Friday, November 16, 2012

ශිෂ්‍ය ව්‍යාපාරයට මඩ ගැසීමේ ආණ්ඩුවේ කොන්ත‍්‍රාත්තුවේ අලුත් මුහුන...

මේ දින වල ජනතා විමුක්ති පෙරමුණ මඟින් අමුතුම රාජකාරියක් ආරම්භ කර ඇත. පසුගිය කාලයේ ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස ගනු ලැබු තීරණ මෙයට හේතු වී ඇත.

මෙහි ආසන්නතම සිදුවීම වූයේ පසුගිය ආචාර්ය අරගලය තුළ ඇති වූ තත්ත්වයයි. මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විසින් සූදානම් කළ සිය අරගලය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා හයිඞ් පිටියේ පැවැත්වූ රැලිය තීරණාත්මක සංධිස්ථානයක් විය. මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ශිෂ්‍ය ව්‍යාපාරයට ආරාධනය ලැබුනේ ආචාර්ය සංගමය විසිනි නමුත් මෙම රැලියේදී ශිශ්‍ය ව්‍යාපාරයට වේදිකාවේ අසුනක් පවා නොදෙන්නට කුමන්ත‍්‍රණය කරන ලද්දේ ජවිපෙ විසින් බව එම රැලියට ගිය සිසුන් කාටත් වැටහුනේ එහි වේදිකාවේ අසුන්ගෙන සිටි කිසිසේත්ම ආචාර්යවරුන්ගේ අරගලයට වචනයකින් හෝ සහයෝගයක් නොදුන් අය පවා එහි රැඳී සිටීමෙනි.

උදාහරණයක් ලෙස ඒ සඳහා සහභාගී වූ රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු දැක්විය හැක. මොහු අචාර්ය අරගලයට සම්බන්ධ එකදු උද්ඝෝෂණයකවත් සිටියාදැයි අප අසමු. මේ හරහා ජවිපෙ බලාපොරොත්තුවූයේ ආචාර්ය සංගමය හා ශිෂ්‍ය ව්‍යාපාරය විරසක කරවීමය. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය හෝ ආචාර්ය සංගමය හෝ එම ගැටයට හසුවුයේ නැත. මේ තුළ ජවිපෙ අරමුණ වූයේ සටනට නිර්ධන පංති පක්ෂයක් ලෙස සහය දීම නොව සටනේ අයිතිය ලබා ගැනීම පිළිබඳ ප‍්‍රශ්ණයකි. නැතිනම් තම දේශපාලන පක්ෂයට මේ හරහා ලකුණු දමා ගැනීමේ උත්සහායකි.

මීලඟට ආචාර්යවරුන් සහ සිසුන් තම අරගලය පිළිබඳ ඇති කරගත් බරපතල න්‍යායික සංවාදයකින් අනතුරුව වෙන වෙනම පා ගමන් දෙකක් කිරීමට සාමූහික තීරණයකට එලඹෙන ලදී. මෙහිදීද ජවිපෙ සිය සාමාජිකයන් හා විශ්වවිද්‍යාල සිසුන් අතර ප‍්‍රචාරය කළ මතය වූයේ ශිෂ්‍ය ව්‍යාපාරය සටන පාවා දුන්නා කියාය. තම දහස් ගනනක් සිසුන් අධ්‍යාපනයේ අයිතිය ඉල්ලා කෑ ගැසූ අධ්‍යාපන ධවල පත‍්‍රිකාව කරළිගතවූ මහා භීෂණ සමයක් රට තුළ වැපිරූ එජාපය හා ලංකාවේ ධනපති දේශපාලන පක්ෂ සමඟ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාගමන් යන්නට ජවිපෙට විලි ලැජ්ජාවක් නැති වුනාට. වගකිවයුතු ශිෂ්‍ය ව්‍යාපාරයකට එසේ කළ නොහැකි බව මොලේ කළඳක් ඇති ඕනෑම අයෙකුට වැටහෙන කරුණකි. මෙහිදීද ජවිපෙට උවමනා වූයේ එජාපය නොවේ මහින්ද ආවත් කමක් නෑ සටනේ පෙරමුණේ ජවිපෙ ඉන්නවානනම් ඇති යන අදහස පමණි.

කෙසේ නමුත් ආචාර්යවරුන් සහ සිසුන් සාර්තකව සිය පා ගමන් දෙක එකවර එකම රැලියකින් අවසන් කරමින් සටනේ ඒකාබද්ධතාවද තම තමන්ගේ අනන්‍යතාවන්ද රැක ගනිමින් සිය සටනේ නිරත විය. නමුත් ජවිපෙට අවශ්‍ය වූ දේ සිදු වූ යේ නැත. ඒ නිසා ඔවුන් තවත් අවස්තාවක් සොයමින් සිටියේය ඔවුන් දැන් අල්ලා ගෙන ඇත්තේ පා ගමනේදී ශිෂ්‍ය ව්‍යාපාරයෙන් උදුරාගත් සහෝදරයන් දෙදෙනාගේ නඩුවට ශිෂ්‍ය ව්‍යාපාරය මැදිහත් නොවුවාය එය පාවා දුන්නාය යන අදහසයි. ඒ වෙනුවෙන් දිගින් දිගටම ජවිපෙ සාමාජිකයන් විශ්වවිද්‍යාල සිසුන්ගේ නිවෙස් වලට යමින් ද සිය මාධ්‍ය යොදා ගනිමින් ද අදාල මඩ ප‍්‍රචාරය දියත් කරමින් තිබේ.

ඔවුන් සමහර නිවෙස් වලට ගොස් පවසා තිබුනේ එම සිසුන් අවසන් කාලයේදී තමන් සමග දේශපාලන එකඟතාවක සිටියාය වන මුසාවය. මීට මාස ගනනාවකට පෙර කඩුවෙලදී පෝස්ටර් ගැසීමට ගිය මිය ගිය ජානක සිසුවාට ජවිපෙන් පහර දී තිබුණේය. ඒ සමග මෙම මිය ගිය සහෝදරයන්ගේ මල ගෙවල් වලට පවා කිසිදු සහයෝගයක් නොදී මූනිච්චාවට පමණක් ඒවාට සහභාගී වී, ශිෂ්‍ය ව්‍යාපාරය මෙම සිදුවීම මඟහැරියා යයි පවසන්නේ ජවිපේ බංකොලොත් බව නිසා මිස අන් කිසිවක් නිසා නොවන බව පැහැදිළිය. කොළඹ දිස්ත‍්‍රීක්කයේ ජවිපේ ශිෂ්‍ය සංගමයේ නායකයෙක් මෙම මරණය ගැන කියා තිබුනේ මෙය රංගනයක් බවයි. එසේ පවසන ඔහුට අපට පැවසීමට ඇත්තේ කටුවන දී ජවිපෙට එල්ලකල මැර ප‍්‍රහාරයත් රංගනයක්ද යන්නය.

මීට අමතරව තම දේශපාලනයට අනුගත නොවන සිසු නායකයන් පිළිබඳ විශ්වවිද්‍යාල පරිපාලනයට කේලම් කීමේ ඉතා පහත් උත්සහයකද දැන් ඔවුන් යෙදී සිටී. කලින් සඳහන් කළ මිය ගිය සිසුන් පිළිබඳ කෙරෙන සියලූ පරීක්ෂණ සඳහා සිය සම්පූර්ණ වෙර ශිෂ්‍ය ව්‍යාපාරය යොදමින් ඇත. නමුත් දැනට පැවැත්වූ නඩු වාර කීයකදී ජවිපෙ සිය මාධ්‍ය හරහා මෙම නඩුව ගැන විස්තර දැම්මාද යන්න මෙහිදී සොයා බැලිය යුතුය. ඒ එක දිනකවත් අඩුම තරමින් එවැනි නඩුවක්පැවතුනාද යන ප‍්‍රවෘත්තියවත් සිය මාධ්‍ය වෙතින් ලබා දීමට තරම් කුහක වන ජවිපෙ මේ පිළිබඳ ශිෂ්‍ය ව්‍යාපාරයට මඩ ගැසීම පමණක් කිරීමෙන් හෙළි වන්නේ ඔවුන් බාරගෙන තිබෙන්නේ ආණ්ඩුව මෙතෙක් කලක් කරමින් සිටි කොන්තරාත්තුව බවය. මෙම කොන්තරාත්තුවට ජවිපෙට හිතවත් වෙනත් ධනපති මාධ්‍ය ද හවුල් වෙමින් සිටී.

ශිෂ්‍ය ව්‍යාපාරය මේ දෙපිරිසටම අද බරපතල හිසරදයක් වී ඇත්තේ ඔවුන්ට ආණ්ඩුවක් අටවා ගැනීමේ තදියමට ශිෂ්‍ය ව්‍යාපාරය කඬේ යැවීමට නොහැකි වීමය. ජවිපේ පසුගිය කාලය පුරාම කළේ තමන්ගෙන් ඉවත් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමාජිකයන්ට හිරිහැර කිරීමය. නමුත් ඔවුන්ට මෙම කාලකණ්ණි පහරදීම් විශ්වවිද්‍යාල තුළ කිරීමට අවස්තාව ලැබුනේ නැත. එය ඔවුන්ට බරපතල හීනමානයක් ඇති කර ඇත. ඔවුන්ට පමණක් නොව ඔවුන් හා සහයෝගයෙන් වැඩ කරන ඔවුන් නොදැනුවත්වම කඬේ යන ධනපති බංකොලොත් දේශපාලූවන්ටද මෙය ඉවසා සිටීමට බැරි තරම් හිසරදයකි.

පසුගියදා කරාපිටිය වෛද්‍ය පීඨයේ ඇතිවූ සිසු ගැටුමක් මෙම ඊනියා මාධ්‍ය හරහා පෙරටුගාමීන් හා ජවිපෙ අතර ගැටුමක් ලෙස පළ කළ පට්ටපල් බොරු මාධ්‍ය ප‍්‍රකාශ හරහාද මෙම ගැටුමෙන් අසරණ වී සිටින සිසුන්ගැන තමන් මාධ්‍ය සාකච්ඡාවක් ගන්නද යැයි අසන එම සිසුන්ගේ අසරණ කමින් තම දේශපාලන බංකොලොත්භාවය වසා ගැනීමට වෙර දරන ජවිපේ මැදිහත් වීමෙන්ද මෙම ධනපති දේශපාලනයේ හා ජවිපේ දේශපාලනයේ ඇති උපයෝගිතාවාදී පහත් දේශපාලන භාවිතාව මනාව කැපී පෙනේ.

අප ජවිපෙන් ඉල්ලා සිටින්නේ උඩින් බොරුවට ශිෂ්‍ය ව්‍යාපාරය ගැන කිඹුල් කඳුලූ හෙළමින් යටින් සිය පහත් කුමන්ත‍්‍රණ කි‍්‍රියාත්මක කරන දේශපාලනය දැන්වත් නවතන ලෙසයි. ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව මඩ ගැසීමේ ආණ්ඩුවේ කොන්තරාත්තුව ඉටු කරන ඔබට කීමට ඇත්තේ ශිෂ්‍ය ව්‍යාපාරය කෙදිනකවත් කඬේ හැරිය නොහැකි බවයි. ශිෂ්‍ය ව්‍යාපාරය කඬේ යවන්න ජවිපෙට, පෙරටුගාමීන්ට, ආණ්ඩුවට, එජාපයට හො කිසිවෙකුට හෝ නොහැකි බව අප කියා සිටිමු.

0 comments :

Post a Comment