Thursday, June 19, 2014

මතකය හදන - මකන හැටි සොයාගනී

මතකය මකා දැමීම සහ නැවත එය ප‍්‍රතිස්ථාපනය කිරීම සාර්ථක ලෙස අත්හදා බැලීමට ඇමරිකානු ස්නායු විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ.

සැන් දියේගෝහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් ජාන සැකසූ මීයන් භාවිතා කිරීමෙන් මෙය සිදුකර තිබේ.

මොළයේ නියුරෝන අතර සබඳතා ශක්තිමත් කිරීම හෝ දුර්වල කිරීම මගින් මතකය පාලනය කළ හැකි බව ඔප්පු කළ පළමු අවස්ථාව මෙය බව පැවසේ.


මහාචාර්ය රොබර්ටෝ මැලිනෝ සහ කණ්ඩායම විසින් මේ සඳහා දෘශ්‍ය ජාන ඉංජිනේරු තාක්ෂණය භාවිතා කර ඇති අතර පළමුව ආලෝකයට සංවේදී ලෙස ජාන වෙනස් කළ මීයන්ට දෘශ්‍ය ලේසර් කිරණ මගින් උත්තේජනයක් ලබාදී ඇත.

ඊට සමගාමී ලෙස උන්ගේ කකුලට විදුලි සැර වද්දවා ඇති අතර ඉන්පසු සොයාගෙන ඇත්තේ උන් පෙරකී දෘශ්‍ය උත්තේජය ලබාදීමේදී බියට පත්වන බවයි.

මීයන්ගේ මොළයට දෘශ්‍ය උත්තේජය ලබාදීම සමග රසායනික වෙනස්කම් සිදුවන බවද නිරීක්ෂණය කර තිබේ.

ඉන්පසුව සංඛ්‍යාතය අඩු ස්ඵන්දයක් ලබාදීම මගින් මතකය මතකය මකා දැමූ මීයන් දෘශ්‍ය උත්තේජය හමුවේ බියට පත්වී නොමැත.

නැවත වරක් අධි සංඛ්‍යාත ස්ඵන්දයකින් යළි එම බිය ස්ථාපනය කිරීමට විද්‍යාඥයින් පිරිස සමත්වී තිබේ.

මෙම තාක්ෂණය මිනිස් මොළය සම්බන්ධයෙන් භාවිතා කිරීම පිළිබඳ පැවසීමට කල් වැඩි බව පවසා ඇති මහාචාර්ය මැලිනොව් සඳහන් කර ඇත්තේ මීයන්ට සිදුවූවා මෙන් මතකය මැකී යන ඇල්ෂයිමර් රෝගීන්ට ප‍්‍රතිකාරයක් ලෙස මෙය ප‍්‍රයෝජනවත් විය හැකි බවයි.

0 comments :

Post a Comment