන්න ගේන තර්කයක්. ස්ත‍්‍රී දූශකයෙක් කාන්තාවක් ලිංගික බලහත්කාරයට ලක්කරලා අධිකරණයට කියුවොත් ඇය ඇඳගෙන ගිය ඇදුම් නිසා තමයි තමන්ට එහෙම කරන්න හිතුනෙ, කියලා අපි පිළිගන්නවද එවැනි කුහක මානව විරෝධි තර්ක. ඒ නිසා සටන් කරන එක නෙවෙයි ප‍්‍රශ්නය සටන්වලට පහරදෙන එක. ආණ්ඩුවට පුළුවන්නේ ශිෂ්‍යයන්ගේ, ආචාර්යවරුන්ගේ මතයට කන්දීලා ප‍්‍රශ්න විසඳන්න. එහෙම ඇහුම්කන් නොදුන්නාම බීරන්ට ඇසීමට වඩා වැඩි හඬක් අවශ්‍යයි කියලා සරසවි සිසුන්ට හිතෙනවා.




ආණ්ඩුව කියනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යාට තියෙන්නෙ ඉගෙන ගන්න මිසක් දේශපාලනය කරන්න නෙවෙයි කියන එක. පැහැදිලිවම අන්තරයට චෝදනා කරනවා ශිෂ්‍යයෝ පාරට අරන් විශ්වවිද්‍යාල අරාජික කරනවා කියන එක?


     අපි කියන්නෙ ශිෂ්‍යයො දේශපාලනික වෙන්න ඕන. අපේ රටේ ප‍්‍රශ්නය තමයි සාමාන්‍ය පුරවැසියා අදේශපාලනික වීම. ඒ නිසා අපි කියනවා දේශපාලනික වීමයි. කුමන හෝ දේශපාලන පක්ෂයක අතකොලූවක් වීමයි කියන්නෙ දෙකක්. ශිෂ්‍යයෝ දේශපාලනිකයි. ඒ නිසා තමයි අයුක්තියත්, අසාධාරණයත් වුනාම මුළු රටම ඒක විදදරාගෙන ඉද්දි විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ආණ්ඩුවට අභියෝග කරන්නෙ. ආණ්ඩුව කැමති නෑ මිනිස්සු දේශපාලනය කරනවට. දේශපාලනික වෙන පුරවැසියා අයුක්තිය, අසාධරණය දුටුතැන සටන් කරනවා.




උසස් අධ්‍යාපන ඇමතිවරයා ප‍්‍රකාශ කළ දෙයක් තමයි ශිෂ්‍ය සංගම් වලින් විශ්වවිද්‍යාල මුදවා ගත යුතුයි කියන එක. මෙතනදි ශිෂ්‍ය ව්‍යාපාරයට නේද සෘජුවම චෝදනා නැගෙන්නෙ?


     ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළේ ශිෂ්‍යයන් කටයුතු කරන්නේ ස්වේච්ඡුාවෙන්. ශිෂ්‍යයන්ට මෙතනදී බලපෑමක් නැහැ. බලපෑම් කරලා බලහත්කාරයෙන් උද්ඝෝෂණවලට ළමයි ගේන්න බැහැ. සැතපුම් ගණන් පා ගමන් යන්න, පොලිස් පහරදීම් වල අවදානමක් තියෙද්දිත් උද්ඝෝෂණ කරන්න, හිරගත වෙන්න, මාස ගණන් හිරේ ලගින්න, බලහත්කාරයෙන් බැහැ. ශිෂ්‍යයෝ අවබෝධයෙන් එන්නෙ. ශිෂ්‍ය ව්‍යාපාරයෙන් විශ්වවිද්‍යාල මුදවා ගන්න ඕන කියන්නේ ආණ්ඩුවට රටේදි වගේම විශ්වවිද්‍යාල ඇතුළෙත් තමන්ගේ පාදඩ දේශපාලන වුවමනාවන් ඉටුකරගන්න දේශපාලන අතකොළු විදිහට විශ්වවිද්‍යාල පාවිච්චි කරන්න. මුදාගන්නවා කියලා කරන්නෙ මොකක්ද පනතෙන් නීත්‍යානුකූලව විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට ලැබුණු , අයිතියක් වුනු ශිෂ්‍ය සංගම් අහෝසි කරන එක. බැජ් මීටින් ගන්න බැහැ. පොදු රැුස්වීම් ගන්න බැහැ. දෙන්නෙක් තුන්දෙනෙක්ට වඩා එකතු වුනොත් පංති තහනම් කරනවා. දැන්වීම් අලවන්න බැහැ. පෝසටර් ගහන්න බැහැ, ආදරය කරන්න බැහැ. දැන් මේවට නවක නීති, චක්‍‍්‍රලේඛ කෙටුම්පත් කරලා ඉවරයි. මුළුමනින්ම විශ්වවිද්‍යාල ඇතුළේ රටේ තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් පවා නැති කරලා තියෙන්නෙ. මුදා ගන්නවා කියන්නේ ඒකට. පසුගිය කාලේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මුදාගත්තා කියලා කිව්වනෙ. කොහොමද මේක කළේ? ශිෂ්‍යයෝ තුන්සිය 341 කගේ පංති තහනම් කරලා. 152 ට විතර නඩු පැවරුවා. 47 ක් විතර හිරේ දැම්මා. ශිෂ්‍යාවන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කළා. අපවත් වුණු හාමුදුරුවන්ට පංති තහනම් කරනවා. ශිෂ්‍ය සංගම් තහනම් කරල දැම්මා. ඔන්න ඕකට තමයි මුදවා ගත්තා කියන්නෙ. විනෝද චාරිකාවක් ගියාට නේවාසිකාගාර පහසුකමක් නැති කරල දානවා. මහපොළ ශිෂ්‍යාධාර නැති කළා. විශ්වවිද්‍යාලෙ ඉන්න ළමයි කියන්නෙ තොත්ත බබ්බු නෙවෙයි. මොන්ටිූසොරි ළමයි නෙවෙයි. විශ්වවිද්‍යාල ඇතුලේ මොනවද මුදාගන්න තියෙන්නෙ. මේකෙන් ආණ්ඩුව හදන්නෙ තමන්ගෙ දේශපාලන දඩබිම් බවට විශ්වවිද්‍යාල පත්කර ගැනීම.




ඔබ දැන් කියන කාරණය ඇත්තක් නම් ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව තවත් ශිෂ්‍ය කණ්ඩායම් මතුවෙන්නෙ කොහොමද?


     ඒවට කියන්නෙ මාධ්‍ය ඉස්සරහ පෙනී ඉන්න ශිෂ්‍ය ව්‍යාපාර කියල. ඒවා ශිෂ්‍ය ව්‍යාපාර නෙවෙයි. මේ කීපදෙනෙක් ජීවත් වෙන්න ක්‍‍්‍රමයක් නැතිව කීයක් හරි හොයාගන්න ආණ්ඩුවට හේත්තුවෙලා අටව ගන්න එක එක සංගම්. සිසු හැරවුම් ව්‍යාපාරය, එක එක ජාතියෙ ශිෂ්‍ය මධ්‍යස්ථාන කියල විවිධ නම් වලින් හතර පස්දෙනා එකතු වෙලා මාධ්‍ය සාකච්ඡා ගන්නවා. මේ අයට අඩුම තරමේ ළමයි 50 ක් එකතු කරගෙන උද්ඝෝෂණයක්වත් කරන්න පුළුවන්කමක් නැහැ. මේවා දේශපාලන වුවමනාවට ශිෂ්‍ය කි‍්‍රයාකාරීත්වය අඩපණ කරන්න කරන දේවල්. ආණ්ඩුව තමා ඔවුන්ව නඩත්තු කරන්නෙ. මේවා අපිට අභියෝග නෙවෙයි. පසුගිය දවසක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දැවැන්ත පාගමනක් ගියා රුහුණෙ දැවැන්ත උද්ඝෝෂණයක් කළ. පේරාදෙණියෙ ශිෂ්‍යයෝ කොළඹට පාගමනක් එන්න සූදානම් කරල තිබුණා. නමුත් ඒක ආණ්ඩුව වැලැක්වුවා. නමුත් ශිෂ්‍ය ප‍්‍රජාව ගලන ගඟ වගේ අන්තරයත් එක්ක එකට එකතුවෙලා ඉන්නෙ. මේනිසා නිවැරදි දැක්මකින් අධ්‍යාපනය රැකගන්න අරගල කරන්නෙ කවුද කියන එක අවබෝද කරගන්න වෙනවා.




හොඳයි, අපි මෙහෙම කතාකළොත්, පහුගිය කාලේ අන්තරේට තිබුණු චෝදනාවක් තමයි ජවිපෙ බලල් අතක් වෙලා හිටියා කියන එක. දැන් නැගෙන චෝදනාවක් තමයි ජන අරගල ව්‍යාපාරයේ කොටස්කාරයෙක් වෙලා කියන එක. මෙය සැබෑවක්ද?

     ශිෂ්‍ය ව්‍යාපාරය කියලා කියන්නේ කුමන හෝ දේශපාලන ව්‍යාපාරයක බලල් අතක් හරි, අතකොළුවක් හරි නෙමෙයි. මේක කාගේ හරි දේශපාලන බූදලයක් නෙවෙයි. මේක ශිෂ්‍යයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගොඩනගපු ව්‍යාපාරයක්. මේකට අදාළ දේශපාලන ලේබල් අලවන්න ඕන ඇයි? ආණ්ඩුව මේ කරන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය හුදකලා කරන්න. ශිෂ්‍ය සංගම් හුදෙකලා කරන්න. ශිෂ්‍ය ව්‍යාපාරයට දේශපාලන ලේබලයක් අලවල, භේද භින්න කරන්නයි අවශ්‍ය වෙලා තියෙන්නෙ.ආණ්ඩුවට තියෙන ලොකුම අභියෝගය තමයි එළියෙ සමාජයේදී පක්ෂ, පාට, ජාති, ආගම්, කුලවලට බෙදිල මිනිස්සු කුලල් කා ගනිද්දි විශ්වවිද්‍යාල ඇතුලේ මේ ජාති, ආගම්, කුල, පාට, පක්ෂ නොසළකා ශිෂ්‍යයා කියන පොදු ඒකකය ඇතුලේ එකතු වෙලා ඉන්නවා. මේක තමා අද අභියෝගය. ශිෂ්‍ය ව්‍යාපාරයේ හයිය තමයි මේ. මේක බිඳින්නයි ආණ්ඩුවට අවශ්‍ය. අන්තරය ඕනෑම දේශපාලන මතයක් දරණ ශිෂ්‍යයන්ට එකට ඉන්න පුළුවන් තැනක්. හැමෝටම බලපාන කේන්ද‍්‍රීය ප‍්‍රශ්නයක් වන අධ්‍යාපනය වෙනුවෙන් තමයි ශිෂ්‍යයා පෙළ ගැහිලා ඉන්නෙ. අපට දේශපාලන පක්ෂවලට කෙඬ් යන්න වුවමනාවක් නැහැ. අපි කෙඬ් යනව නම් යන්නෙ රටේ ජනතාවට.




ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් වසාදමන තත්ත්වයට පත්වෙන්නෙ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ දේශපාලනික අරමුණු දිනාගැනීම වෙනුවෙන්ද?


     ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ මීට අවුරුදු 02 කට පෙර සිටම අරගලය මතුවෙලා තිබුණෙ. දැන් තමයි තීරණාත්මක ලෙස පුපුරලා ගිහින් තියෙන්නෙ. සත්‍යග‍්‍රහය ආරම්භ කළේ උපකුලපතිවරයාව ඉවත් කරන්න. ඒවගේම තමයි ශිෂ්‍යයින්ගේ ජීවිත අනාරක්ෂිත කරලා විශ්වවිද්‍යාලය ඇතුලේ අවදානම් තත්ත්වයක් ඇති කරපු, විරු සිසු ස්මාරකයට බෝම්බ ගහන්න ඉඩ හදලා දීපු රක්නා ලංකා ආරක්ෂක අංශය ඉවත් කරන්න. විශ්වවිද්‍යාලය අවට රැුඳවලා තිබුණු ආරක්ෂක අංශ ඉවත් කරන්න. පංති තහනම් ඉවත් කරගන්න. මේ ඉල්ලීම්වලට අහුම්කන් දෙන්නෙ නැතිව තමයි ආණ්ඩුවේ මැදිහත්වීම මත උසාවි නියෝගයක් මත විශ්වවිද්‍යාලය වහලා දාන්නෙ. උසාවි නියෝගයක් ගෙනල්ලා ශිෂ්‍යයො එළියට දානවා. මේක තමයි දැන් අලූත්ම ප‍්‍රවනතාව. දැන් ඕනෑම මොහොතක ඕනෑම දෙයකට මේ රටේ උසාවි නියෝග ගන්න පුළුවන්. මේක තමා රටේ යථාර්ථය. අපි කියනවා සටන නතර කරන්නෙ නෑ. මොකද එක ප‍්‍රශ්නයකටවත් උත්තර ලැබිලා නැහැ. කීර්තිමත් ඉතිහාසයක් තිබුණු විද්යෝදය සරසවිය අද ඉතාමත් අපකීර්තිමත් තැනක තිබෙන්නෙ. පසුගිය දින කිහිපය විශ්වවිද්‍යාලය යුධ පිටියක් බවට පත්වෙලා තිබුණේ. රටක සාමාන්‍ය ජනතාව ගැවසෙන පාරක් පාරක් ගානේ සන්නද්ධ හමුදාව යොදවලා තියෙනවා නම්, සන්නාහ සන්නද්ධ රථ එහා මෙහා යනවා නම් ඒ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව ප‍්‍රශ්නයක් නැගෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක්ද තියෙන්නේ. හමුදා පාලනයක්ද තියෙන්නේ කියන ප‍්‍රශ්නය එනවා. සිවිල් උද්ඝෝෂණ මඩින්න සන්නාහ සන්නද්ධ රථ ගෙනත් දානවා. නිරායුධ ශිෂ්‍යයන්ට පහරදෙනවා මේකද මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය. අපි කියන්නෙ ප‍්‍රශ්න මෙහෙම යට ගහන්න බැහැ. ඉල්ලීම් ජයග‍්‍රහණය කරන තුරු අපි සටන් කරනවා. ජනාධිපතිවරයා, ඇමතිවරයා ප‍්‍රතිපාදන කොමිසමට අපි දැනුම් දීලා තිබුණේ මේ ප‍්‍රශ්න විසඳන්න කියලා. නමුත් තාමත් උත්තර නෑ. ඉතාම පැහැදිලි ආචාර්යවරු, අනධ්‍යයන සේවකයන්, ශිෂ්‍යයන් මේ හැමෝම ඉන්න ස්ථාවරය තමයි උපකුලපතිවරයා ඉවත් කළ යුතුයි කියන කාරණය. මේ තරම් විරෝධතා තියෙද්දිත් ඇයි මේ උපකුලපතිවරයා ඉවත් කරන්නේ නෑ. ඇයි? මේකට හේතුව තමයි නාමල් රාජපක්ෂට පශ්චාත් උපාධියක් දෙන්න යනවා. මේක සංවිධානය කරන ආචාර්යවරු දෙන්න තමයි මහාචාර්ය එන්.ඩබ්ලිව් ජයසුන්දර හා එන්.ඒ.එල් කරුණාරත්න. දෙන්න යන්නෙ අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්. මේ විෂයට ජපුර උපකුලපති කිසිම සම්බන්ධයක් නැහැ. ඔහු භූගෝල විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක්. මේ අයථා කි‍්‍රයාවට සුරක්ෂිතභාවය හදන්න තමා ඔහු මැදිහත් වෙන්නේ. ජනාධිපති උපකුලපතිවරයා රකිනවා. ඒ වෙනුවෙන් උපකුලපති නාමල් රාජපක්ෂට පශ්චාත් උපාධි දෙනවා. මේක තමයි හේතුව මේ නිසා උපකුලපතිවරයා විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරලා විශ්වවිද්‍යාලය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් ඇතිකරනකම් අපි මේ අරගලය අරගෙන යනවා. ආණ්ඩුව නියෝග ගෙනල්ලා, හිරේදාලා, අත්අඩංගුවට අරගෙන මේවා නතර කරන්න බැහැ. ගමක් ගමක් පාසා මේ අරගලය අපි අරගෙන යනවා. දෙමව්පියෝ, ශිෂ්‍යයෝ මේ සටන වෙනුවෙන් අපි ඒකරාශී කරනවා.




උදුල් පේ‍්‍රමරත්න කියන්නෙ අන්තරේ හිටපු කැඳවුම්කරු. ඔහු අද ජන අරගල ව්‍යාපාරයේ කි‍්‍රයාකාරිකයෙක්. සංජීව බණ්ඩාර මේ සූදානම් වෙන්නේ තමන්ගේ පෞද්ගලික දේශපලන අරමුණු ජයග‍්‍රහණය කර ගැනීමටද?


     ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෝ ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් වැඩකරන්නෙ පෞද්ගලික වරප‍්‍රසාද බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඒ නිසා තමයි ශිස්‍ය නායකයෝ බහුතරයකට තමන්ගෙ උපාධියන් සම්පූර්ණ කර ගන්න බැරිවෙලා තියෙන්නෙ. කිසිම ශිෂ්‍ය නායකයෙක් තමන්ගේ නිලතල අයුතු ලෙස භාවිතා කරලා නැහැ. ආචාර්යවරු එක්ක සම්බන්ධකම් හදාගෙන විභාග සමත් වෙන්න, රැකියා ලබාගන්න ශිෂ්‍ය නායකයෝ ගිහින් නෑ. තමන්ගේ උපාධිය පවා මගහැරිලා තියෙන්නෙ ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් දරදිය ඇදල. මේ අරගලවල ප‍්‍රතිලාභ එන්නේ රටේ ජනතාවට. විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුනාට පස්සේ ඔහුට පුළුවන් තමන් කැමති දේශපාලන මතිමතාන්තර වලට අනුව කටයුතු කරන්න, දේශපාලන පක්ෂයක කටයුතු කරන්න, ඡුුන්දෙ ඉල්ලන්න, රැුකියාවක් කරන්න. එකේ බාධාවක් නැහැ. කැඳවුම්කරු විතරක් නෙවෙයි දහස් ගණනක් ශිෂ්‍යයෝ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉන්නවා.


     අපි අහනවා ඉතිහාසයේ කවද්ද ශිෂ්‍ය ව්‍යාපාරය පටු ලාභ වෙනුවෙන් කටයුතු කළේ කියලා. කවදාවත් අපි මාධ්‍ය සාකච්ඡුුා කරලා මහින්ද රාජපක්ෂට ඡුුන්දෙ දෙන්න, සරත් ෆොන්සේකට ඡුන්දෙ දෙන්න කියලා කිව්වේ නැහැ. තමන්ගේ ශ‍්‍රමය, කාලය සියල්ල කැපකරලා තියෙන්නේ අරගලය වෙනුවෙන්. අදත් ශිෂ්‍ය නායකයෝ සිරගත වෙනවා. පටු ලාභ බලාපොරොත්තුවක් මේ තුළ නැහැ. ජීවිත පවා පරිත්‍යාග කරලා තියෙන්නෙ. ශිෂ්‍යයෝ 623ක් දිවි දිලා තියෙනවා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුවෝ 11 ක ඝාතනය වෙලා තියෙනවා. ඔවුන් ඝතනය වුණේ ඇයි?නිදහස් අධ්‍යාපනය රැුකගන්න ගිහින්. මේ ආණ්ඩුව කරන චෝදනාව තරම් විහිළුවක් නම් ලෝකෙම නැහැ. මේක ආණ්ඩුවේ බංකොලොත්භාවය පෙන්වන ප‍්‍රකාශයක්. මේ රටේ දේශපාලනය කරන්නේ ජනතාවගේ මුදල් කොල්ලකාලා තමන්ගේ ජීවිත සරුසාර කරගන්න එක. මෙහෙම දේශපාලනය තමයි ශිෂ්‍ය ව්‍යාපාරයට නිර්ලජ්ජිත ආකාරයට දැන් චෝදනා කරන්නේ. ආණ්ඩුවේ බත්ගිලින පිලිකනුවල ලගින සමහර ආතක්පාතක් නැති නායකයෝ වගේ අන්තරේ නායකයෝ අරලියගහ මන්දිරයට රිංගනවනං ඒකට ආණ්ඩුව ගොඩක් කැමති වෙයි. එතකොට ශිෂ්‍ය ව්‍යාපාර මාර පරමාදර්ශි ව්‍යාපාරයක් කියලා ස්වාධීන රූපවාහිනි පුවත්වලට කියයි. හැබැයි ඒක කවදාවත් වෙන්නේ නෑ.


     අපි දේශපාලන අරමුණ වෙනුවෙන් ශිෂ්‍යාව පාරට අරගන්නෙ නෑ. අපේ සටන් පාඨ අරන් බැලූවොත් තේරෙයි ඒවගෙ කොතනකවත් නෑ අහවල් දේශපාලන ව්‍යාපාරය ඡන්දෙ දෙන්න කියලා. ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ අසාධාරණය දුටු තැන එයට අභීයෝග කරන දේශපාලනය වෙනුවට නිවට දේශපාලනයක්. නිවටකම අදේශ කරන්නයි අවශ්‍ය වෙලා තියෙන්නේ. අද ආණ්ඩුව කරන්නෙ පාදඩ දේශපාලනයේ යෙදෙමින් අපිට සදාචාරවත් දේශපාලනය කරන්න එපා කියන එක.


සංස්කාරක
තෙවන ඇස අධ්‍යන කවය

0 comments :

Post a Comment