Wednesday, September 5, 2012

අපට කිසිවක් අමතකව නැත! [නූතන උසස් අධ්‍යාපනයේ බහින කලාව]

අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුදයක් ඇත. ඒ බහුතරයක් වූ මහජනතාවට පමණි. මහජන ඡන්දයෙන් තේරී පත්වූ හෝ නිල බලය මත පත්වූ නිලධාරීන්ට එවැන්නක් නොමැති. මෙසේ එකම රටක් තුල එකම ගැටළුවක් දෙයාකාරයකට සංවේදීතාවක් දැක්වීම විමතියකට කරුණක් වුවත් ශ්‍රී ලංකාවේ බොහොමයක් ප්‍රශ්න එවැනි ලක්ෂණ විද්‍යමාන කරන බැවින් එය පුදුමයට කරුණක් නොව හුදෙක් විස්සෝපවීමට එක් අංශුමාත්‍රික හේතුවක් පමණක් බව සඳහන් කල යුතුය. සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම රජයකට හෝ පාලන තන්ත්‍රයකට ගැටළු පවතී. එම ගැටළු බොහොමයක් තත්කාලීන සිදුවීම් අරභයා ගොඩනැගෙන ඒවාය. නමුත් ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය අභිමුව ඇති ගැටළු වලින් අති බහුතරයක් පාලන තන්ත්‍රය විසින්ම නිර්මාණය කරගත් ඒවාය. සරලව කියතොත් "විහින් දා ගත් ලෙඩ" ගණයට වැටෙන ඒවාය. ඒ අතර අධ්‍යාපන ගැටළුවත් ප්‍රමුඛ ස්ථානයක් ගනී.


ලෝකයේ ඕනෑම රටක අනාගතය පිළිබඳ උදාන වාක්‍ය කීමේ දී පොදු ප්‍රකාශය නම් 'අධ්‍යාප‍නයෙන් තොර හෙටක් නැත' යන්න විය යුතුය. අධ්‍යාපනය මගින් නූතන පරපුර මෙන්ම අනාගත පරපුරද දැනුම, කුසලතා සහ ආකල්ප වලින් සන්නද්ධ කරන බව නොරහසකි. එහෙව් අධ්‍යාපනය ගරා වැටී නෂ්ටාවශේෂ බවට පත්වීමේ පෙරමග ලකුණු පෙන්වන රාජ්‍යයක් යම්දෙසක වේද එහි අනාගතය පිළිබඳ තතු දන්නෝ කියන්නේ ඒ රට යන්නේ අභාග්‍යසම්පන්න ගමනකට බවයි. වර්තමානයේ ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ හිනිපෙත්තට යනවා වෙනුවට වලපල්ලට යන ගමනේ බොහෝ දුරක් පැමිණ ඇත. මෙම ගමනේ පෙරමග ලකුණු පෙන්වීම ආරම්භවන්නේ මෙම රජය දෙවනි පියවරට පත්වීමත් සමගමය.

මීට දශක ගණනාවකට පෙරද ලංකා අධ්‍යාපනයේ මළගම වෙනුවෙන් පෙරමග සලකුණු පෙනෙන විට සමස්ත ජනතාව සහ ශිෂ්‍යයා සහ දේශ හිතෛශී සංවිධාන පොදු සමාජ ව්‍යාපාරයක් ලෙස එක්ව එයට එරෙහිව නැගී සිටිමින් නැවතත් අධ්‍යාපනය නිසි තැන තබන්නට කටයුතු සිදුකලහ. විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය රැකගැනීමෙහි ලා සරසවි ශිෂ්‍ය ප්‍රජාව, මහජනතාව සහ සමාජ ව්‍යාපාර යන ත්‍රිත්වය සුවිසල් කාර්යභාරයක් සිදුකරමින් රැකිය යුතු තැන්වල එය රැකගත්හ. නමුත් මෙවර අධ්‍යාපනය මළගමට යන්නේ හොරපාරකින් ය. ප්‍රධාන මාර්ගයේ පෙරකී අධ්‍යාපනයේ රැකුම්දූත පාර්ශව ත්‍රිත්වය අසරණ කර ඇත. ඒ කෙසේද යන්න මෙසේ පැවසිය හැක.

සරසවි ශිෂ්‍ය ප්‍රජාව මර්ධනයට දශක ගණනාවක සිටම රජයන් කටයුතු කරන්නේ නොකියයුතු දෑ කියා ජනතාව කුලප්පු කරවන පාර්ශවයක් යන හංවඩු ගැසීමෙනි. නමුත් මෙවර ශිෂ්‍ය මර්ධනය ඉදිරියට ශිෂ්‍යන් ‘ත්‍රස්තවාදීන්ය‘, ශිෂ්‍යන් ‘දේශද්‍රෝහීන්ය‘ යන ලේබල් අලවා පෙරට ගෙන එන්නේ අන්‍ය ආකාරයකින් සරසවි සිසුවා හිරකිරීමට ය. සරසවි සිසුවාගේ අතපය බැඳදැමීමට අධ්‍යාපන පුද්ගලීකරණය, අනවශ්‍ය රැකියා තරගය, රැකියා වෙළඳපොල තුල මාෆියා නිර්මාණය සහ සමාජ ප්‍රශ්න මත සරසවි සිසුවා නිශ්ක්‍රීය කිරීමට උත්සහ ගන්නා බව පැහැදිලි කරුණකි. ඒ ආකාරයෙන් එක් අන්තයක සරසවි සිසුන් යම්තාක් දුරට අඩපණ කර ඇත.

අනෙක් අන්තයේ මහජනතාව අසරණ කර ඇත්තේ මාධ්‍ය සංදර්ශන සහ මැතිවරණ මගින්ය. මාධ්‍ය සංදර්ශන මගින් ජනතාවට ප්‍රශ්න අමතක කිරීමටත් සැබෑ ප්‍රශ්න යටගසා නැති සැප මතුකිරීමටත් කටයුතු කරමින් පවතී. මහජනයා නිශ්ක්‍රීයව නිහඬව ගමන්කරයි. ඔවුන් සමාන කළ හැක්කේ ක්ෂේම භූමියක් ප්‍රාර්ථනා කරමින් සෙක්කුව වටා ඇවිදින තඩි ගොන් නාම්බන් රැළක් ලෙසය. අනෙක් අන්තයේ සමාජ ව්‍යාපාර අඩපණ කර ඇත්තේ ඒවා තුල දෙදරීම් සහ මත ගැටුම් නිර්මාණය කිරීමට චරපුරුෂයන් සහ මුදල් මත යැපෙන බඩගෝස්තරවාදීන් ඒවාට රිංගවීම මගින්ය. මෙසේ අධ්‍යාපනය සුරැකීමේ ගාමක බලවේග ප්‍රධාන මාර්ගය තුල අසරණ කර පාලන තන්ත්‍රය හොර පාරෙන් රාජ්‍ය අධ්‍යාපනය වලපල්ලට ගෙනයාම සිදුකරයි.

ප්‍රශ්න පත්‍රවල ගැටළු, ඉසෙඩ් ලකුණු ගැටළු, ගුරු සංගම් වර්ජන, අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදුව, සරසවි සිසුන් මර්ධනය වැනි ව්‍යාපෘති ගණනාවක් තුලින් පාලන තන්ත්‍රයේ ලොක්කන්ට වැයත් නැති අයත් නැති රාජ්‍ය අධ්‍යාපනය වෙනුවට වැය නැති යහමින් අය ඇති පුද්ගලික අධ්‍යාපනය විකල්පයක් ලෙස ඉදිරිපත් කිරීමට සැරසීම විශාල ගැටළුවකි. දැන් රටට පෙන්වීමට උත්සහ කරන්නේ රාජ්‍ය අධ්‍යාපනය පුස්සක් සහ වටිනාකමක් නැති දෙයක් ලෙස සහ පුද්ගලික අධ්‍යාපනය ස්වර්ග රාජ්‍යයක් ලෙසය. මෙහි සත්‍ය තත්වය සිහිනුවණින් මෙරට ජනතාව වටහා නොගනීනම් අනාගතය මෙන්ම වර්තමානයද නන්නත්තාර වීම වලක්වාගත නොහැකිය. ඒ පවට පොදුවේ කරගැසීමට සිදුවනු ඇත.

මේ අධ්‍යාපන පාලකයින්ගේ නාස්ලණු දමා තද නොකලහොත් නුදුරු අනාගතයේදී අධ්‍යාපනය නැමති මහා පුරුෂයාට මේ බඩගෝස්තරවාදීන් ප්‍රසිද්ධියේ වෙඩිතබා මරා දමනු ඇත. ඉන්පසුව මාධ්‍ය ඉදිරියේ හුරුබුහුටි සහ ඉතා අවිහිංසක ලෙස "අපට කිසිවක් මතක නැත!" යනුවෙන් කියනු නොඅනුමානය. 

Source - boondi.lk

0 comments :

Post a Comment