Thursday, June 23, 2011

අතීතය.........

හන්තාන අඩවියේ
 

                    මැදුරු කුළුණු සුදු සඳළුතලා පිස
 

                                       මේ එන්නේ
 

                                                      පේ‍්‍රමයේ සුවඳ නොවේ.......

      මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තම කවි සිත කම්පනය කළ අතීතයේ එක් අඳුරු හෝරාවක ලේවැකි මතකය ඉහතින් අපි සඳහන් කරපු නිර්මාණය හිස් පිටුවක පෙළ ගස්වනකොට තොර්ගත්ත වචන එක්ක අපිට එකඟ වෙන්න අමාරුයි. ඔබ දැන් ප‍්‍රශ්න කරන්නේ ඒ ඇයි? කියලා නම් අපි අපේ සාකච්ඡාව නියම තැනින් පටන් අරගෙන.

     ඒ සමාජයම ත‍්‍රස්තයෙන් හිරිවට්ටවා හෘදය සාක්‍ෂිය දීර්ඝ සිසර නිද්‍රාවක ගිල්වා තිබුණු යුගයක, ගිනි මද්දහනේ පවා රජකළ අඳුරට හා ඇටමිදුලූ තුළට පවා ඉදිකටු තුඩු මෙන් රිංගා ගෙන තිබුණු සීතලට එරෙහිව සටන් වදින්නට හදවතින් දිවුරා ගත්, තවමත් උණුහුමෙන් ගැහෙන හදවත් සහිත, තවමත් උස් හඬින් අපට අඬගසන , පරම්පරාවක ජීවමාන මතකය සමරන අද වැනි ජුනි 20 වන දාක අපට ඔබත් එක්ක කියා ගන්න ලොකු කතන්දරයක් තියෙන නිසයි.

     ටයර් සෑ මතින් නැගුණු පුළුටු දුමාරය දෙනාසා පුඩු තුළින් බලහත්කාරයෙන්ම රිංගා ගෙන ඉස කරකැවිල්ලෙන් නැගුණු ඔක්කාරය මෙන් අපුල මතකයෙන් පිරි 80 දශකයේ ලංකාව සෑම සමාජමය ක්ෂේත්‍රයක් තුළ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළත් ඇති කළ කැළඹුම බරපතලයි. පාලකයන්ගේ නව ලිබරල් සිහින දනව්වේ දොර කවුළු තුළින් හමා ආ පෞද්ගලික කරණයේ සැඩ මාරුතයෙන් මුල් ඉදිරී ගිය ලාංකිය සමාජය අයිතීන් වෙළඳ උවමනාවන් මත වෙන්දේසි වෙමින් පැවතුනේ කුණු කොල්ලෙට. අධ්‍යාපන ධවල පති‍්‍රකාව, උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය , සරසවි ප‍්‍රවේශයේ දිස්ති‍්‍රක් කොටා ක‍්‍රමය අහෝසි කිරීම වගේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ගෙන ආපු මාරාන්තික ප‍්‍රතිසංස්කරණයන් හරහා අපේ පරම්පරාවේ අහිංසක හා එකම බලාපොරොත්තුව වෙච්ච නිදහස් අධ්‍යාපන අයිතියත් දංගෙඩියට නියම වෙලා තිබුණා. හමදාමත් තමන්ගේ අයිතිය වෙනුවෙන් උදෙන්ම අවධි වුණු ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය එදත් කොනදේසි විරහිතවම තම අයිතිය වෙනුවෙන් වගේම තමන් නොදන්නා මතු පරපුරක හෙට දවස වෙනුවෙන් තීරණාත්මකව නැගී සිටියා. අරගලය දැල්වුවා. මර්දනය ඉදිරියේ පසු නොබා කළුගල් දෙපළු කරගෙන නැගෙන රැුවන්තලා ගස් වගේ නොසිදෙන ධෛර්යයෙන් සටන් වැදුණා.

     සරසවියට පොලිස් මුරපොලවල් දැම්මා. පාලකයෝ ඉව වැරදිච්ච බල්ලෝ වගේ සරසවි ශිෂ්‍යයෝ පස්සේ පන්නන්න පටන් ගත්තා. 1984 අවුරුද්දේ ජුනි මසේ දවසක පේරාදෙණිය සරසවියේ පොලිස් මුරපොලට විරද්ධව කරපු සටනෙදී කළ පොලිස් වෙඩි පහරින්, පින්නෙන් තෙත බරිව ගිය තණ බිස්ස මත්තේ ඇඳ වැටුන රෝහණ වීරසූරය සටහේදරයගේ හදින් ගලා ගිය රත්වුණු ලෙයින් නැගුණු දුමින්, මුළු සරසවි පද්ධතියම උණුසුම් වෙලා ගියා. සරස්වතිය සරසවියෙන් පැනලා ගියා. ධවල භිෂනයේ සීතල ඇගිලි වලින් දහස් ගණනක් සරසවි සිසුන්ගේ හුස්ම හිරවනතුරු ගෙල මිරකා දැම්මා. හැමදාම අන්ධකාරයට ඉඩදීලා කාලකන්නි කමට පායලා තිබුණු ඉර බැහැලා යද්දී, කැළණිය සරසවියේ පවා දිග කන්ද නැගගෙන කහ බළල්ලූ කළු බළල්ලූ ගොදුරු හොයාගෙන ආවා. විද්‍යා පීඨයේ ගැමුණු යසස් ලා රොනි කුමාරලා ශාස්ත‍්‍ර පීඨයේ සේන මච්චාගමලා, උපාලි ජයවීරලා, සමන් පියසිරි ප‍්‍රනාන්දුලා, කළමණාකරණ පීඨයේ රුවන් වසන්තලා, මොහාන් ලාල්ලා සහ තාරපේරියේ රතනජෝති හාමුදුරුවෝලා ඇතුළු ආදරණීය සහෝදර සහෝදරියෝ ඩැහැගෙන උන් අතුරුදහන් වුණා. කලින් දවසේ දේශන ශාලාවල තමන්ගාව හිටපු සහෝදරයාගේ සහෝදරියගේ බංකුව පහුවෙනිදා දේශනයේදී හිස් වෙලා තියෙන කොට දැණුනු සහෝදර පේ‍්‍රමයෙන් නැවතත් අරගලය මුවහත් වුණා.

     දුක්විදින අසරණ මිනිස්සුන්ගේ දරුවන්ට ඉතිරිවුණු අවසන් අයිතිය වුණු අධ්‍යාපන අයිතිය උදුරා ගැනීමට පාලකයන් අවි අමෝරාගෙන සටන්වදින මෙහොතෙදී අයෝමය ධෛර්යයකින් ඔවුන් සටන් වැදුණා. තමන් සරසවියට එතකොට පොදි බැඳගෙන ආ බලාපොරොත්තු නිදහස් අධ්‍යාපනය අනතුරට ලක්වෙනවා දැක්කම දෙවරක් නොසිතා නිහතමානීව පසෙකින් තිබ්බා. ඔලූවලට පරලා ඇණ ගහද්දිත් මිට මොලවාගත් ධෛර්යය අත් නොහරින්න, ඇඟිලි කපා දමපු අත් කොටෙන් මරණය ඉදිරියේදිත් නිදහස් අධ්‍යාපනය දිනේවා කියලා බිත්ත කන්දක ලියන්න, ඇගේ හීනිම තැනටත් වානේ කොපු ගහලා විදුලි සැර වද්දද්දි තම සඟයන්ව පවා නොදෙන්න, බඩ පොතු පතුරගහලා අතුලූබහන් එළයට අදිද්දීත් ශිෂ්‍ය ව්‍යාපාරයට ජයවේවා කියලා කෑ ගහන්න, මේ මිනිස්සුන්ට තිබුණ පිස්සුව මොකක්ද?

     ඒක නොතේරෙන එක තමයි අපේ පරම්පරාවේ ප‍්‍රශ්නේ. අනිත් එකාට හෙණ ගැහුවත් තමන්ගේ වැඬේ කරගන්න හිතන, ෂැම්පු පැකට එකටත් කෙහවලූ පටලවගෙන මුහුණු හූරගන්න අපේ් පරම්පරාවේ උන්ගේ ඔලූගෙඩිවලට ති‍්‍රමාලා, වෙනුරල, නිෂ්මිලා , බාලේලා, බරපතල වැඩියි. ඒ නිසා ඔවුන්ගේ හදවත් වලින් උතුරා ගලාගෙන ගියපු මානව පේ‍්‍රමයේ දිග පළල අපට තේරෙන්නේ නෑ. අපි හැමදෙනාගෙම අයිතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදීම තේරුම් ගන්න බැහැ. රතු පාටට මල් පිපිලා තියෙන සරසවියේ මැයි ගස්වලට වත් අමතක නොවුණු ඒ පේ‍්‍රමණීය පරපුරක මතකය ඔබට අමතක කරන්න පුළුවන්කමක් නෑ. අපි නිදහස් අධ්‍යාපනයට උරුම හරුමකම් කිව්වේ විරුසිසුවන් කළ පරිත්‍යාග කැපකිරීම් නිසා බව අමතක කරන්න අපට අයිතියක් නැහැ. අද දවසෙත් නිදහස් අධ්‍යාපනය වල පල්ලට ඇදගෙන යන්න දත් කූරු කන අඳුරු හෙවනැලි ආයෙත් හොල්මන් කරන්න පටන් අරගෙන. ඒ නිසා අපි අපේ පරම්පරාවේ වගකීම ඉටු කරන්න ඕන. ඔවුන් තබා ගිය ගැඔුරු පාසටහන් ඔස්සේ ඇවිද යන්න ඕනා. ඔවුන්ව නිවැරදිව දකින්න ඔනා.
එන්න,
 

           මෙතන ඔතනට වැඩිය උසයි . . .


                              ඉතින් දිනක පලවා ගනඳුරු                      සීත
                              උතුම් හිරු මඩල බැබළෙන                 මතුදාක
                              මිටින් නොහෙලූ, පරපුර වෙත බැදි          පේ‍්‍රම
                              තදින් වැළද සිපගමි ඔය විරු                    දෑත



(ප‍්‍රියා) තෙවන ඇස

0 comments :

Post a Comment