Tuesday, March 6, 2012

අධ්‍යාපනයේ අර්බුදය

     අපේ රටේ අධ්‍යාපනයෙහි ගැඹුරු වෙමින් පවත්නා අර්බුදයක් පවතින බව පැහැදිලිය. එය ආර්ථික, සමාජ හා දේශපාලන මානයන් ගන්නා වූ ද ඒ සම්බන්ධ විසඳුම පුපුරායනසුලූ ප‍්‍රතිඵල ගෙන දිය හැක්කා වූ ද අර්බුදයක් වේ. මෙම අර්බුදය නව ලිබරල් ධනේශ්වර සංවර්ධන මාවතේ පුළුල් රාමුව ඇතුළත ස්ථානගත කිරීමේ අවශ්‍යතාවක් ඇත්තේය. මෙම බහුවිධ අර්බුදය නිවැරැදි ලෙස තේරුම්ගෙන කි‍්‍රයාකළ හැක්කේ එවිට පමණි.


      අධ්‍යයන උසස් පෙළ විභාග ප‍්‍රතිඵල හා සම්බන්ධ වියවුල සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඇමැතිවරුන් හා ඉහළ පරිපාලන නිලධාරීන් ඇතුළු සමස්ත අධ්‍යාපන නිලධර තන්ත‍්‍රයේ අතිමහත් හා සමාව දිය නොහැකි අදක්ෂතාවය ය. සුපුරුදු පරිදි නිල ප‍්‍රතිචාරය වූයේ රෙජීමය අනුමත කරන හා සාධාරණීය කරන තවත් එක රබර් මුද්‍රාවක් බව සනාථ කරන්නා වූ ද ජනාධිපති කමිටුවක් පත්කිරීමය. ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශයක් ප‍්‍රතික්ෂේප කිරීමේ නිශ්චිත තත්්වය තුළ විශේෂයෙන් සිසු සිසුවියන් ඇතුළු පංගුකරුවන් ඔවුන්ගේ දුක්ගැනවිලි හා ඉච්ඡාභංගත්වය ප‍්‍රකාශ කිරීමට විරෝධය පෑමේ හා උද්ඝෝෂණයේ පිහිට පැතීමට යොමුවීම ස්වාභාවිකය. මෙම අවශ්‍යතාවන්ට ආමන්ත‍්‍රණය කරනු වෙනුවට රෙජීමය කර ඇත්තේ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණය කරනු ඇති අයට එරෙහිව ‘යුද තත්වයක්’ප‍්‍රකාශ කර තිබීමය. මෙම අරගලය බුරුලක් නොදක්වා වීදි කරා ගෙනයන ශිෂ්‍ය ව්‍යාපාරයේ නොසෙල්වෙන අධිෂ්ඨානය අගැයිය හා ආරක්ෂා කළ යුතු ය. රෙජීමය කි‍්‍රයාකර තිබෙන බලහත්කාර ආකාරය සමස්ත වියවුලම අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම සඳහා දේශපාලන වාතාවරණයක් ඇතිකිරීම පිණිස හා සාධාරණිකකරණය කිරීම පිණිස හිතාමතාම නිෂ්පාදනය කර තිබෙන එකක් බවට අනුමාන කිරීමට පදනමක් සපයයි. කාරණය සම්බන්ධ ඇත්ත කාරණය වනුයේ මෙම වියවුල දැන් සාමූහික මනෝමූල සමාජ සංජානනය තුළ පෞද්ගලිකකරණ ප‍්‍රශ්නය සමග වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇති බවයි. 
       අධ්‍යාපනය පෞද්ගලිකකරණය විශ්වවිද්‍යාලවලට පමණක් සීමා නොකෙරේ. ප‍්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය කරා ද එය සිදුවන බව සඳහන් කළ යුතුය. පාසල් 2500 ක් පමණ වසාදමනු ඇත. ග‍්‍රාමීය පාසල් නූතන උපකරණ හා පුහුණු ගුරුවරු නොමැතිව කුණු වෙන්නට හැරදමා ඇත. විශ්වවිද්‍යාල පෞද්ගලිකකරණය සම්බන්ධයෙන් පවා අධ්‍යාපනික වෘත්තිකයන්, අධ්‍යාපනඥයන්, ශිෂ්‍යයන් හා මව්පියන්, සිවිල් සමාජය ඇතුළු මූලෝපායික පංගුකරුවන් සමග අදහස් විමසීමක් තිබී නැත. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ (FUTA) ප‍්‍රධාන දුක්ගැනවිල්ල වනුයේ මෙයයි. ඔවුන්ගේ විරෝධතා වර්ජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන අරගලයෙහි සැලකිය යුතු වර්ධනයකි. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විශ්වවිද්‍යාල මිලිටරිකරණය කිරීමට එරෙහිව මෙන්ම විශ්වවිද්‍යාල ස්වායත්තතාවය පැහැරගැනීමට හා විශ්වවිද්‍යාල පනත උල්ලංඝනය කිරීමට එරෙහිව පෙරට පැමිණ ඇත. සත්තකින්ම 18 වැනි සංශෝධනය හා විසර්ජන පනත සම්බන්ධ කාරණයේ දී මෙන් විශ්වවිද්‍යාල පෞද්ගලිකකරණ පනත පක්ෂපාතී අධිකරණය විසින් අනුමත කරන ලද හා ගජ මිතුරු තන්ත‍්‍රයක් විසින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක රබර් මුද්‍රිත අනුමතිය දෙන ලද ‘හදිසි පනතක්’ලෙස හඳුන්වා දෙන්නට පුළුවන. නැගෙන විරෝධය හේතුකොට ගෙන පනත හඳුන්වාදීම අත්හිටුවන්නට රෙජීමයට බලකෙරුණා වන්නට පුළුවන. එහෙත් මෙම විරෝධය නිහඬ කර දමනු ලැබූ විටක මතුපිට සංශෝධනයන් කිහිපයක් සමගින් නැවත ඉදිරිපත් නොකරන බවට සහතිකයක් නොමැති බැවින් මෙය උපක‍්‍රමයක් පමණක් වනු ඇත. මෙම පනත ඉහළ ප‍්‍රමුඛතාවක් වන්නේ රෙජීමයේ නව ලිබරල් න්‍යාය පත‍්‍රයේ පමණක් නොවේ, ලෝක බැංකුවේ ද ඉහළ ප‍්‍රමුඛතාවක් වන්නේ ය.


      විශ්වවිද්‍යාලවලට ඇතුළුවන්නන් සන්නද්ධ හමුදා විසින් හා හමුදා පහසුකම් මගින් කරන විශේෂ පුහුණුවක් ලැබීමේ අනිවාර්ය අවශ්‍යතාව හා විෂය නිර්දේශයම රාජපක්ෂ වංශයේ පාලන බලය චිරස්ථායි කරගැනීමේ න්‍යාය පත‍්‍රය සමග ඈඳුණු, හොඳින් හිතාමතා සැලැසුම් කර ඇති දේශපාලනිකකරණ හා මිලිටරිකරණ ප‍්‍රතිපත්තියක් පිළිබඳ සාක්ෂි දරයි. එය ‘දේශපේ‍්‍රමයේ’ හා ජාතිකවාදයේ මතවාදය කාවද්දන ලද හා දෙමළ ජාතිය යටපත්කර ලැබූ යුද ජයග‍්‍රහණයේ උත්කර්ෂය හා රෙජීමය කෙරෙහි වන අන්ධ පක්ෂපාතීභාවය මගින් ශිෂ්‍ය ගෙස්ටාපෝවක් නිර්මාණය කිරීමක් හා සමානය. ඒ වගේම හමුදාවේ හිටපු සෙබළුන්ගෙන් තනන ලද රක්නා ලංකා භට කණ්ඩායම් සියලූම විශ්වවිද්‍යාලවල ආරක්ෂාව සැපයීම සඳහා පත්කිරීමේ ප‍්‍රශ්නයක් තිබේ.


      අධ්‍යාපනයේ අර්බුදය ‘ආසියාවේ ආශ්චර්යය’ක තත්්වය මුදුන්පත් කරගැනීමට ඉලක්ක කරගත් සංවර්ධන ගමන් පථයෙහි සන්දර්භය තුළ ද එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ද ගැඹුරු වෙමින් පවතී. මෙම සංවර්ධන ගමන් පථය පදනම්ව ඇත්තේ මහත් ලෙස පෙනෙන හා ලාභ උපදවන මහා ව්‍යාපෘති - වරායවල්, ගුවන් තොටුපළවල්, සුපිරි මහා මාර්ග, ඉහළ පංතියේ සංචාරකයන්, චෞර වංශාධිපතීන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ආකර්ෂණය කරගන්නා තරු හතේ හෝටල් සහ රෝහල්, සනීපාරක්ෂක නිකේතන, මත්පැන්හල්, ගණිකා නිවාස හා කැසිනෝ ශාලා මතය. ඉඩම් අක්කර දසදහස් ගණන් බහුජාතික, කෘෂි - කර්මාන්ත ව්‍යාපෘති හා සංචාරක නිකේතන සඳහා අත්පත්කරගනු ලැබ තිබේ. ජනතාවගේ, විශේෂයෙන්ම උතුර හා නැගෙනහිර සාම්ප‍්‍රදායික වාස භූමි අත්පත්කරගනිමින් තිබේ. සුළු හිමිකාර ගොවියන්ට අයත් ඉඩම් බහුජාතික සමාගම් ව්‍යාපාර සඳහා ඒකාබද්ධ කෙරෙමින් තිබෙන අතර සුළු හිමිකාර ගොවියන් තමන්ගේම ඉඩම්වල කුලී ගොවියන් හා කෘෂිකාර්මික කම්කරුවන් බවට පත්වෙනු ඇත. ජාතික ආර්ථිකයේ ඉතිරිව තිබෙන ස්ව ශක්තියෙන් යුත් හා ස්වයං පෝෂිත කවරක් වුව වෙන්දේසි කරනු ඇත. සරසවි ආචාර්යවරුන්ගේ හා අනෙකුත් අයගේ සාධාරණ වැටුපක් සඳහා වන ඉල්ලීම් පාගා දමමින් තිබිය දී ය. මෙම නව ලිබරල් සංවර්ධන ගමන් පථය කම්කරුවන්ගේ, ගොවියන්ගේ, ධීවරයන්ගේ හා අනෙකුත් නිෂ්පාදකයන්ගේ ද සුළු වෙළෙඳුන්ගේ හා වෘත්තිකයන්ගේ ද අතිබහුතරයක් හප කර දමනු ඇත, ‘ආශ්චර්යය’මුදුන්පත් කරගන්නට නම් දුප්පතා රවටා කොල්ල කෑ යුතුය. මෙම ප‍්‍රවනතා හා ඒවායේ ප‍්‍රතිවිපාක අප අධ්‍යාපනයේ අර්බුදයට ප‍්‍රවේශ වන්නේ කෙසේද යන්න කෙරෙහි බලපෑමක් ඇතිකරයි.


      මෙම වර්ධනයන් නොවැළැක්විය හැකි පරිදි රාජ්‍යයට හා පාලක රෙජීමයට ජනතාවට එරෙහිව ප‍්‍රචණ්ඩ මර්දනය තීව‍්‍ර කිරීමට, මිලිටරි ආඥාදායකත්වයක් කරා වන ප‍්‍රවනතාවට එරෙහිව සටන් වැදීමට නිර්භීත වන සියලූ විප්ලවීය, ප‍්‍රගතිශීලී හා ප‍්‍රජාතන්තී‍්‍රය බලවේග ද ඇතුළුව ශිෂ්‍ය ව්‍යාපාරය ඉලක්ක කිරීමට බල කරනු ඇති පුපුරායනසුලූ දේශපාලන සන්ධිස්ථානයක් කරා මග පාදනු ඇත. පවතින තත්්වය අනුව ගත් කල සමාජ බලවේගයන්ගේ පුළුල් හා මූලෝපායික පෙළක් මිලිටරි ආඥාදායකත්වය කරා වන මෙම ප‍්‍රවනතාවට හා නව ලිබරල් ආර්ථික න්‍යාය පත‍්‍රයට අභියෝග කිරීමට හා විරෝධය පෑමට පටන්ගනිමින් තිබේ. කම්කරුවන් නැවතත් ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීම හා ජීවත්විය හැකි වැටුපක් ඉල්ලීම සඳහා බලමුළු ගැන්වීම ආරම්භ කරමින් තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විරෝධතාවන්හි හා වර්ජනවල නියැළීම ආරම්භ කර තිබේ. ශිෂ්‍ය ව්‍යාපාරය විසින් පෙරමුණ ගන්නා ලද දකුණේ රැඩිකල්, සටන්කාමී විප්ලවීය - බලවේග වමේ බලවේග සමග සම්බන්ධව උතුර, නැගෙනහිර හා කඳුරට ජනතාවගේ දැවෙන හා බලවත් වේදනා ගෙනදෙන ප‍්‍රශ්න සමග සහයෝගීතාවයේ පාලම් ගොඩ නගන්නට පටන්ගෙන තිබේ. ඔවුහු එක්සත් ශී‍්‍ර ලාංකේය ජාතියක් ගොඩනැගීම පිණිස බලහත්කාර බෙදීමේ බාධක බිඳදැමීමේ නිර්භීත ප‍්‍රයත්නයන්හි නිරතව සිටිති.


      අධ්‍යාපනයේ අර්බුදයට ප‍්‍රතිචාර දැක්වීම් වස් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ ප‍්‍රජාතන්තී‍්‍රය බහුජන බලමුළු ගැන්වීමක් ද ගුණාත්මක අධ්‍යාපනයට ඇති සමාන අවස්ථා පිළිබඳ අයිතිය සඳහා අරගල කිරීම ද අවශ්‍ය වනු ඇත. මෙම අරගලය ඓන්ද්‍රීමය වශයෙන් නිදහස, යුක්තිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන පොදු ඉල්ලීම සමග නියත වශයෙන් සම්බන්ධ වේ. මෙම භාරදූර දේශපාලන සන්ධිස්ථානයේ දී සියලූ ප‍්‍රජාතන්ත‍්‍රීය, ප‍්‍රගතිශීලී හා රැඩිකල් විප්ලවීය බලවේගයන්ගෙන් අධ්‍යාපනයේ නිදහස් හා සමාන අවස්ථාවන්ට ඇති අයිතිය ඇතුළු නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම පිණිස රාජපක්ෂ රෙජීමයේ මිලිටරි-ජාතිවාදී ආඥාදායකත්වයට එරෙහිව විරෝධය පෑමේ පොදු ව්‍යායාමය තුළ එක්සත් වන්නැයි ඉල්ලා සිටී.



සුරේන්ද්‍ර අජිත් රූපසිංහ - මා ඕවාදී කොමියුනිස්ට් පක්ෂය

0 comments :

Post a Comment