Thursday, June 19, 2014

ආ රෝගියා පරමා ලාභා - නව ඖෂධ පනත ගැන කතාවක්

අතීතයේ දී නිරෝගිකම ගැන පැවසුණේ ‘නිරෝගිකම පරම සැපතයි’ හෙවත් ‘ආරෝග්‍යා පරමා ලාභා’ ලෙසිනි. එහෙත් සියල්ල වෙළෙඳ භාණ්ඩ බවට පත් කරනු ලැබූ, රෝග, රෝගීන් මෙන්ම ප‍්‍රතිකාර ද මිල කරනු ලැබූ සමාජයක තේමාව ඊට වෙනස්ය. දැන් තේමාව ” (ෆාමසියට) ආ රෝගියා පරමා ලාභා” යන්නයි. බෙහෙත් ශාලාවට, පෞද්ගලික රෝහලට, පෞද්ගලික වෛi රසායනාගාරයට පැමිණෙන රෝගියා පරම ලාභය උපයන උල්පත බවට පත්ව තිබේ. මේ වන විට ඖෂධ ජාවාරම අන් සියලූ ජාවාරම් අබිබවා අධික ලාභ ලැබීමේ ලයිස්තුවේ පෙරට එමින් තිබේ. ෆෝචූන් 500 නම් ලොව සුපිරිම සමාගම් පන්සියය පිළිබඳ පසුගිය වසර ගණනාවක වාර්තාවලට අනුව එම සමාගම් අතරින් ප‍්‍රධාන ඖෂධ සමාගම් දහය ලබා ඇති ලාභය අනෙක් සමාගම් 490 ලබා ඇති ලාභයට වඩා වැඩිය. අපේ රෝග, සමාගම්කරුවාගේ ලාභය බවට පත් වන ආකාරය ගැන ඊට වඩා නිදසුන් අවශ්‍ය නැත. 

මේ ඖෂධ ජාවාරමේ පැති ගණනාවක් ඇත. එක් ඖෂධ කාණ්ඩයක ඖෂධ වර්ග ගණනාවක් (බොහෝ විට හය හතක්) ඇති අතර එක් ඖෂධයක් වෙළෙඳ නාම ගණනාවක් යටතේ වෙළෙඳපොළේ ඇත. මේ හැම වෙළෙඳ නාමයක්ම මිලෙන් එකිනෙකට වෙනස් වෙයි. ඖෂධයක් නිෂ්පාදනය සඳහා යන වියදම දළ වශයෙන් සමාන වන නිසා මේ මිලේ වෙනස අධික ලාභයේ උල්පත බවට පත්ව ඇත. නිදසුනක් ලෙස ඇමොක්සිලීන් ප‍්‍රතිජීවකය ලංකාව තුළ විවිධ වෙළෙඳ නාම 118කින් දැකිය හැක. ඖෂධීය නාමයෙන් එහි කරලක් රුපියල් 3.50ක් වන අතර වෙළෙඳ නාමයෙන් එය රුපියල් 30 දක්වා මිල පරාසයක් අත්පත් කරගෙන තිබේ. ප‍්‍රශ්නය වන්නේ එකම ඖෂධය මෙතරම් නම් සංඛ්‍යාවකින් අවශ්‍යද යන්නය. ඕස්ටේ‍්‍රලියාව වැනි දියුණු ධනේශ්වර රටක පවා ඇමොක්සිලීන් ඇත්තේ වර්ග 4ක් පමණි. ඔමියුසෝල් නම් ඖෂධය රුපියල් 1.75 සිට 45.00 දක්වා විවිධ මිල ගණන් යටතේ වෙළෙඳ නාම 80කින් පමණ ඇත. මෙට්ෆොමින් ඖෂධීය නාමයෙන් මිල දී ගන්නා විට පෙත්තක් ශත 90ක් වන අතර වෙළෙඳ නාම යටතේ රුපියල් 23 දක්වා මිල පරාසයක් ඇත. ශත 90ට ලබා දිය හැකි පෙත්තකට රුපියල් 23ක් අය කරන විට ඖෂධ සමාගම් ලොව ලොකුම පොහොසතුන් වීම ගැන පුදුම විය යුතු නැත. කුඩා නිෂ්පාදන වියදමක් වෙනුවෙන් විශාල මිලක් සටහන් කර ඇත. 

මීට අමතරව රෝග වැලඳීමට අපට ඇති අකැමැත්ත ද ජාවාරම්කරුවන්ගේ ලාභ බවට පත්ව තිබේ. නිදසුනක් ලෙස දියවැඩියාව වැලඳීම වළක්වා ගැනීම සඳහා යැයි නම් කර තිබෙන ඖෂධ, දියවැඩියාව වැලඳුණු රෝගීන්ට ලබා දෙන ඖෂධවලට වඩා විශාල වශයෙන් මිලෙන් අධිකය. බෝ නොවන රෝග වන දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝග පිළිබඳ ප‍්‍රචාරක කටයුතු සඳහා ඖෂධ සමාගම් අත දිගහැර වියදම් කරන්නේ රෝගය වළක්වා ගැනීමට උත්සාහ කළත් රෝගය වැලඳුනත් ඔවුන්ට ලාභ ලැබෙන හෙයිනි. අධික රුධිර පීඩනයට ලොසාටන් නමින් දෙන ඖෂධයේ මිල ග‍්‍රෑම් 50 පෙත්තක මිල රුපියල් 2.60කි. එය කෝසාට් 50 නමින් ගන්නා විට රුපියල් 6.25ක් ද සාට් 50 නමින් ගන්නා විට රුපියල් 9.80ක් ද වන අතර රුපියල් 29කටත් පෙත්තක් ඇත. මේ ඖෂධ සමාගම්වල නියෝජිතයන් වෛiවරුන් හමු වෙමින් සිය වෙළෙඳ නාමය සඳහා වෛiවරුන් පොලඹවයි. කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරවල ශල්‍යකර්මවලට පවා සමාගම්වල නියෝජිතයන් සහභාගි වන ආකාරය මීට පෙර ජනරළ පුවත්පතින් ද හෙළි කර තිබිණි. රෝගීන් දැඩිසත්කාර ඒකකයේ සිටින අතර පිටත සිටින රෝගියාගේ ඥාතීන් හමු වන මේ තැරැුව්කරුවන් සැත්කම් සඳහා යන වියදමේ වාර්තා ඉදිරිපත් කරයි. 

රටකට ඖෂධ ප‍්‍රතිපත්තියක් හා ඖෂධ පිළිබඳ නීතියක් අවශ්‍ය වන්නේ මේ බූවල්ලාගෙන් රෝගීන් ගලවා ගැනීම සඳහාය. නමුත් 2014 ඖෂධ, උපකරණ හා විලවුන් පනත් කෙටුම්පත නමින් ඉදිරිපත් වී ඇති පනතේ ඒ සඳහා තිබෙන ප‍්‍රතිපාදන මොනවාද? 1971 සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය තුළ ගුණාත්මක ඖෂධ අවම මිලකට ලබා දීම, අවම ඖෂධ ප‍්‍රමාණයක් ලබා දීම, වෙළෙඳ නාමය වෙනුවට ඖෂධ නාමය භාවිත කිරීම, අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුවක් සකස් කිරීම, ඖෂධ ගෙන්වීමට රජය මැදිහත් වීම හරහා මිල පාලනය කිරීම වැනි ක‍්‍රියාමාර්ග ගණනාවක් ඇතුළත් විය. එහෙත් නව පනතේ ඒ ගැන කිසිවක් නැත. වසර ගණනාවක් තිස්සේ නව ඖෂධ පනතක් ගැන කියමින් සිට අවසානයේ දී පනත එළිදක්වා ඇති අතර එය ‘කන්දක් විළිලා මී පැටියකු වැදුවා’ වැනි විය. ඒ මී පැටියා ද අංගවිකලය. පනත ගැන අපට අසන්නට ප‍්‍රශ්න ගණනාවක් තිබේ. 

1. එකම ඖෂධයෙන් වෙළෙඳ නාම ගණනාවක් වෙළෙඳපොළට පැමිණීම නවත්වන්නට ඇති ප‍්‍රතිපාදන මොනවාද? ඖෂධ ගෙන්වීම සීමා කරන්නේ කෙසේද? 

2. අඩු නිෂ්පාදන වියදමක් සහිත ඖෂධ අධික මිලකට නියම කර අධික ලාභ ඉපැයීම පාලනය කරන්නේ කෙසේද? 

3. ඖෂධ ආනයනය හා බෙදාහැරීම සඳහා රජය මැදිහත් කිරීමට ඇති නීතිමය ප‍්‍රතිපාදන හා ප‍්‍රායෝගික වැඩපිළිවෙළ කුමක්ද? 

4. අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදනයට රජය මැදිහත් වීම වර්ධනය කිරීම සඳහා ඇති වැඩපිළිවෙළ කුමක්ද? 

5. ඖෂධ ප‍්‍රවර්ධනය සඳහා සමාගම් කරන මැදිහත් වීම් අවම වශයෙන් රජයේ රෝහල් තුළ හෝ සිදු වීම වළක්වන්නේ කෙසේද? 

6. ඖෂධ නැවත ඇසුරුම් කිරීම නවත්වන්නේ කෙසේද? 

මේ සියල්ල කැටි කරගෙන අපට අසන්නට තිබෙන්නේ එක් ප‍්‍රශ්නයකි. ”මෙතෙක් ප‍්‍රායෝගිකව ලංකාවේ ක‍්‍රියාත්මක නොකළ දෙයක් හෝ ලංකාවේ නීතියේ දැනට නැති දෙයක් පනතේ සඳහන්ව ඇත්තේ කොහේද?”

අන්තිමේ දී පනත පුස්ස බින්දාක් මෙන් අර්ථයක් නැති එකක් බවට පත්ව තිබෙනවා පමණක් නොවේ. පනතේ තවත් ප‍්‍රශ්න ගණනාවක් ඇත. ඒ ගැන පොතක් ලිවීමට තරම් කරුණු ඇතත් පිටුවේ ඉඩකඩ ගැන සිතා ඒ අතරින් කරුණු කිහිපයක් පමණක් දැක්විය හැක. පනතේ 2 වගන්තිය මඟින් ‘ජාතික ඖෂධ, උපකරණ හා විලවුන් නියාමන අධිකාරියක්’ පිහිටුවා ඇත. පනතේ 3 වගන්තියට අනුව ඖෂධ ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම හා ඖෂධ ලියාපදිංචිය පිළිබඳ සියලූ තීරණ ගැනීමේ බලය හිමි වන්නේ මේ අධිකාරියටයි. මෙම අධිකාරියේ සාමාජිකත්වයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා නිල බලයෙන් තේරී පත් වේ. මීට අමතරව විවිධ වෛi ක්ෂේත‍්‍ර පහකින් විශේෂඥයන් පස්දෙනකු ද පිළිගත් විශ්වවිiාලයක වෛi පීඨයේ ඖෂධවේදනය පිළිබඳ මහාචාර්යවරයකු ද කළමනාකරණය - නීතිය - ගණකාධිකරණය - සෞඛ්‍ය යන ක්ෂේත‍්‍රවල විශේෂඥයකු බැගින් ද ඇමැතිවරයා මඟින් තෝරා පත් කරනු ලබයි. එහි ද ප‍්‍රශ්න ගණනාවක් තිබේ. 

1. රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකාරියේ නිත්‍ය සාමාජිකයකු කිරීමට හේතුව කුමක්ද? 

2. කළමනාකරණය - නීතිය - ගණකාධිකරණය - සෞඛ්‍ය යන ක්ෂේත‍්‍රවල විශේඥයන් තෝරා ගනු ලබන පදනම කුමක්ද? ඇමැතිවරයා කැමැති ඕනෑම කෙනෙක් පත් කළ හැකිද? 

3. වෛi ක්ෂේත‍්‍ර පහකින් විශේෂඥයන් තෝරන විට නම් කර ඇත්තේ සුදුසුම ක්ෂේත‍්‍ර පහද? නිර්වින්දන ක්ෂේත‍්‍රය මෙම ක්ෂේත‍්‍ර පහට නම් කළේ කුමන තර්කයකට අනුවද? 

4. අධිකාරියේ සාමාජිකයන් ඖෂධ මඟින් මෙහෙයවීම වැළැක්වීමට ඇති නීතිමය සීමාවන් මොනවාද? (පනතේ ඇත්තේ එම සාමාජිකයන් අධිකාරිය තුළ කටයුතු කරන කාලයේ දී ඖෂධ සමාගමක සේවය නොකළ යුතු බවයි. අවම වශයෙන් ඊට වසර 5කට පෙර හා වසර 5කට පසු ඖෂධ සමාගම්වල සේවය නොකළ යුතු යැයි සඳහන් නොවන්නේ නම් සමාගම් ඒජන්තයන් අධිකාරියට රිංගීම අනිවාර්යයක් වනු ඇත*

5. පනතේ 7 වගන්තියට අනුව අධිකාරියේ සභාපති ධුරය හිමි වනුයේ කළමනාකරණය, නීතිය, ගණකාධිකරණය හා සෞඛ්‍ය යන ක්ෂේත‍්‍රවලින් තේරී පත්වන්නකුටය. එසේ වීමට හේතුව කුමක්ද? ඖෂධ අධිකාරියේ සභාපති ධුරය නීතිය, ගණකාධිකරණය වැනි ක්ෂේත‍්‍රයක පුද්ගලයකුට හිමි වීමට අදාළ තර්කය කුමක්ද? 

6. අධිකාරියේ යම් වගකීමකට අදාළ කාර්යයන් ඔහු විසින් නම් කරනු ලබන මණ්ඩලවලට නැවත බෙදා හැරීමට ඉඩ දී ඇත. එය සුදුසුද?

7. පනතේ 13(1) වගන්තියට අනුව අධිකාරියේ අධ්‍යක්ෂවරයා බවට පත්විය හැක්කේ වෛද්‍යපරිපාලන සේවයේ නිලධාරියකුට පමණි. එම සීමා කිරීම සඳහා බලපෑ තර්ක මොනවාද? 
මෙම අධිකාරියට උපදෙස් ලබා දීම සඳහා පනතේ 20(1) වගන්තිය යටතේ තාක්ෂණ උපදේශක කමිටුවක් නම් කර ඇත. එම කමිටුව සම්බන්ධයෙන් ද ප‍්‍රශ්න ගණනාවක් පැනනඟී. 

1. තාක්ෂණ උපදේශක කමිටුවට සාමාජිකයන් 24ක් වැනි විශාල සංඛ්‍යාවක් පත් කර ඇත්තේ ඇයි? එය ප‍්‍රායෝගිකව සුදුසුද? 

2. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තාක්ෂණ උපදේශක කමිටුවේත් සිටී. එමෙන්ම ඔවුන් දෙදෙනා එම උපදෙස් පිළිබඳ අවසන් තීරණ ගන්නා අධිකාරියේත් සිටී. එවිට තාක්ෂණ උපදේශක කමිටුවේ නිර්දේශ පිළිබඳ සාධාරණ ඇගයීමක් සිදු වනු ඇතැයි සෑහීමකට පත් විය හැකිද? 

3. තාක්ෂණ උපදේශක කමිටුවට ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා ඖෂධ සංගමය, ශ‍්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය ආදිය ද ඇතුළත් කර ඇත. ඖෂධ වෙළෙන්දන් කමිටුවට ඇතුළත් කිරීම තුළ රෝගියාට අත් වන ඉරණම කුමක්ද? 

මේ ආකාරයට තවත් නැඟිය හැකි ප‍්‍රශ්න බොහෝ තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට ප‍්‍රශ්න පත‍්‍රයක් ඉදිරිපත් කිරීම වෙනුවට පනතේ දේශපාලන ප‍්‍රශ්න හා ප‍්‍රායෝගික ප‍්‍රශ්න කිහිපයක් ගැන අවධානය යොමු කරමු. 
පනතේ 35(1) වගන්තියට අනුව වෛiවරුන්ට ඖෂධ නාමයට අමතරව වෙළෙඳ නාමය ද ලිවීමේ අනුමැතිය ලබා දී ඇත. එය මෙතෙක් ලංකාවේ බලපැවැත්වුණු නීතියෙන් පවා සමාගම්වල අපේක්ෂාවන්ට ගැළපෙන ලෙස ආපස්සට හැරීමකි. රජයේ රෝහල්වල රෝගීන්ට වෙළෙඳ නාමයෙන් ඖෂධ ලිවීමේ අර්ථයක් නැත්තේ රජයේ රෝහල්වල වෙළෙඳ නාමයෙන් ඖෂධ නැති හෙයිනි. රෝහල්වලින් නොව පිටතින් ඖෂධ මිල දී ගැනීමටත් එය වෙළෙඳ නාමයන් යටතේ අධික මිලකට මිල දී ගැනීමටත් රෝගියාට සිදු වීම නිසා සමාගම්වල ලාභය ඉහළ යනු ඇත. රෝගීන් තව තවත් සූරාකෑමට භාජනය වනු ඇත. ඖෂධවල මිල පාලනය සඳහා පනතේ කිසිම නීතිමය වගන්තියක් ඇතුළත් නොවන අතර, ඇත්තේ ඒ සඳහා 2003 අංක 9 දරන පාරිභෝගික අධිකාරී පනත බලපැවැත්වෙන බව පමණි. සීනි, පරිප්පුවලවත් මිල පාලනය කළ නොහැකිව සිටින පාරිභෝගික අධිකාරියට ඖෂධ මිල පාලනය භාර දීම අපට නම් පෙනෙන්නේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් සෙවීමක් ලෙසය. ඖෂධවල ප‍්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා දැනට ඇති ක‍්‍රමවේදය ඉතාම දුර්වල වන අතර නව පනතේ ද එයට විසඳුමක් නැත. අවම වශයෙන් අධිකාරිය හා තත්ව පාලන පරීක්ෂණාගාරය අතර සම්බන්ධය හැදෙන ආකාරය ගැනවත් පනතේ සඳහන්ව නැත. 

මීටත් අමතරව පනත මුළුමනින්ම විහිළුවක් බවට පත් වන කරුණු ගණනාවක් ඇත. පනතේ 22(1) වගන්තියට අනුව විලවුන් හා උපකරණ විකුණන තැන් සියල්ල ලියාපදිංචි කළ යුතුය. සාමාන්‍ය සිල්ලර කඩවල පවා ක‍්‍රීම් වර්ග, සුවඳ විලවුන් වර්ග, පුයර වර්ග වැනි විලවුන් ද දත්බුරුසු වැනි උපකරණ ද විකුණන නිසා තේ කඩ හා බේකරි හැරුණු විට ඉතිරි සියලූ කඩ ලියාපදිංචි කිරීමට සිදු වනු ඇත. පනතේ 74(4)(a) වගන්තියට අනුව රූපලාවණ්‍ය ද්‍රව්‍යවල ගුණාත්මකභාවය, ආරක්ෂිතභාවය මෙන්ම බලපෑම්සහගත බව ද (Ettectiveness) විලවුන් තක්සේරු කමිටුව මඟින් පරීක්ෂා කළ යුතුය. රූපලාවණ්‍යවල බලපෑම්සහගත බව හා කාර්යක්ෂමතාව පරීක්ෂා කරන්නේ කෙසේද? අදාළ නිලධාරීන් හම සුදු වන ‘ෆෙයානස් ක‍්‍රීම්’ ආලේප කර සම ඇත්තටම සුදු වන්නේදැයි බලා සිටින්නේද? රූපලාවණ්‍ය හා උපකරණ ක්ෂේත‍්‍රයට අදාළව නම් පනත විහිළුවක් බවට පත්ව ඇත. පනතේ 110 වගන්තිය යටතේ ‘උපකරණ’ අර්ථ දක්වා ඇති හැම තැනකම ‘මිනිසුන් හෝ සතුන්’ (Human beings or animal) ලෙස සඳහන්ව ඇත්තේ මන්දැයි පැහැදිලි කළ යුත්තේ ද පනත හැ¥ අයමය. මේ පනතේ සතුන්ට කරන ගර්භනීභාවය පරීක්ෂාවන්, ගර්භනී කාලයේ දී හා උපත ලැබූ මුල් කාලයේ දී සතුන් සතු අයිතීන් ආදිය ද කෙටුම්පත් කර ඇත. ඒ රෝගී වූ මිනිසුන් ද සෞඛ්‍ය බලධාරීන්ට සතුන් මෙන් පෙනෙන නිසාදැයි අප දන්නේ නැත. 

අවසන් වශයෙන් කිව යුත්තේ මෙයයි. ඖෂධ සමාගම්වල සූරාකෑම නතර කිරීමට පනතෙන් කිසිවක් කර නැත. මෙම පනත ජනතාවගේ සෞඛ්‍යයට කරන එකම සේවය මේ විහිළුවලට සිනාසීම නිසා ජනතාවගේ ලේ පිරිසිදු වීමෙන් ලබන සුවය පමණකි. ජනරළ මැයි 11 කලාපයේත් අවධාරණය කළ ලෙස මෙම පනත වහාම සිංහල හා දෙමළ භාෂාවලින් නිකුත් කළ යුතුය. ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් පනතක් නිකුත් කර මහජන සංවාදයක් ඇති කිරීම ගැන කරන ප‍්‍රකාශයන්ම වංචාවකි. මැයි 23 වැනිදා පනත සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප‍්‍රදර්ශනය කර ජුනි 6 වැනිදා එනම් සති දෙකක් තුළ ඒ ගැන සංවාදයක් කැඳවන ලදී. සංවාදය හුදු සංදර්ශනයක් නොව ඇත්තටම සංවාදයක් අවශ්‍ය නම් පනත අධ්‍යයනය කිරීම තවදුරටත් අවස්ථාව දිය යුතුය. ඖෂධ සමාගම්වල පදයට නටන පනත් වෙනුවට රෝගීන්ගේ හිතසුව වෙනුවෙන් පනත් හදන්නැයි නවලිබරල් ධනවාදී පාලකයන්ගෙන් ඉල්ලීමට තරම් අපට පිස්සුවක් නැත. මෙවැනි සමාජ - ආර්ථික ක‍්‍රමයක් තුළ නිර්මාණය කෙරෙන්නේ ද මෙවැනිම පනත් බව අපි හොඳාකාරයෙන්ම දනිමු. ජුනි 6 වැනිදා නාරාහේන්පිට ලේ බැංකු ශ‍්‍රවණාගාරයේ පැවැති සංවාදයේ දී පනතේ අඩු පාඩු ගැන ප‍්‍රශ්න කළ විට රජයේ නීති කෙටුම්පත් සම්පාදකවරයා පැවැසුවේ නිරවුල් නීතියක් හැදීමට නම් නිරවුල් ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බවයි. මෙවැනි ප‍්‍රතිගාමී පනතක් හැදෙන්නේ ඖෂධ ගැන පාලකයන්ගේ ප‍්‍රතිපත්තිය ජනතා විරෝධී නිසාය. කවදා හෝ රෝගයකට බෙහෙත් ගෙන ඇති හැම දෙනාම, සමස්ත මහජනතාවම පාරට බැස ජනතා හිතකාමී ඖෂධ ප‍්‍රතිපත්තියක් දිනා නොගන්නේ නම් එළියට එනු ඇත්තේ මෙවැනි පනත්මය.

Original source - lankaviews.com

0 comments :

Post a Comment