Saturday, September 14, 2013

වෙඩි නොතබන සමාජයක හමුදාව...

ආරක්ෂක හමුදාව, පොලීසිය වැනි ආයතන පවතින්නේ කාගේ ආරක්ෂාව වෙනුවෙන්ද? එම ආයතන ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් සැදීපැහැදී සිටින්නේද? නැත්නම් පාලකයින් සහ පාලක පංතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් නිර්මානය කර තිබේද?

ප‍්‍රාථමික සාමූහික සමාජයෙන් පසුව බිහි වූ වහල් සමාජයේ සිට දැන් තිබෙන ධනේෂ්වර සමාජය දක්වා සියලූම සමාජ පංති සමාජයන්ය.මෙම පංති වශයෙන් බෙදුනු සමාජය තුල පංතීන් අතර ගැටුමක් පවතින බැවින් පාලක පංතිය ආරක්ෂාකිරීමේ උපකරණය ලෙස ආරක්ෂක හමුදා බිහිවිය. එසේ නම් පංති සමාජය අහෝසිකරන කොමියුනිස්ට් ක‍්‍රමයක් බිහිවන තෙක් පාලක පංතියේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවන් පවතින අතර එය පංති සමාජයක් වන සමාජවාදී ක‍්‍රමයටද පොදුය.

එම නිසා එක් එක් රාජ්‍යයන් අතර සම්පත් කොල්ලකෑම සඳහා හෝ වෙනත් රාජ්‍යයන් යටත් කර ගැනීම වැනි හේතූන් මත ඇතිවන යුද්ධවලදී ප‍්‍රගතිශීලී හෝ දේශපේ‍්‍රමී සළු පැළඳියද පාලක පංතියට සහ ක‍්‍රමයට විරුද්ධව නැගීඑන ඕනෑම බලවේගයක් මර්දනය කර බලය හිමි පංතියත් පවතින ක‍්‍රමයත් ආරක්ෂා කිරීම හමුදාවන්ගේ ඓතිහාසික කාර්යභාරයවේ. එය වහල්, වැඩවසම් සහ ධනේෂ්වර සමාජ ක‍්‍රමයන්ට සේම සමාජවාදී සමාජ ක‍්‍රමයටද පොදු දෙයකි. 

එම නිසාම හමුදාවන් විසින් කරනු ලබන ජන ඝාතනයන්ද අවධානයට ලක්වන්නේ එයට පසුබිම් වු සිද්ධියට අදාලවය. ලෝකය පුරා විවිධ රටවල සමූහ මිනිස් ඝාතනයන් පිලිබඳව පරීක්ෂණ පවත්වා හමුදා නායකයින්ට දඬුවම් ලබා දී ඇත. නමුත් ගැටුම් වලට හේතුව පංති අරගල හෝ අධිරාජ්‍ය විරෝධී අරගලයක් නම් කෙතරම් අමානුෂික ජන ඝාතනයක් සිදුකලත් ඒ පිලිබඳව කිසිදු මානව හිමිකම් සංවිධානයක් පරීක්ෂණ සිදු නොකරයි.

1988/90 වකවානුව තුල ශ‍්‍රී ලංකාව තුල කෙතරම් සමූහ මිනිස් ඝාතන සිදු කලත්, ලෝක මානව හිමිකම් සංවිධාන ඒ පිලිබඳ පරීක්ෂණ නොඉල්ලන්නේත්, බහුජාතික සමාගම් වලට එරෙහිව කරන අරගල වලදී මරාදමන ලද ලෝකය පුරා කම්කරුවන් වෙනුවෙන් ඔවුන් කතා නොකරන්නේත් ඒවා හමුදාවන් ගේ නිල රාජකාරිය බවට පත්ව ඇති නිසාය.

එසේනම් සමාජවාදය යටතේ ජනතාවට ආරක්ෂාව ලැබෙන්නේ කෙලෙසද? සමාජවාදය තුල බලය හිමි පංතිය නිර්ධන පංතියයි. එවිට එම රාජ්‍යයේ ආරක්ෂක හමුදාව නිර්මානය වන්නේ නිර්ධන පංතියේ ජනතාවගෙන්ම වන අතර එහි අරමුන ධනපති පංතියෙන් නිර්ධන පංතියත්, ධනපති අධිරාජ්‍යවාදී රාජ්‍යයන්ගෙන් නිර්ධනපංති රාජ්‍යයත් ආරක්ෂා කිරීමයි. සමාජවාදී රාජ්‍යය තුල පොදු ජනතාව බලය හිමි පංතියයි. එවිට ආරක්ෂක හමුදාවන්ගේ කාර්ය භාරය බවට පොදු ජනතාව ආරක්ෂා කිරීම පත්වේ. ධනපති රාජ්‍යයන් තුල සුළුතර ධනපති පාලක පංතියේ උවමනාව වෙනුවෙන් බහුතර පොදු ජනතාවට එරෙහිව ක‍්‍රියාත්මක වන ආරක්ෂක හමුදාව නිර්ධන පංති රජය තුල ක‍්‍රියාත්මක වන්නේ බහුතර නිර්ධන පංතියේ උවමනාවන්ට අනුව පොදු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සුළුතරයක් වන ධනපති පංතියට එරෙහිවය.

ගිනිසිළුව - 2013 , සැප්තැම්බර්

0 comments :

Post a Comment