Tuesday, September 10, 2013

ආගමික පොලීසියක් එපා...!

ප්‍රධාන ආගම්වල මූලික ඉගැන්වීම් සහ සම්ප්‍රදායන් අවමානයට ලක්කිරීමේ ක්‍රියා වලකාලීමේ අරමුණින් පනතක් සම්මත කරගැනීමට ආණ්ඩුව සැරසෙයි. ඉතාම හදිස්සියේ සම්මත කරගැනීමට යන මෙම පනතේ අරමුණූ ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය වන යාන්ත්‍රණයක් "බෞද්ධ ප්‍රකාශන පාලනය කිරීමේ මණ්ඩලය" නමින් ඇතිකිරීමට ද යෝජිතය. 

විසඳාලීමට දහසකුත් එකක් අත්‍යවශ්‍ය හා දැවෙන ප්‍රශ්න පවත්නා රටක කඩිමුඩියේම මෙවන් පනතක් සම්මත කරගැනීමේ අවශ්‍යතාවය කුමක්ද?

මෑතකදී මතුවී ඇති, නැතහොත් මතුකරවාගෙන ඇති භයානක ප්‍රවණතාවය වී ඇත්තේ බුද්ධාගමේ නාමයෙන් පෙනීසිටින අන්තවාදී ආගමික කණ්ඩායම් විසින් අනෙකුත් සුළුතර ආගම්වලට විශේෂයෙන්ම මුස්ලිම් හා කතෝලික ආගම් ඉලක්ක කරගෙන මුදාහරිනු ලබන ප්‍රචණ්ඩත්වයයි. වාර්ගික යුද්ධයක් හේතුවෙන් අතිමහත් විනාශයකට මුහුණදුන් රටක ආණ්ඩුවක් විසින් කල යුතුව ඇති හදිසි කාර්යය නම් පෙරකී අන්දමේ අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය නවතා දමා අන්තර් ආගමික හා ජාතික සංහිඳියාව ඇති කිරීමේ ක්‍රියාවලියකට මූලික පදනම සැපයීමයි. ඒ වෙනුවට මෙම යෝජිත පණතින් ප්‍රහාරකයාව වින්දිතයා බවට පත්කොට ප්‍රහාරකයාව ආවරණය කිරීමක්ද සිදුවන බවක් බාහිර ලෝකයට පෙනීයයි. 

මෙම පණත ක්‍රියත්මක කළහොත් එයින් දෙයාකාරයක අහිතකර ප්‍රතිඵල රටට අත්විය හැකිබව ලංකා හේතුවාදී සංගමය අවධාරණය කරයි. පළමුවැන්න නම් මෙයින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වීමයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 10 ඡේදයෙන් ව්‍යවස්ථාපිත කොට ඇති සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස හා ආගමික නිදහසට සහ අංක 14 ඡේදයේ 'අ' කාණ්ඩයේ සහතික කොට ඇති, භාෂණයේ ප්‍රකාශනයේ සහ අදහස් පළකිරීමේ නිදහසට ද ඒකාන්තයෙන්ම බාධා පමුණුවනු ඇත. ඊට‍ අමතරව, ලංකාව ද අත්සන් තබා ඇති සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ අංක 19 දරණ වගන්තියේ සඳහන් මූලික අයිතිවාසිකම් ද උල්ලංඝනය වීමක් සිදුවේ. 

දෙවනුව මෙම පණත, ප්‍රධාන ආගම්වල ඉගැන්වීම් සහ සම්ප්‍රදායෙන් ආරක්ෂා කිරීම යනුවෙන් අර්ථ ගන්වා ඇති නමුදු ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගෙන ඇත්තේ බුද්ධාගමය.බෞද්ධ ප්‍රකාශන පාලනය කිරීමේ මණ්ඩලය නමින්, යාන්ත්‍රණයක් පිහිටුවීමට යෝජනා කිරීමේන් මේ බව පැහැදිලිවේ. මෙහිදී අප විසින් නගන මූලිකම ප්‍රශ්නය වනුයේ බෞද්ධාගමේ ප්‍රධාන ඉගැන්වීම් සහ සම්ප්‍රදායන් පිළිබඳව පොදුවේ පිළිගත් හා ගවේශණාත්මකව හඳුනාගත් දර්ශනයක් හෝ නිශ්චිත නිර්වචනයක් මෙම මණ්ඩලය සතුව පවතීද යන්නය. මේ පිළිබඳව පැහැදිලිවම දක්නට ලැබෙනුයේ ඉතා ව්‍යාකූල තත්වයකි. මූලික බුදුසමයේ ඉතිහාසය හැදෑරීමේදී දක්නට ලැබෙන සත්‍යය නම් එම දර්ශනයේ හරය මුළුමනින්ම වෙනස් වී හුදෙක් ආමිශය මුල්කරගත් පුද පුජාවලට ලඝු වූ ඇදහිලිවලින් සමන්විත ආක්‍රමණකාරී ස්වරූපයක් ප්‍රදර්ශනය වන "සිංහල බුද්ධාගමක්" ඉතිරිව පවතින බවයි. එම බුද්ධාගම තුළ "බෞද්ධ ප්‍රකාශන පාලනය කිරීමේ මණ්ඩලයේ" අභිමතයම "බුද්ධාගමේ ඉගැන්වීම්" බවට නාමකරණය වනු ඇත. 'සිංහල බුද්ධාගම'ට එරෙහිව පළ කෙරෙන ඕනෑම ප්‍රකාශනයක්, දේශනයක්, කලාකෘතියක් පමණක් නොව බණ දේශනයක් වුවද අපහාස ලේබලය යටතේ වාරණයට පමණක් නොව දණ්ඩනයට ද ලක්විය හැකිය. අන්‍යාගමිකයකුගෙන් පමණක් නොව බෞද්ධාගමිකයෙකුගෙන් පවා බිහිවන එවැනි නිර්මාණයක් යථෝක්ත ඉරණමට භාජනය වනු ඇත. මේ හැර වර්තමාන ලෝකයේ බෞද්ධාගමික වශයෙන් මූලික ප්‍රභේද දෙකක් මහායාන සහ ථේරවාද වශයෙන් ක්‍රියාත්මක වේ. එකිනෙකට බොහෝ සෙයින් පරස්පර මෙම ප්‍රභේද දෙකෙන් අපහාසයට සහ අවමානයට ලක් නොවිය යුතු ප්‍රභේදය ලෙස ආණ්ඩුව සහ යෝජිත පාලක මණ්ඩලය විසින් තෝරාගෙන ඇත්තේ කුමක්ද? 

එම නිසා පවත්නා තත්වයන් තව දුරටත් අවුල් වීමට ඉවහල් විය හැකි මෙම පණත සම්මත කිරීමෙන් වලකින ලෙසත්, අන්තර්ආගමික ගැටුම් වලක්වාලන සහ සහජීවනය ඇති කිරීමට ඉවහල්වන පියවර ගන්නා ලෙසත් අදාල පාර්ශවයන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. 

මෙයට,
-සුරපාල රණතුංග
සභාපති,
ලංකා හේතුවාදී සංගමය.

0 comments :

Post a Comment