Friday, June 3, 2011

බඹර වලල්ල....

     ලාංකේය සිනමාවේ අවසන් කටයුතු කර හමාරය. එහි පාංශුකූලය දීම කඩින් කඩ සනිටුහන් වේ. පසුගිය දිනක කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී චූලානන්ද සමරනායක මහතා එසේ පැවසීය. ඒ තරුණ නවරැල්ල සංවිධානය කළ ‘‘බඹර වළල්ල’’ සිනමා සංවාදයේදී ය. සැබවින්ම ලාංකේය සිනමාව විශේෂයෙන් සිංහල සිනමාව (සෙසු ජාතිකත්වයන් ලාංකීය කලා ක්ෂේත්‍රයට වන සහභාගීත්වයේ පසුගාමීකම හා ඒ සඳහා වන අනුග‍්‍රහයේ දිළිඳුකම නිසාම) ශේෂ වී ගිය නටඹුන්වල මතකය පමණක් ඉතිරි කරගෙන සිටී. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා, ස්වර්ණාගෙන් පසුව ලංකාවේ සිනමා වංශකතාව වඳවී ගියේය. හතු පිපෙන්නා සේ කඩින් කඩ අශෝක හඳගම, ප‍්‍රසන්න විතානගේ, ජයන්ත චන්දාසිරි මගින් නිර්මාණය වන නිර්මාණයකින් දෙකකින් සිනමාහල්කරුවන් සිය සිනමා ශාලාව ටියුෂන් පන්තියකට හෝ වෙනත් ගබඩාවකට භාවිත කිරීම නවතා ගනී.


     අතුල ලියනගේ ගේ බඹර වළල්ල සිනමාවේ දිගහැරෙන්නේ ඉහත කියන ලද සන්දර්භය පසුබිම් කොටගෙන ය. ඒ පිළිබඳව විවිධ මට්ටමේ කතාබහ සහ ලාංකීය සිනමාවේ අපගමනයට හේතු  ඕනෑවටත් වඩා කතා කර තිබේ. මෑත ඉතිහාසය තුළ චිත‍්‍රපටයක් පිළිබඳව  මේතරම් සංවාදයක් ගොඩනැගී නොතිබිණි. (වි‍ශේෂයෙන් EAP මුදලාලිගෙ සල්ලිවලින් ප‍්‍රචාරක කටයුතු සහ මහා දැවැන්ත සිනමා නිර්මාණයක් ලෙස පට්ටන්දර ගැසු ජැක්සන් ඇන්තනීගේ ‘‘අබා’’ හැරෙන්නට) කෙසේ වෙතත් සිනමාව පිළිබඳව ඇල්මක් හා එහි උන්නතිය පිළිබඳ සිතීමක් තිබෙන සුළු පිරිසක් හෝ තවත් සිටින බව නම් නොකියාම බැරිය. එවන් වූ පසුබිමක අතුලගේ ‘‘බඹර වළල්ල’’ වඩා වැඩි පේ‍්‍රක්‍ෂක අවධානයක් දිනාගන්නේ සිනමාව සම්බන්ධයෙන් සාධනීය පෙළඹුමක්  ඇති කළ කෘතියක් ලෙස සිතිය හැක.

     පොඩි එකාගේ චරිතය වටා ගොඩනැගෙන චිත‍්‍රපටය ප‍්‍රධාන කොටස් දෙකක් දෙස ඛණ්ඩනය වී තිබේ. එහිදී මැල් මුදලාලි විසින් චිත‍්‍රපටයට අනුව පොඩි එකා බේරගන්නා තෙක් කොටස මුල් කොටසත් ඉන්පසු අනෙක් කොටසත් වශයෙනි. විශේෂයෙන් ඔහු (පොඩි එකා) ජීවත්වන පරිසරය විසින් සහ ලබන අත්දැකීම් හා අධ්‍යාපනයේ ප‍්‍රමාණය මත අනාගතේ ඔහුගේ කි‍්‍රයාකලාපයන් තීරණය වන බව දකී. එහිදී උක්ත තර්කය සනාථ කිරීමට අතුල උත්සාහ කර තිබේ. මේ චිත‍්‍රපටයේ මුල සිට අග දක්වා සියලූ සිද්ධීන් පසුපස තිබෙන පිළිකුල් සහගත (ශිෂ්ඨ යැයි පිළිගන්නා සදාචාරවත් සමාජය විසින් වසන් කරන සත්‍ය දත් විලිස්සා සිටී. පොඩි එකා හෙවත් ධර්මදාසගේ අක්කා ඔහුගේ මවගේ දෙවන සැමියා අතින් ඳූෂණයට ලක් වේ. එතෙක් පොඩි එකා ඔහුට කසිප්සු ජාවාරම සඳහා වතුර අදිමින් සොච්චම් මුදලක් ලබාගනී. ‘‘මම හදාපු ගස්වල ඉස්සෙල්ලාම ගෙඩි කන්නේ මම’’ පොඩි එකාගේ දෙවෙනි පියාගේ උදාන වාක්‍යයයි. සොයුරිය ගෙල වැළලාගෙන මියයාමත් පොඩි එකාගේ උදලූ පහරින් උක්ත දෙවන පියා මියයාමත් සංකේත මගින් වුව ද ඉතාම හොඳින් පේ‍්‍රක්‍ෂක අවධානය පැහැර ගැනීමට සමත් ය.

     හිරෙන් එළියට එන පොඩි එකා සිය මාමාගේ හරක් බලාගනී. ඔවුන්ගේ කුඹුර මඩවයි. මී හරක් සෝදන වලේම බැස නා ගනී. ඔහු මාමාගෙන් ඉවත් වන විට ‘‘මම මඩවන්නෙත් නෑ. මැඩවෙන්නෙත් නෑ.’’ ප‍්‍රකාශය අඩංගු කර තිබේ. අමුඩයේ සිට ඩෙනිමට මාරුවන ධනේෂ්වර වෙළඳ ක‍්‍රමය තුළ මැඩවෙන ගැමි චින්තනය  හිස දරාගත් තරුණයාගේ පොරෝනාව අතුල විසින් පොඩි එකාට පොරවා තිබේ. මැල් මුදලාලි විසින් පොඩි එකා රෝහලින් ගෙන ගොස් සුවවන තෙක් රැකබලා ගැනීමටත් ඉන්පසු මිනීපෙට්ටි සාප්පුව ඇතුලූ ව්‍යාපාරවලට සම්බන්ධ කිරීමටත් ඉන්පසු ඔහුගේ සියලූ මැර කි‍්‍රයාවන් සඳහා යොදවා ගැනීමටත් කි‍්‍රයා කරයි. අමුඩයේ මැඩවෙන එකා නැවත ඩෙනිමෙන් මැඩවෙන්නට පටන්ගෙන තිබේ. මේ චිත‍්‍රපටයේ දෙවන කොටසයි.

     මැල් මුදලාලි සැදැහැවත් මිනීමරුවා සේ ඉතා මනාව සිනමාපටය පුරාම මනාව රඟ දක්වයි. පෝයට මිල අධික මල්වට්ටියක් හා අටපිරිකරක් පූජා කරන, පන්සිල් සමාදන්වන, බෞද්ධ සම්මේලනවල සභාපතිකම් හොබවන ගමන්ම කුඩු විකුණන, රටේ මිනිසුන්ගේ කණකර උකස් කර ජාවාරම් කරවන මුදලාලිලා හා නෝනලා  ඕනෑ තරම් ලාංකේය සමාජය ආක‍්‍රමණය කරගෙන සිටිති.

     මැල් මුදලාලි උක්ත සමාජ තත්ත්වයට ඉතාම උචිත ආකාරය ගෙනහැර දක්වා තිබේ. නගරය එසේත් නැතහොත් ඩෙනිම රජකරවන සමාජය අමුඩයේ මැඩවීමට වඩා වෙනස් ය. ‘‘මම වළලන්නේ මැරිච්ච මිනිස්සු විතරයි’’ ඉතාම ප‍්‍රගතිශීලි ජනහිතකාමී සටන් පාඨ තෙපලන මැල් මුදලාලිලා නායකත්වය දෙන වත්මන් දේශිය චින්තනයට පණ පොවන මුදලාලිලාත් අතර කවර වෙනසක් ද? මැල් මුදලාලි මිනීපෙට්ටි විකුණයි. මිනීපෙට්ටිය අවශ්‍ය වන්නේ මිය ගිය අයට යි. මිනීපෙට්ටිය ජීවත්ව සිටින අයට අලංකාර වුවත් මළවුන්ට එයින් පළක් නැත. අද සමාජයම මළමිනි බවට හෙවත් ජීවත්වන මළමිනී බවට පත්කර තිබේ. ඔවුන්ට මිනීපෙට්ටි අලංකාරවත්ව සකස් කර විකිණිය යුතු ය. ඒ වෙනුවෙන්  ඕනෑතරම් මිනිපෙට්ටිකරුවන් ඉහත කී ආකාරයෙන් ලගන්නා ජනහිතකාමී සටන්පාඨ වගුරුවමින් සිය ජාවාරම සිදුකරයි. ඒ සඳහා අවශ්‍ය බලය හොඳින් හෝ නරකින් ඔවුහු මූල්‍ය හා ආයුධ බලය මගින් ලබාගෙන තිබේ. අපි ඉතා ගෞරවයෙන් හා මහා  භක්තියෙන් මිනිපෙට්ටි මුදලාලිලාගේ සටන් පාඨ, උදාන වාක්‍ය අදහන තැනට පත්ව සිටිමු.

     අවසානයේ මැල් මුදලාලිගේ තැන පොඩි එකා ග‍්‍රහණය කර ගනී. දැන් මැල් මුදලාලි වෙනුවෙන් අලූත් පරම්පරාව මිනීපෙට්ටි විකුණයි. අපිට ඇත්තේ ගැළපෙන මිනීපෙට්ටිය තෝරා ගැනීම ය. පොඩි එකාගේ පසුබිම් ජීවිතයේ කතාන්දරය අපි ප‍්‍රතික්ෂේප කරමු. එයින් නිපදවෙන කිසිදෙයක් නොතේරෙන පොඩි එකාලා ඊළඟ සමාජ ස්ථරයට පිවිසේ. ඒ මැල් මුදලාලිගේ ජාරාජීර්ණ වෙළඳාම පරාජය කරමින් හා යටපත් කරමින් ය. එහෙත් නැවතත් අලූත් වටයකින් පොඩි එකාලා සිටින්නේ මැල් මුදලාලිලට වඩා සංවර්ධනීය මට්ටමකින් අවසානයේ අපෙන් අසන්නේ, ‘‘මිනී පෙට්ටිය තෝරා ගත්තා ද?’’ යන්නයි. අප හමුවේ දිග හැරෙන බඹර වළල්ලේ අප විසින් දුටු අමු යථාර්ථය මෙයයි.

     පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි සිංහල බෞද්ධ ළමා චිත‍්‍රපට වංශාවලියක් හා බලන්නට හිරිකිත, අතාර්කික, බොළඳ වචන වලින් ද අන්තර්ගතය කියාපෑමට පවා නොහැකි චිත‍්‍රපට රැල්ලකට ලාංකේය සිනමාව තල්ලූ කර තිබේ. ඒවායේ සිපවැළඳ ගැනීම් තහනම් ය. මත්පැන් දුම්වැටි තහනම් ය. ඒවා සුචරිතවත් ය. කුඩා දරුවන් සේ හීනෙන්වත් වැරදි කරන්නේ නැත. විකට චිත‍්‍රපට ලෙස හා ළමා චිත‍්‍රපට ලෙස නම් ගසාගෙන ඒවා රසවිඳින්නට ආරාධනා කරයි.

     දැවැන්ත ලෙස සමාජයට පණිවිඩයක් දෙන්නට,  පේ‍්‍රක්‍ෂක මනස මත මේ අසත්‍යයේ සෙවනැලි එලවන්නට හැකි ප‍්‍රබල කලා මාධ්‍ය, මේ තරම් ශෝචනීය අඩියකට පත්කර තිබීම ලාංකික සමාජයේ, ඛේදවාචකයේ එක් පැතිකඩකි. එනයින් ගත්කළ අතුල ලියනගේ ගේ ‘බඹර වළල්ල’’ උක්ත සමාජ ගොහොරුවේ ගිල්ලවන්නට කැස කවන මැල් මුදලාලිලා වැනි සිනමාකරුවන්ට නම් පාරාවළල්ලකි.


සංස්කාරක
තෙවන ඇස
(ගිනිසිළුව ඇසුරිනි)

0 comments :

Post a Comment