Tuesday, September 24, 2013

සටන් බිම කා වෙනුවෙන්ද?....

“මුණ කට හෝදගෙන බත් ඩිංගක් කාපං. මට සැනසිල්ලේ ඉන්න දීපං පුතේ. මට ලෝකේ හදන්න ඕනේ නෑ. ලෝකේ හදන්න ගිහින් උබල නැති නාස්ති වෙන්න ඕනෙත් නෑ. බලපන් තැන් තැන් වල මිනිස්සු මරනවා. හැම තැනම පෝස්ටර් ගහලා. මහා වින්නාහියක් වෙන්න හදන්නේ. රස්සාවක් හම්බවෙනකල් උඹට කන්න අදින්න දෙන්න මට පුළුවන්. ගෙදරට වෙලා හිටපන් මගේ පුතේ.”
-සංගිලි පාලම-
උපුල් ශාන්ත සන්නස්ගල

මේ මෙරට එක්තර කාල වකවානුවක් පිළිබඳ ලියවුනු කතන්දරයකින් උපුටා ගත කොටසකි. එදා මිනිසුන් මහ මඟ මරා දමන බව ජීවත් වූ බොහෝ දෙනා දැන සිටියහ. මරන්නේ කවුද/ මැරුවේ කවුද යන්නද බොහෝ දෙනෙකු අනුමාන කළහ. එය ඇතැම් විට වැරදි වුවද එදා කවුරුන් හෝ එළිපිට මීනි මැරූ බව නොරහසකි. අද ද මිනිසුන් මරා දැමේ, අතුරුදහන් වේ, තමන් මේ ගෙන යන්නේ කීවෙනි බිල්ලද කියා සුදු වෑන් කාරයාටවත් මතකයේ නැතිබව සැබෑවකි. වෙනසකට ඇත්තේ එදා මෙන් අද අම්මලාට තාත්තලට අතුරුදහන් පුතුගේ බෙල්ල අහිමි කඳ නොලැබීමය. මහා වින්නැහියක් ආරම්භ වී ඇති බව නොපෙනීමය. පෙනුනාද නොපෙනුනාසේ හිදීය යුතු න්‍යාය කියාදුන් තම දුව පුතා තමන්ට වන අසාධාරනයටවත් හඩක් නොනැගීම ගැන “අපේ දුව පුතා ඕවට යන්නේ නෑ” කියමින් සන්තෝස වීමය. 

නමුත් මාතලන් සහෝදරයාගේ ගෙදරට ජනක බණ්ඩාර අහිමි විය. ටොක්කා සහෝදරයාගේ ගෙදරට සිසිත ප්‍රියංකර අහිමි විය. හැබැයි අපි තවමත් අපේ අම්මගේ සිහිනේ ගැන ලැප්ටොප් එක දිහා බලාගෙනම හීන මවනවා. ඒ අස්සෙම තවත් එකෙක් අතුරුදහන් කියලා දන්නේ කොහේ හරි අලවපු පොස්ටරෙකින් නෙවෙයිද?

නිෂ්මි, බාලේ, ත්‍රීමා, වෙනුර, මාතලන්, ටොක්කා මේ හැම සහෝදරයෙක්ගේම ගෙදර මිනිස්සුන්ටත් තිබුණා තමන්ගේ දරුවා උපාධිය අරන් ගෙදර ඇවිත් ලොකු රස්සාවක් කරනවා දකින හීනයක්. හැබැයි ඒවා සුරංගනා ලෝක කියලා මේ සහෝදරවරු තේරුම් ගත්තා. තමන්ගේ අම්ම තාත්තගේ එක හීනයක් හැබෑ වෙනකොට තව දහස් ගානක් අම්මල තාත්තලා කොහේ හරි අඬනවා, දරා ගන්න බැරිව බෙල්ලේ වැල දා ගන්නවා, තමන්ගේ අතුරුදහන් පුතා ගැන කියා කියා පිස්සුවෙන් ඇවිදිනවා දැකලම නැති උනත් දැනෙනවත් ඇති. එදා සටන් බිමේ හිටපු තමන්ගේ පුතා දැකපු මේ සහෝදරවරුන්ගේ අම්මලත් මේ ලිපියේ ආරම්භක වදන් තමන්ගේ පුතාටත් කියන්න ඇති. එකෙන් සටන් බිම අතහැර යන්නට මේ සගයන් තීරනය කළා නම්??????
මව් සෙනෙහස නොහදුනන පාපතර පුතුන්ට ලැබුණු දඩුවම ද එතකොට මරණය????
තමන්ගේ අම්මාගේ තාත්තාගේ කඳුලුත් එක්කම දහස් ගණනක් දෙමාපියන්ගේ කඳුළු නොදකින හෙටක් ගැන හිතපු එකද වැරද්ද???
හරිම ආදරේ තිබුනේ ලෝකෙම අම්මලාගේ කඳුළු නවතන උත්සාහයේද? තමන්ගේ අම්මගේ කඳුළු විතරක් දකින්න අකමැත්තෙ වකුටු වෙච්ච තැනද ???

තමන්ගේ දුව පුතා විශ්වවිද්‍යාලෙට තේරුනා කියලා අපරිමිත සතුටකින් ඉන්න අම්මයි තාත්තයි තවමත් මේ ක්‍රමය අස්සේ කාගේ හරි වහල්ලු නෙවෙයිද? අඩුම ගානේ තමන් ඇතුලෙම හරි? ඒ වහල් කමින් එයාලව මුදා ගන්න නේද කටින් නොකීවට දහසක් දේවල් හිතේ තියාගෙන වහල් කම් කලේ. හැබැයි දැනටමත් මේ අධ්‍යාපන ක්‍රමයේ වහල්ලු වෙලා ඉන්න අපි උපාධි ලෝගුවේ හංගගෙන ගිහින් අපේ අම්මා තාත්තා වහල් බවින් මුදවා ගන්න හීන දකිනවා.

තමන්ගේ දුවගේ පුතාගේ අනාගතේ විනාශ කරන පාලනයට එරෙහිව ඒ පාලනය ප්‍රශ්න කලයුතු තැනකදී එරෙහි වීම වෙනුවට නිහඬ වීම හොඳම බව තමන්ගේම දරුවන්ට තරම් මේ ක්‍රම අස්සේ අම්මලා තාත්තලා අසරණ කරලා. ඒ වෙනුවට එයාල තෝරාගන්න දේ තමයි, තමන්ගේ දරුවා කෑ ගහන්නේ අසාධාරනෙට, මුළු මහත් සමාජයේ සුබසිද්දියට කියලා දැන දැනත් තමන්ගේම දරුවාව ප්‍රශ්න කරන එක. හැබැයි කලයුත්තේ දරුවට අසාධාරණය කරපු පාලනය ප්‍රශ්න කරන එක නෙවෙයිද?

මැක්සිම් ගෝර්කිගේ අම්මා පොතේ පාවෙල්ගේ අම්මා එහෙම කලා,

"දෙවියන්ගේ නාමෙන් මේ අහපල්ලා ! උඹලා සියලු දෙනාම හොඳ ගුණ යහපත් මිනිස්සු. වෙච්ච ඩේ ගැන මොහොතකටවත් බය වෙන්න එපා. අපේ දරුවන්ගේ ලේ කියන්නේ අපේම ලේ. එම ලේ හැලෙන්නේ සියලු දෙනාගේම යහපත සඳහා සැදුනු ලෝකයක් වෙනුවෙන්. ඔවුන් ලේ හලන්නේ උඹල සියලු දෙනා සඳහා යහපත් දිනයක් ලඟා කර දීම වෙනුවෙන් උඹලගේ අනාගත දරු පරම්පරාව වෙනුවෙන්. ඔවුන් සඳහා මීට වඩා වෙනස් යහපත් අනාගතයක් ඇතිකර දීම වෙනුවෙන්. ඔව් සමාජ සාධාරණත්වය හා සියල්ලන්ගේම යහපත වෙනුවෙන්...."

ක්‍රමයේ වරද දුටු තැන ඊට එරෙහි වූ බොහෝ දෙනෙකුට මරණය වැළඳ ගන්නට සිදු වුනා. ක්‍රමය අනුමැත කරමින් නිහඬ වුවන්ට ඒ අභියෝගය මගහැර ගියා සේ දැනෙන්නට වුනා. නාමල් රාජපක්ෂ පසුගිය දවසක කිව්වා දේශපාලනයට එන තරුණයන්ට සැහෙන්න අභියෝග තියෙන වග. නමුත් ශිෂ්‍ය දේශපාලනයේ නියැලෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පසු පස බුද්ධි අංශ එන්නේ ඔබට මෙන් ආරක්ෂාවට නොව, ඔබේ ආරක්ෂාවට එසේ එවන නිලධාරීන්ම ශිෂ්‍යන් ලුහුබදින්නේ දිනෙක සුදු වෑන් එක එවන බලපොරොත්තුවෙන්ය. නිවෙස් වලට ගොස් දෙමාපියන් බිය ගන්වන්නේ ඒ අභියෝගය ජය ගන්නා කෙනාතොරා තරු සම්මාන දෙන්නට නොව. ආරක්ෂක ඇමති ඔබේ පියාය. ආරක්ෂක ලේකම් ඔබේ බාප්පය. ඔබේ මවට ඔබේ දේශපාලනය ජීවිතය ගැන බියක් නැත්තේය. නමුත් අපේ අම්මලා හඩාවැටෙන බව ඔබ නොදන්නවා ඇත. නුදුරු දිනෙකදීම දැනගන්නවට සැක නැත.

එසේ නම්කඳුළු සලන දහසක් දෙමාපියන්ගේ සැබෑ සිහිනය සැබෑ කිරීම උදෙසා සටන් බිමේ රැදී සිටිනවාද ? දෙනෙත් දෙකක කදුලැලි බොරුවෙන් පිසදැමීම උදෙසා සටන් බිම ඇතැර යනවාද යන්න තීරණ කිරීම ඔබ සතුයි...
Rajarataconcil.blogspot.com

0 comments :

Post a Comment