Friday, June 3, 2011

ඔබත් සක්විති කෙනෙකු විය නොහැකිද?

   අද ඉරිදා දිනයක් වූයෙන් විශ්වවිද්‍යාලය තුළ දේශන සඳහා සම්බන්ධ වීමට අවශ්‍ය නොවීය. නිවාඩු දිනයන්හි ටිකක් වැඩිපුර නිදාගැනීමට පුරුදු වී සිටි මා හට අවදි වන විට පෙරවරු 9.00 පසු වී තිබීම පුදුම වීමට කරුණක් නොවීය. උදේට මොනවා හෝ ගිලදැමීම සඳහා කැන්ටිමට ගිය මා හට මිතුරන් කිහිපදෙනෙකු සමඟ එක්ව කැන්ටිමේ අම රස උදේ ආහාර වේලේ රස බැලීමට හැකි විණි. ආහාරයෙන් පසුව පත්තර ඇති ප‍්‍රදේශයට අප ඇදුනේ යම් වේලාවක් පත්තර පිටු අතර තොරතුරු ගවේශණයට අප හුරු පුරුදු වී සිටි නිසාවෙනි. පුවත්පතේ පලව තිබූ ලිපි කීපයක් වෙත මගේ අවධානය යොමු විනි.

පළමු ලිපිය

    මේ වන විටත් රටේ මුදල් කෝටි ප‍්‍රකෝටි ගණනක් වංචා කොට සැඟව සිටි සක්විති පොලිසියට කොටු වීමට අදාළව මෙම ලිපිය ලියවී තිබුණි. මුදල් වංචා කර ඔහු ගත කළ ජිවිතය ගැන විස්තර කර තිබුණු මෙම ලිපිය තුළ ඔහු අත්අඩංගුවට රැගෙන යන ඡායාරූපයක්ද විය
.
දෙවන ලිපිය

     සිය පේ‍්‍රමවන්තිය රවටා ඇයගේ කන කර සොරා ගත් පේ‍්‍රමවන්තයෙක් සැඟව සිටි ස්ථානයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වීම සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වූ මෙම ලිපිය තුළ පේ‍්‍රමවන්තයා සිය පේ‍්‍රමවන්තිය රවටා ගත් ආකාරය ගැන මනාව විස්තර කර දී තිබුණි
.

    ලිපි දෙක කියවූ මට ඒ සම්බන්ධයෙන් අදහස් ගණනාවක් මාගේ මනස තුළ හොල්මන් කරන්නට විය
. ලිපි දෙකෙහි සිදුවීම් දෙකක් විස්තර කර තිබුණි. එම සිදුවීම් සිද්ධින් විදියට එකිනෙකට හාත්පසින්ම වෙනස් වුවද ඒ තුළ අවධාරණයවන පොදු ගුණයක් පවතින බව ක‍්‍රමිකව මා හට දැනෙන්නට විය.

තුන්වන ලිපිය

    රුහුණු විශ්වවිද්‍යාලයේ සිසු අරගලයේ දී සිදු වූ පොලිස් ප‍්‍රහාරය හේතුවෙන් මිය ගිය සුසන්ත බණ්ඩාර සොයුරාගේ මව මාධ්‍යයට ඉදිරිපත් කළ කරුණු කිහිපයක් මෙම ලිපිය තුළ අන්තර්ගතව තිබූ අතර සිය පුතාට පහර දුන්නේ ‘‘බස්සා’’ නොව පොලිසියෙන් බව පවසන ඇය මුලින් සිදු වූ ප‍්‍රමාද දෝෂය ගැන කණගාටුව පළ කර සිටියාය. ආණ්ඩුව ප‍්‍රමුඛ පොලිස්පතිවරයා මෙම මරණය සිය දේශපාලන වුවමනාව වෙනුවෙන් යොදා ගැනීමට ගත් උත්සාහය මෙම ලිපිය තුළ දැඩි ලෙස හෙළා දැක තිබුණි.

    සක්විති අත්අඩංගුවට ගැනීමෙන් අපි ඇත්තටම සක්විතිගෙන් මිදුණා ද? පෙරළා කාමරයට එන අතරතුර දී මා හට විසඳා ගත යුතුව තිබූ ප‍්‍රශ්නය එයම විය. පොත් රාක්කය තුළ විශේෂ කියමන් ලියා තබාගන්නා පොත රැුගෙන එය පෙරළු මට ගැටළුව විසඳීමට කල්පනා කළ යුතු මාර්ගය අවබෝධ විය.


‘‘ධනපති පන්තිය ආධිපත්‍යය ලැබූ හැම තැනකම සියළු රදලවාදී පීතෘ මූලික පරමාදර්ශ (චාම් ගැමි ජීවිත) සබඳකම් විනාශ කළේය. ස්වභාවික ස්වාමිවරුන්ට මිනිසා බැඳ තිබුණු අනේකවිද රදලවාදී බන්ධනයන් අනුකම්පා විරහිත ලෙස සිඳ බිඳ දැමූ ධනපති පන්තිය මිනිසෙකු හා මිනිසෙකු අතර නග්න ස්වාර්ථකාමය හැර අනුකම්පා විරහිත ලෙස මුදල් ගෙවීම හැර වෙනත් කිසිඳු සබඳකමක් ඉතිරි නොකළේය. ආගමික භක්තියද ධීර-වීර උනන්දුවද අධි රසිකවාදී අනුරක්තතාවයද අරභයා වූ ස්වර්ගමය ආනන්දයත් ආත්මාර්ථකාමී ගණන් බැලීම නැමති අයිස් වතුරේ ගිල්වා දමන ලදී. එය පෞද්ගලික අගය හුවමාරු වටිනාකම බවට පෙරළන ලදී. එමෙන්ම සංඛ්‍යා විරහිත උදුරා ගත නොහැකි වර සහිත නිදහස් අයිතීන් වෙනුවට හෘද සාක්ෂියට කොහෙත්ම එකඟ නොවන එකම නිදහස වන වෙළඳාම් කිරීමේ නිදහස පිහිටුවාලීය. වචනයකින් කියතහොත් ආගමික සහ දේශපාලනික මායාවන්ගෙන් වසා තිබුණු සූරා කෑම වෙනුවට එය විවෘත ලැජ්ජා විරහිත කෲර සූරා කෑම ආදේශ කළේය’’

          

           මාක්ස් - එංගල්ස්
කොමියුනිස්ට් ප‍්‍රකාශනය


     ඉහත උපුටා ගැනීම ධනේශ්වර ක‍්‍රමය සිය පැවැත්ම මිනිස් සමාජය තුළ තහවුරු කර ගන්නා ආකාරය ඉතා මැනවින් විග‍්‍රහ කර ඇති අතර එය අද අපේ සමාජය විනිවිද දැකීමේ කාර්යයටද මැනවින් යොදා ගත හැක. මුදල් හා ලාභය මත සියල්ල තීරණය කරන සමාජය මිනිස් සබඳතා අමතක කර දමයිx නැත්නම් අමතක කරන්න බල කරනු ලබයි. මෙම විෂය මූලික යථාර්ථය මිනිසුන්ට කෙසේ හෝ මුදල් සෙවීම නැමති කාරණය තහවුරු කරයි. ජීවන තත්වයක් තුළ සක්විතිගේ වංචාව අහම්බයක් නොව එය අනිවාර්යයක් වන අතර අපි කාටත් විවිධ මට්ටම් වලින් සක්විති කෙනෙක් වෙන්න බල කරනු ලබයි. දෙවන ලිපිය හා පළමු ලිපිය අතර අන්තර් සම්බන්ධය හැදෙන්නේ එවිටය.

     පේ‍්‍රමවන්තයා පේ‍්‍රමවන්තිය ඉදිරිපිටදී සක්විති කෙනෙකු බවට පෙරලෙන්නේ ඒනිසාවෙනි ඔහුට ලාභ උපයා ගැනීමට ඇත්තේ ඇගේ කන කර පමණක් වන නිසා ඔහු ඒවා වංචා කරනු ලැබීය. මීටත් වඩා ඉදිරියට ගිය පෙම්වතෙකු සිය පෙම්වතියගේ නිරුවත හා විවිධ කාමුක දර්ශන සිය කැමරා ෆෝන් එකේ පිටපත් කර එහි පිටපත් සංයුක්ත තැටි මාර්ගයෙන් විකිණීම හෝ අන්තර්ජාලයේ විවිධ කාමුක වෙබ් අඩවිවලට විකිණීම සම්බන්ධයෙන් තොරතුරු අප  ඕනවටත් වඩා අසා ඇත. මේ සිදු වෙමින් ඇත්තේ අන් යමක් නොව මිනිස් සබඳකම් සියල්ල යට කර දමා ලාභය, වටිනාකම වෙනුවෙන් මිනිසුන් සිය මිනිසත්කම අත්හැර දැමීමයි. මේ යටතේ දෙමව්පියන් සිය දරුවන් මුදලට විකුණන මට්ටමට පැමිණ ඇත. මිනිස් ගුණාංගවලින් පිරුණු සමාජයක් වෙනුවට එකිනෙකා මරාගන්නා, එකිනෙකාට වෛර කරන සමාජයක් නිර්මාණය කරමින් ඇත. ඒ තුළ විවිධ මට්ටම්වල සක්විතිලා සිය ප්‍රෝඩාකාරී ජිවිත අරගෙන යන අතර ඉන් සමහරක් අපව පුදුම කරවන තොරතුරු බවට පත්ව සතිඅන්ත හෝ දිනපතා පුවත්පත්වල පිටු පිරවීමට යොදා ගනු ලැබේ. පුවත්පතක තොරතුරක් බවට පත් නොවන අයගේ සක්විති ජීවිත අප අතරම ගැවසෙමින් අපටම සාමාන්‍යකරණය වී ඇත.

     මට අපගේ විශ්වවිද්‍යාලයීය ජීවිතය ගැන කල්පනා විය. ගෙදරින් ලැබෙන සොච්චම් මුදලත් මහපොළින් ලැබෙන රුපියල් 2500 හෝ බර්සරි රුපියල් 2000ත් රැගෙන අප ගෙවන ජීවිතය වෙලාවකට විශ්වාස කරගත නොහැකි මට්ටමක ඇත. ඇත්තටම එය කුඩා සක්විති පැටවෙකු සිහි ගන්වයිx සුවඳ විලවුන් සහ විවිධ විලාසිතා වලින් අප සමාජයේ ඉහළ පැලැන්තියට ආසන්න වෙමින් ඇත. අතේ තිබෙන ෆෝන් එක එම පැලැන්තියට ආසන්න පරිභෝජන මට්ටමක් පෙන්වුවද ඉන් කපල් පැකේජ් එකේ පේ‍්‍රමවන්තියට හෝ පේ‍්‍රමවන්තයාට හැර අනෙකෙකුට දුරකථන පණිවිඩයක් දීමට බොහෝ අපහසුවක් දක්වන බව දන්නේ අප පමණි. දිවා ආහාරයට කැන්ටිමේ පෝලිම් වල තෙරපෙන පිරිස හරියට ඇමරිකාවේ සුපිරිම පැලැන්තිය ජීවත් වන බෙවර්ලි හිල්ස් හි තරුණ ගැටව් හා ගැටිස්සියන් පිරිසක් ගමේ කෝපි කඬේට ඇතුල් වී බංකු වල ඇණ තබාගෙන පාන් බාගයයි වඬේ එකයි අනුභව කොට තේ කහට තොළකට ගාන දර්ශනයක් කියා පායි.

     මේ සර්ව පිත්තල සක්විති පෙනුම ලබා ගන්න අපේම යහළු යෙහෙලියන් සමහර විට කැම්පස් එක ළඟ ඉදිවෙන ගොඩනැගිලි වල ඉදිකිරීම් වලට කුලියට බදාම සප්ලයි කරයි. නැත්නම් දින ගණන් ටවුන් වල විවිධ පෞද්ගලික ආයතනවල ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදයි, එළි වෙනකල් මුර කරු සේවයේ යෙදෙන පිරිස් වගේම කේටරින් සර්විස් වල වේටර් තනතුරු දරන අයත්, නැත්නම් මුදල් ගරමින් ගෲප් ක්ලාසස් කරන අයත් සිටී. මේ යථාර්ථය සර්වපිත්තල සක්විති පෙනුමෙන් වසා ගන්නට පුරුදුව සිටින අප දවල් වරුවේ කිසිදු ප‍්‍රශ්නයක් ගැටළුවක් නැති  කුරුල්ලන් මෙන් විශ්වවිද්‍යාල පරිශ‍්‍රය තුළ කෙළි දෙලෙන් ගත කරයි. නැව ගිලූනත් බෑන් චූන් සංස්කෘතියකට හුරුව ඇති අපට මුහුණ පාන්නට වන ගැටළු ප‍්‍රශ්න යුතුකම් වගකීම් සියල්ල අමතක කර දමා ඇත.

     අධ්‍යාපන පෞද්ගලීකරණය, ශිෂ්‍ය අයිතීන්, අනාගත පරම්පරාවන්ට අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කර දීම වැනි සටන් පාඨ අපට දෛනිකව විහිළු සපයන පාඨ බවට පත් කරගෙන ඇත. අප වෙළී සිටින මේ සිහිනයෙන් සුලූ මොහොතකට හෝ අවදි වීමට සිදු වන්නේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරීකමිටුව, මහා ශිෂ්‍ය සංගමය/ ශිෂ්‍ය සංගමය හෝ අන්තරය, විශ්වවිද්‍යාලය තුළ මොකක්හරි බාල්දියක් පෙරළුවොතින්ය. එයටද කුමක් හෝ හේතුවක් ඉදිරිපත් කර මගහැරීමට/ විවේචනය කිරීමට බොහෝදෙනෙක් උත්සාහ දරයි.

     පළමු වසරට අළුතින් නංගිලා මල්ලිලා ඇතුලත්කරගන්නාවිට ඔවුන් ඉදිරියේ රැඩිකල් විප්ලවවාදීන් වෙන සීනියර්ස්ලා අරගල අතහැර කැම්පස්එකේ පරිපාලනය ලඟ/ ආණ්ඩුවේ ඇමතිලා ලඟ ඉල්ලීම් වෙනුවෙන් දන ගහන්න මේ දවස් වල පොර කමින්සිටී. මේ කාරණේ පැහැදිලිකර කරගෙනයාමේදී තුන්වන ලිපියේ දේශපාලන කරුණ අපට වැදගත්වේ.

     පවතින ක‍්‍රමය අප කාටත් අඩු වැඩි වශයෙන් සක්විතිකරණයට හසුවීමට සෑම මොහොතකම බලකරමින් සිටී. දේශපාලකයන් අපේ රට ඊනියා නිදහස ලැබුණු දවසේ සිට රැවටීමට ලක් කර ඇත. ඡුන්දයට පෙර සක්විති පොරොන්දු ලබාදෙන අප රටේ දේශපාලූවන් ඡුන්දයෙන් පසුව මිනිසුන්ගෙන් සැඟව ජීවත් වෙති. ඉන්පසු ඔවුන්ව නැවත දකින්නට ලැබෙන්නේ ඊළ`ග ජන්දයේ දීය. අධ්‍යාපන පෞද්ගලීකරණයට විරුද්ධ බව ප‍්‍රකාශ කර සක්විති පොරොන්දුවක් ලබාදුන් සක්විති රාජපක්ෂ මේ වනවිට ජනතාවට වංචාකර අධ්‍යාපන පෞද්ගලීකරණයට උරදෙමින් සිටියි. ඊට විරුද්ධ උද්ඝෝෂණය කළ සිසුන්ට පොලිස් මැරයින් දම්මවා පහර දෙති. එය මේ වන විට අපගේ සොහොයුරකදු ඝාතනය කිරීමටද සමත්ව ඇත. රැවටීම පැවැත්ම කරගත් ආණ්ඩුව හා එහි පොලිස්පති මෙම ඝාතන සිසුන් පිට පැටවීමට ගත් උත්සාහය අවසානයේදී අසාර්ථක වූ නිසාවෙන් කතාව යටගැසීය.

     ඇත්තටම අප සක්විතිගෙන් මිඳුණාද? දැන් මගේ ප‍්‍රශ්නය වෙත නැඹුරු වෙමු. සත්‍යවශයෙන්ම විවිධ මට්ටම් වල සක්විතිලා ජීවත්වන (මාද ඇතුළුව) සමාජයක සාපේක්ෂව අධිනිශ්චය වූ එක චරිතයක් හෝ දෙකක් පොලීසියට කොටු වූ පමණින් අපට සක්විතිගෙන් මිඳුණායැයි සිතා ආතල් එකක් ගන්න ලැබෙන්නේ නැත. සක්විතිකරණයට හසුවූ සමාජ ක‍්‍රමයක් හා ආණ්ඩුවක් තිබෙන අප වැනි රටක නොයෙක් වර්ගවල නොයෙක් ස්වරූපයේ සක්විතිලා නිර්මාණය වීම නිසිසේත් වැලැක්විය නොහැකිය. සත්‍යවශයෙන්ම දැන් අප සියල්ල සමාජයේ විවිධ වර්ගයේ වූ සක්විතිලාගේ ගොදුරුබවට පත්වනවා මිස අන් කිසිවක් කරකියාගත නොහැකි තත්වයට පත්ව ඇත. බල්ල්ලන් මරා හෝ සල්ලි හොයන්න බල කරනා සමාජයක ශාන්තුවරුන් ඉතුරු වීම කිසිසේත් සිදුවිය නොහැක්කකි. කිසිවකුටත් මේ ක‍්‍රමය තුල ඉන් මිදී සිටිය නොහැක. එය එසේ වුවත්, නොයෙක් නොයෙක් සිහින වල පැටලී අනාගතයේ අප පත්විය යුත්තේ කුමන ආකාරයේ සක්විති කෙනෙක් ද යන්න සිත සිතා සිටීම නතරකර ඒ වෙනුවට අපි මිනිස්සුන්ට ජීවත්වීමට හැකි සමාජයක් ගොඩ නැගීමට අප හට හැකිපමනින්/ හැකි උපරිමයෙන් දායකවිය යුතුය. එමෙන්ම එය අද සමාජයේ සිටින සැබවින්ම මිනිසුන්ට/ මිනිසත්කමට ආදරය කරන, අප හමුවේ ගොඩගැසීඇති අභියෝග ගැටලූවලට පිලිතුරු සොයමින් වෙහෙසෙන ඔබ අප සියලූදෙනාම මත පැවරෙන වගකීමකි.

සංස්කාරක
තෙවන ඇස

0 comments :

Post a Comment