Thursday, March 13, 2014

ලෝකය ඉස්සරහට යන්නේ සමාජවාදය දෙසටයි, ඒක ඓතිහාසිකව වළක්වන්න බැහැ - මහාචාර්ය කාලෝ ‍ෆොන‍්සේකා

Prof. Carlo Fonseka
Prof. Carlo Fonseka
ඔබේ සම්පූර්ණ නම?
කාලෝ ‍කැෂ්මියර් ෆොන‍්සේකා.

උපන්නේ?
1933 දී. (මාර්තු 4)

ගම?

දිවුලපිටිය.

පියා කවුද?

තිත්තල පිටියේ ජෝර්ජ් ඇල්බට් ෆොන්සේකා

එතකොට මව?

ආරච්චි‍ගේ ඇලිස් ප්‍රනාන්දු

පියාගේ මොකක්ද වෘත්තිය වුණේ?

ඇපෝතිකරි දොස්තර කෙනෙක්. පස්සේ සහකාර වෛද්‍ය නිලධාරියෙක් වුණා.

පවුලේ කී දෙනෙක් ද?

හතරදෙනයි. මම තමයි වැඩිමලා.

විජය කුමාරතුංගට ඔබේ තිබෙන ඥාතිත්වය මොකක් ද?

මගෙ අම්මයි විජයගේ ආච්චියි එක කුසේ උපන් සහෝදරියෝ. ඒ අනුව විජය මගේ ඥාති - සො‍හොයුරියගේ පුතා. තවත් විදියකට කියනවා නම් බෑනා.

මොන පාසලට ද ගියේ?

ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මීගමුව මාරිස්ටෙලා විදුහලෙන්. පසුව මරදාන ශාන්ත ජෝශප් විදුහලෙන් ද්විතීය අධ්‍යාපනය ලැබුවා.

ආගම කතෝලික වෙන්නැති අනිවාර්යයෙන්ම?

ඔව්.

ඒත් ඔබ ආගම අදහනවද?

මගෙ අධ්‍යාපනය කතෝලික අධ්‍යාපනයක් නේ පුතා. ඒ නිසා මා වෙසෙසින්ම එහි ඵලයක්. මා එහි නීච ඵලයක්ය කියලත් සමහරුන්ට කියන්න බැරිකමක් නැහැ.

අපේ විදුහල්පති තුමා වුණේ විශිෂ්ට ගණයේ බුද්ධිමතකු වූ පීටර් පිල්ලේ පියතුමා. උන්වහන්සේ කිව්වා දෙවි කෙනෙක් ඉන්නවා කියන එක බුද්ධියෙන් ඔප්පු කරන්න පුළුවන් වුණත් දෙවියන් ලෝකය මැව්වා, විශ්වය මැව්වා කියන එක ඔප්පු කරන්න බැහැ කියලා. අපි ඒක පිළිගන්නේ බයිබලයේ කියා තිබෙන නිසා කියල එතුමා වැඩිදුරටත් කිව්වා. මා තුළ සැකය පහළ වෙන්න පටන්ගත්තේ එතකොටයි.

ඔබ ආත්මය කියන සංකල්පය විශ්වාස කරනවද?

ආත්මය කියන දේ බටහිර දර්ශනයේ තිබෙන දෙයක්. මයින්ඩ්, සෝල්, කොන්ෂස්නස් වගෙ වචනවලින් කියැවෙන්නේ ඒකනේ. හැබැයි බෞද්ධ දර්ශනය අනාත්මයි. ඒ නිසා මට ඒක වඩාත් බුද්ධි ගෝචරයි. සම්ප්‍රදායික දෘෂ්ටියෙන් සලකලා බැලුවොත් මම ආගමක් පිළිගන්නේ නැහැ. හැබැයි ක්‍රිස්තුන් වහන්සේ ශාස්තෘවරයකු ලෙස මා ඉහළින්ම පිළිගන්නවා. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් නේ පුතා.

වෛද්‍ය විද්‍යාව වෙතට ඔබ නැඹුරු වුණේ කොහොමද?

මං පොඩි කාලේ ඉඳන්ම දැක්කනේ තාත්තා ලෙඩ්ඩු සුව කරනවා. ඉතිං තාත්තා කරපු දේ මාත් කළ යුතුය කියන හැඟීම මා තුළ තිබුණා. වෛද්‍ය විද්‍යාලයට යනව කියන එක බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත වෙනවා වගෙ වැඩක් කියලා මට දැනුණේ වෛද්‍ය විද්‍යාලයට ගියාට පස්සේ.

ඔබ මිනිස් සිරුර පිළිබඳ විශේෂඥයකු විනා සැබෑ අරුතින් වෛද්‍යවරයකු නොවන බව ඇතමුන් කියනවා?

මම වෛද්‍ය විද්‍යාලයෙන් ඉහළම ලකුණු ලබපු කෙනෙක්. ඔය කියන සේරටම වඩා ඒ වාර්තාව තියෙන්නේ මටයි. මම කායික විද්‍යාව තෝරාගත්තේ මිනිස් සිරුරේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය වෛද්‍ය විද්‍යාවේ පදනම නිසයි. නොබෙල් තෑග්ග වුණත් දෙන්නේ මේ දෙකෙන් එකකටනේ. එක්කෝ කායික විද්‍යාව, නැත්නම් වෛද්‍ය විද්‍යාව. ඒවා ලබපු අය නිකං බේත් තුණ්ඩු ලියපු දොස්තරලා නෙමෙයිනේ සුනිල්.

සමාජවාදියකු විදියට ඔබ වැඩවර්ජනවලට පක්ෂයි. ඒත් දොස්තරලා වර්ජනය කරනවට විරුද්ධයි?

දොස්තරලා වැඩවර්ජනය කරන්න ගියොත් ඉතාම අභාග්‍ය සම්පන්න තත්වයක ඉන්න ලෙඩ්ඩුන්ගේ ජීවිත නැති වෙන්න පුළුවන්. එහෙම නැති වෙලත් ත‍ිබෙනවා. ඉතින් ඒ නිසා මට ඒකට එකඟ වෙන්න අමාරුයි.

නමුත් ඔබත් එකම එක අවස්ථාවක වැඩවර්ජනයක නිරතව ‍තිබෙනවා?

ඔව්. අවංකවම කියනවා නම් මං එකම එක අවස්ථාවක විතරක් වැඩවර්ජනයකට එක්වුණා. මමත් දුර්වල කෙනෙක්නේ පුතා. හැබැයි අද තත්වය හුඟක් දුරට වෙනස්. අද වෛද්‍යවරුන් වැඩවර්ජනයක් කළත් බොහෝම වගකීමෙන් යුක්තවයි ඔවුන් ඒක කරන්නේ. ඔවුන් අසාධ්‍ය රෝගින්ට පමණක් ප්‍රතිකාර කරනවා කියන කොන්දේසියට යටත්වයි එහි නිරතවන්නේ.

වාමාංශිකය වෙත ඔබේ නැඹුරුව ඇතිවුණේ කොහොමද?

මේක ඔබ විශේෂයෙන් ම ලියන්න ඕනැ. හතළිහ දශකයේදි මගේ ජීවිතයට ප්‍රබලම බලපෑමක් ඇතිකළේ සුනිල් සාන්ත. ඊළඟට පනහ දශකයේ මහාචාර්ය සේනක බිබිලේ. හැටේ දශකයේ මාර්ටින් වික්‍රමසිංහ. හැත්තෑව දශකයේ ආචාර්ය එන්.එම්. පෙරේරා. අසූව දශකයේ විජය කුමාරතුංග හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග. අනූව දශකයේ මහාචාර්ය වයි. කරුණාදාස. ඒ බෞද්ධ දර්ශනය හා සම්බන්ධයෙන්.

දෙදහ දශකයේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඉතිං ඒ අනුව මා වමට නැඹුරු වුණේ මහචාර්ය සේනක බිබිලේ ඇසුරෙන්. එතුමා හොඳ වාමාංශිකයෙක්. සමසමාජ කාරයෙක්. එතුමා අපිට සැන්දෑවේ එතුමාගේ ගෙදර මාක්ස්වාදය පිළිබඳ පන්ති පැවැත්වුවා.

මාක්ස්වාදයත් බුදුදහමත් අතර පරස්පරයක් නැහැ කියන එක ඔබේ අගනා තර්කයක්?

ඒ හැඟීම මට ආවේ මාර්ටින් වික්‍රමසිංහයන් එක්ක කරපු බුද්ධිමය සාකච්ඡාවලින්. මගේ නිගමනය නම් බුදුන් වදාළ චතුරාර්ය සත්‍යයයි මාක්ස්ගේ විද්‍යාත්මක සංකල්පයි අතර පරස්පර විරෝධි බවක් නැතිය යන්නයි.

උපතින් කතෝලිකයෙකු වුණාට ඔබ බුදු දහම ගැන හොඳට දන්නවා?

මම එම්.ඒ. එකට කරපු නිබන්ධය වුණේ ‘කාලාම සූත්‍රයේ තත්කාලීන අදාළත්වය’ යන්නයි. පස්සෙ කාලෙක මං බෞද්ධ දර්ශනයේ හරය හැදෑරුවේ මහාචාර්ය වයි. කරුණාදාසගෙන්.

කාලාම සූත්‍රය ගැන කතා නොකර ඔබට දේශනයක් තියන්නත් බැහැ. සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්නත් බැහැ. ඒ තරමට ම ඔබ කාලාම සූත්‍රය ගැන කතා කරනවා?

මට බණින අය කියන්නේ කාලෝ කාලාම සූත්‍රය කෑවා කියලනේ. කාලාම සූත්‍රය හරිම විද්‍යාත්මකයි. මා එය දන්න නිසා නවීන විද්‍යාවට අනුකූල නොවන දෙයක් පිළිගන්නා යුහුසුලු වෙන්නේ බොහොම හෙමින්. කාලාම සූත්‍රය නිදහස් චින්තනයේ ප්‍රඥප්තිය වැනියි. මම හැම දෙයක් දිහාම බලන්නේ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින්. මුලින්ම නිරීක්ෂණය කරනවා. ඊළඟට තර්කණය. ඊට පස්සේ උපන්‍යාසයක් හදාගෙන අනුභූතිකව අත්හදා බලනවා. ඕකටනේ විද්‍යාව කියන්නේ.

ආගම කියන්නේ පෞද්ගලික දෙයක්. ඒ නිසා ඒක රාජ්‍යයෙන් වෙන් කළ යුතු නැද්ද?

ඉන්දියාවේ ගාන්ධිලා, නේරුලා ආගම රාජ්‍යයත් එක්ක ඈදා ගත්තෙ නැහැ. ඒක ප්‍රශංසනීය බව මා පිළිගන්නවා. අපේ රටේ බුද්ධාගම නැතුව වෙනත් ආගමක් රාජ්‍ය ආගම වුණා නම් මමත් ඊට විරුද්ධ වෙන්න තිබුණා, ආගම රාජ්‍යයත් එක්ක ව්‍යවස්ථානුකූලව ගැට ගහනවට. ඒත් බුදුදහම චින්තන නිදහස වැදගත් කොට සලකන ආගමක්. ඒ නිසා මට එවැන්නකට විරුද්ධ වෙන්න බැහැ. ඇමෙරිකාවේ රාජ්‍යත් එක්ක ආගමක් බැඳී නැහැ කිව්වට ඔබාමා කතාවක් ඉවර කරන්නේ ‘ගෝඩ් බ්ලේස් ඇමෙරිකා’ කියලයි.

ඔබ තවමත් සමාජවාදියෙක්. නමුත් අද රුසියාවේවත් සමාජවාදයක් නැහැ?

අවුරුදු 20 ක 30 ක කාලයක් දිහා බලල අපි කොහොමද ලෝකය ගැන කියන්නේ? මං හොඳ උදාහරණයක් දෙන්නම්. චීනයේ චෞ එන් ලායි ගෙන් 1950 ගණන්වලදි කෙනෙක් අහලා තියෙනවා ප්‍රංශ විප්ලවය ලෝක ඉතිහාසය කෙරහි බලපෑවේ කොහොමද කියලා. ප්‍රංශ විප්ලවය වුණේ 1789 දී නේ. චෞ එන් ලායි උත්තර දීලා තියෙන්නෙ තාම වේලාසන වැඩියි ඒ ගැන යමක් කියන්න කියලා.

රුසියාවේ අද සමාජවාදයක් නැහැ කිව්වට ඒක බිඳ වැටීමක්ය කියලා හිතන්න බැහැ. ලෝකය ඉස්සරහට යන්නේ සමාජවාදය දෙසටයි. ඒක ඓතිහාසිකව වළක්වන්න බැහැ. මොකද ධනවාදයට වැඩිකල් පවතින්න බැහැ.

ඔබ මිථ්‍යාවට සපුරා විරුද්ධයි. ඔබ එක්තරා කාලයකදි ගිනි පෑගිමෙන් කළෙත් ඒවගෙ දෙයක්?

ඔව් ඒක අපි කළේ 1970 දි අත්තිඩියේ. මුලින් කතරගමට ගිහිල්ලා මේක නිරීක්ෂණය කළා. මොකද කතරගම දෙවියන්ගේ අනුහසින් ගිනි පාගනවා කියලනේ කිව්වේ. අපි ඒක බොරු කළා. කතරගම දෙවියන් මං පිළිගන්නෙත් නැහැ. ඒ වගේම මම ඒ දෙවියන්ට බයත් නැහැ. එයා ඒ තරම්ම ආදර්ශවත් දෙවියෙක් කියලා මම හිතන්නෙ නැහැ.

ඔබ එක්තරා කාලයක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ වුණා. නමුත් පස්සේ එකඟ වුණා. එහෙම වුණේ ඇයි?

මම විරුද්ධ වුණ එක දෙයක් තමයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් රජයේ වෛද්‍ය විද්‍යාලයේ උපාධියම ලබාගත හැකිය යන කාරණයට. ඒක වෙන උපාධියක් නම් මගේ ප්‍රශ්නයක් නැහැ. පසුගිය කාලයේදි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් දොස්තරලා 850 ක් විතර බිහිවුණා. ඒ අය අනෙක් අයට කිසිසේත් ම දෙවැනි වන්නේ නැහැ. ඒ අනුව ඔවුන් සාර්ථකත්වය පෙන්වලා තියෙනව. ඒ නිසා අද මං සෛද්ධාන්තිකව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ නැහැ.

වෛද්‍යවරයකු විදියට ඔබෙන් සිදුවූ අත්වැරදීම් නැද්ද? ඒ නිසා එක රෝගියකුවත් මිය ගිහින් නැද්ද?

මගෙනුත් අත් වැරදීම් වෙලා තියෙනවා. ඒ නිසා රෝගීන් පස්දෙනෙක් මිය ගිහින් තියෙනවා. වැරදීම මනුස්සකමක් තමයි. ඒත් මේක මාරාන්තික ක්‍රියාවක්. ඒ ගැන මං දැඩිව පශ්චාත්තාප වෙනවා.

ඔබ ගබ්සාවට විරුද්ධ නැහැ?

මට කිව්වොත් මිටියක් අරන් චිම්පන්සියකුගේ ඔළුවට ගහලා ඌව මරන්න කියලා. මට ඒක මනුස්සයකු මරන තරමටම කරන්න බැරි වැඩක්. හැබැයි මට කිව්වොත් සතියක්වත් නැති මිනිස් කලලයක් ගර්භාෂයෙන් ඉවත් කරන්න කියලා මට ඒක කරන්න බැරිකමක් නැහැ. ඒකත් වැරදි වැඩක් තමයි. නමුත් චිම්පන්සියා මරනවට වඩා මට මේක කරන්න පුළුවන්. මොකද ඒ කලලයට මොළයක් නැහැ. ජීවියකු ලෙස වැඩිලා නැහැ. ඒ නිසා ඒක මිනිමැරුමක් වෙන්නේ නැහැ.

එතකොට ඔබ නිට්ෂේගේ මතය පිළිගන්නවා. ඒ කියන්නේ ඉතා අඩු බුද්ධියක් ඇති ළමයකුත් ඉතා වැඩි බුද්ධියක් ඇති චිම්පන්සියකුත් එකට ගෙන සසඳා බැලුවොත් චිම්පන්සියා වඩා බුද්ධිමත්ය යන්න?

මිනිසාගෙයි චිම්පන්සියාගෙයි DNA රසායනික අනු පොඩ්ඩක් හරි වෙනස් වුණා නම් කූඩුවල ඉන්නේ චිම්පන්සියෝ නෙමයි අපි. හොඳ වෙලාවට මනුෂ්‍ය බුද්ධියෙන් අපි ඉහළයි. මේක ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක්. වතුර වැඩිය රත් කළාම වාෂ්ප වෙනවා. වැඩිය සීත කළාම අයිස් වෙනවා. මේක තේරුම් ගන්න ලේසියිනේ.

ඔබ අඩියක් ගහන්නෙත් නැහැ, සිගරැට් ‍එකක් බොන්නෙත් නැහැ. ?

මගේ තාත්තා මටත් එක්ක සිගරැට් බීලා තියෙනවා. තාත්තා මාව ළඟ තියාගෙන සිගරැට් බිපු නිසා තමයි අද මම පෙණහලු රෝගයකින් පීඩා විඳින්නේ. ඒ වගේම මට ඇදුම. ඉතිං එහි ආදිනව දැනදැන මට සිගරැට් බොන්න පුළුවන් ද?

සිගරැට් බොන හැමෝටම පෙණහලු පිළිකා හැදිලත් නැහැ, හෘදයාබාධ හැදිලත් නැහැ?

මම ඔබේ පැත්තෙන් ම තර්ක කරන්නම්කෝ මෙහෙම. සිගරැට් බොන දහකින් පෙණහලු පිළිකා හැදෙන්නේ එක්කෙ‍නකුට දෙන්නකුට වෙන්න පුළුවන්. හැබැයි පෙණහලු පිළිකා හැදුණු දාහක් ගත්තොත් එයින් 999 දෙනකුටම ඒක හැදිල තියෙන්නෙ සිගරැට් බීම හේතුවෙන්. දැන් තේරුණාද? දෙතුන් දෙනකුට හැදුණේ නැහැ කියන එක විද්‍යානුකූල කතාවක් නෙමේ.

සමහර වෛද්‍යවරුන් මත්පැන් ටිකක් ගත්තට කමක් නැහැ කියනවනේ. විශේෂයෙන් බ්‍රැන්ඩි පොඩ්ඩක්?

ඔව්. ඒක ඇත්ත. අපි කරන්න ඕනැ මධ්‍යසාර හානිය ඉවත් කිරීමයි.

ඔබ මැට්ටෙක් කියලා මහාචාර්ය නලින් ද සිල්වා වරක් කියලා තියෙනවා?

ඕවා සංවාදවල එල්ලවන ඇනුම් පදනේ පුතා. මං ඕවා ගණන් ගන්නේ නැහැ. අපි අතරේ කිසිම විරසකභාවයක් නැහැ. ඔය වගෙ ඇනුම්පද ගැටුම්වල සුන්දර පැත්තක්.

ඔබ වෛද්‍යවරයෙක් විතරක් නෙමෙයි හොඳ කලාකාරයෙක්?

මා ඔබට කීවානේ 40 ගණන්වල මට සුනිල් සාන්ත බලපෑවයි කියලා. මා ඔහුගෙන් සංගීතය ඉගෙන ගත්තා. ඒ දැනුමෙන් තමයි මම ‘විරාගය’ චිත්‍රපටයට ගීතයක් ලිව්වේ. ඒ වගේම ‘කාලෝචිත ගී’ කැසට් පටයත් ‘රත්තරන් දුවේ’ සංගත තැටියත් එළිදැක්වූයේ. ඊට ඇතුළත් වුණේ මා ලියූ ගී සංකල්පනා.

විනෝදෙට ඔබ මොනවද කරන්නේ?

සම්භාව්‍ය කලාව ඇසුරු කිරීම තමයි මගේ විනෝදය. විශේෂයෙන් සංගීතය.

ආ මට එක වැදගත්ම ප්‍රශ්නයක් අමතක වුණා. මිනිස්සු වයසට යනකොට ලිංගික හැඟීම් එහෙම අඩුවෙන්නෙ නැහැනේ?

කියන්න කනගාටුයි පුතා, අඩුවෙනවා. ඒක අනිවාර්ය දෙයක්. මොකද වයසට යනකොට ලිංගික හැඟීම් උපදවන හෝමෝනය ක්ෂය වෙලා යනවා.


සාකච්ඡා කලේ - සුනිල් මිහිඳුකුල
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න
උපුටා ගැනීම - silumina.lk

7 comments :

Clarion Call-අනුනාද said...

Carlo is legend in Sri Lanka..I wish him long life .I cant understand as to why he recognizes MR to be a socialist,for he molested it .

Rasika Kulasinghe said...

:v

Unknown said...

සමාජවාදය කියන එක රට අනුව වෙනස් වෙනවා නේද? අනෙක ලෝකෙටම එක සමාජවාදයක් හඳුන්වාදෙන්න කාටවත් බෑ. එහි ගුණාංග රටින් රටට වෙනස් වෙනව. එතනදී ලෝකය සමාජවාදය දෙසට ගියත් මාක්ස්වාදය වගේ අන්ත වලට යන්නේ නෑ.

Dev moorthi said...

තාත්ත ජෝර්ජ් ඇල්බට් ෆොන්සේකා
අම්ම ඇලිස් ප්‍රනාන්දු..
මේ වගේ උන් මෙහෙම කියන එකේ වරදක් නැ...!

Rasika Kulasinghe said...

නම නාම වගේ දේවල්වලින් පුද්ගලයින් මනින ඔයා වගේ කෙනෙක්ගෙ ගැන හිතාගත්තහැකි...

ravisenm said...

Wrong, Prof. Carlo Fonseka. Capitalism and Neo-Nazism seem to be becoming more powerful than Socialism - see the Ukraine for example. As long as England, the United States and their European and American Allies are alive and well, they will Never allow true Socialism to win. (They will probably allow a warped puppet form of socialism to live, as long as it allows the west to Crush the cultures of countries like ours.)

Regards,
Ravi.

Unknown said...

මටත් හිතා ගන්ට බැරි අැයි ෙමතුමා මහින්ද සරණං ගච්චාමි කියන්ෙන් කියලා....

Post a Comment