මාතලේ සරසවි ශිෂ්‍යාවකගේ අබිරහස් මරණය සහ යුද හමුදා කමාන්ඩෝ සෙබළකු විසින් තම පෙම්වතිය ඝාතනය කිරීමේ සිද්ධිය පසුගිය දින කිහිපයේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. ඝාතනය සිදුව තිබුණේ පසුගිය 24 වැනිදා අලූයම ඇල්පිටියේ දීය, මියගොස් තිබුණේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවියක වූ ඩිමාෂා ගයනකීය. ඇය අවුරුදු 22 ක තරුණියකි. ඝාතකයා ශ‍්‍රීලංකා යුද හමුදාවේ හතර වැනි ගැමුණු හේවා බළඇණියේ සාමාන්‍ය සෙබළ තරිඳු ඉන්ද්‍රජිත් අතුකෝරාළ නමැති 26 හැවිරිදි තරුණයෙකි. මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට සිද්ධිය මෙසේය.
ඩිමාෂා විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර මෙම සෙබළා සමඟ පෙම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් තිබේ. ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පැමිණි පසු වෙනත් තරුණයකු සමඟ සම්බන්ධතාවක් ආරම්භ කර ඇති අතර ඉහත කී සෙබළා සහ ඇය අතර ඒ පිළිබඳ රණ්ඩු සරුවල් පවා ඇති වී තිබේ. ඇය ගෙදර පැමිණ යළිත් කොළඹට යාමට පිටත් වී ඇත්තේ පසුගිය 24 වැනිදා අලූයමය. ඇය හමුවීමට එදින හමුදා සෙබළා පැමිණ ඇත. ඔවුන් දෙදෙනා ඇල්පිටිය නගරයේදී හමු වී තිබේ. අත්අඩංගුවට පත් සෙබළා පවසන්නේ අලූත් සම්බන්ධතාව නතර කරන ලෙස තමන් ඉල්ලා සිටි නමුත් ඇය තමන්ගේ ඉල්ලීම නොතකා හැරීම නිසා පිහියෙන් ඇන ඝාතනය කළ බවයි.
ලිංගික ආලය ආත්මාර්ථකාමී බව සැබෑය. එහි ඇත්තේ අත්කර ගැනීමේ චේතනාවකි. එහෙත් තමන් ආලය කරන තරුණිය තමන්ට අහිමි වන බව දැනුණු විට ඇය ඝාතනය කිරීමේ මානසිකත්වය කුමක්ද? එසේ ඝාතනය කළහැකි නම්, ඝාතනය කිරීමට තරම් වෛරයක් උපදවා ගත හැකි නම් සැබෑ ආදරයක් තිබුණාද යන පැනය අපි අපගෙන්ම විමසමින් සිටිමු. ඒ ප‍්‍රශ්නය විසින් ඝාතකයා පිට සම්පූර්ණ වරද පටවමින් සිටිමු. එහෙත් අප අමතක කරන වැදගත්ම ප‍්‍රශ්නයක් තිබේ. ඒ ඔවුන් ඒ තත්වයට පත් වූයේ ඇයිද යන ප‍්‍රශ්නයයි. සමාජය වේගයෙන් ආත්මාර්ථකාමීත්වය වෙත දක්කා ගෙන යමින් සිටියි. ඒ ආත්මාර්ථකාමී මානසිකත්වය තුළ තම පෙම්වතා හෝ පෙම්වතිය දකින්නේ තමන්ට අත්පත් කරගත යුතු භාණ්ඩයක් ලෙස මිස ස්වාධීන මිනිස් ප‍්‍රාණියකු ලෙස නොවේ.
අනිකා මිනිසකු ලෙස තේරුම් ගන්නා තරමට අනෙකාගේ හැඟීම්, රුචිකත්වයන්, චර්යාවන් තේරුම් ගත නොහැකි තරමට මිනිස් සබඳතා බිඳ වැටී ඇත. මිනිසා සාමූහික ජීවිතයෙන් ඉවත් කරමින් හුදෙකලා ජීවිතවල හිර කරමින් තිබේ. මෙබඳු ඝාතනවලට පසුබිම සැකසෙන්නේ, මානසිකත්වය සැකසෙන්නේ මෙම සමාජමය විකෘතිය හේතුවෙන් බව පැහැදිලිය. මෙම සිදුවීමේ ඝාතකයා හමුදා සෙබළෙකි. එයද විශේෂත්වයකි. ඝාතක යුගයක් අවසන් වූ වහාම සියලූ හමුදා සෙබළුන් පුනරුත්ථාපනය කළ යුතු අතර සිවිල් ජන ජීවිතයට හුරු කළයුතුය. 2009 යුද්ධය අවසන් වූ පසුව සමාජයෙන් එම යෝජනාව ඉදිරිපත් වුවත් ආණ්ඩුව කළේ හමුදා සෙබළුන් රණවිරුවන් යැයි ඔසවා තබමින් ඔවුන්ගේ ඝාතන මානසිකත්වය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාමයි.
රාජපක්ෂ රෙජීමයට තම බොනපාට් පන්නයේ පාලනය පවත්වා ගෙන යාමට හමුදාවේ එම මානසිකත්වය කොතරම් දුරට අවශ්‍යව පවතීද යන්න රතුපස්වලදීත් වෙළෙඳ කලාපයේදීත් ධීවරයන්ගේ විරෝධයට වෙඩි තැබූ අවස්ථාවේදීත් ප‍්‍රකට විය. එහි අතුරු ඵලය වී ඇත්තේ යුද හමුදා සෙබළුන් තරම් අපරාධ මිනී මැරුම් ඉහළ යාමයි. ප‍්‍රධාන පෙළේ සියලූම අපරාධ පිටුපසින් හමුදා සෙබළුන් සිටින තත්වයක් දක්නට ලැබෙයි.
අනෙක් අතට මාධ්‍ය විසින් මෙම සිදුවීම් වාර්තා කරද්දී දක්නට ලැබුණු විශේෂත්වයක්ද විය. ඒ තරුණිය ද වරදකරු කිරීමයි. පොදුවේ සමාජයේ ගැහැනුන් හා මිනිසුන් කියවීමට ආශා කරන්නේ ද ස්ත‍්‍රී චපලත්වය පිළිබඳ වදන් බැවින් අලෙවිකරණය ගැන හිතන මාධ්‍ය කරන්නේ ඒ හැඟීම ම අතිශයෝක්තියට නංවන වාර්තා පළ කිරීමයි. අද ඇත්තේ සමාජ ය වගකීම් රහිත, දුක් කඳුළු හා හැඟීම් විකුණන මාධ්‍ය භාවිතයකි. ගමේ සිට විශ්වවිද්‍යාලයට එන තරුණයන් මෙන්ම තරුණියන් ද භේදයකින් තොරව අලූත් පේ‍්‍රම සම්බන්ධතා ඇරඹීම සාමාන්‍ය තත්වයකි. ඊට හේතුවක් තිබේ.
සමාජය නිරන්තරයෙන් බලපෑම් කරන්නේ ‘‘ඉහළට නැගපං... ඉහළට නැගපං..’’ කියාය. අධිපතිවාදී මාධ්‍ය විසිනුත් සමාජ මනෝභාවය විසිනුත් පුද්ගලයා පොලඹවන්නේ ඒ සඳහාය. මෙහි ඉහළ නැඟීම යනු දැන් සිටිනවාට වඩා ඉහළ සමාජ ස්තරයට රිංගා ගැනීමයි. අධ්‍යාපනය, රැුකියාව, යහළු යෙහෙළියන්, ඥාති සම්බන්ධතා, පේ්‍්‍රම සම්බන්ධතා හා විවාහය පමණක් නොව මිලදීගන්නා භාණ්ඩවලින් ද අපේක්ෂා කරන්නේ එම ඉහළ තත්වයයි. එය කිසිසේත්ම එක් එක් පුද්ගලයන්ගේ වරදක් පමණක් නොවේ. ඊටත් වඩා සමාජ - ආර්ථික පරිසරය විසින් බලපෑම් කරනු ලබන්නේ ඒ සඳහාය. තමන් සැබැවින්ම ආදරය කරන කෙනා වෙනුවට තමන් ඉහළ සමාජ ස්ථරයක එල්ලීමට පාවිච්චි කළ හැකි අයකු විවාහය සඳහා තෝරා ගැනීම පසුපස ඇති කතාන්දරයද එයයි.
දරුවකු විශ්වවිද්‍යාලයට යැවීම යනු ඥාතීන්ව ඉහළ පන්ති ස්තරයක එල්ලීමට ලැබෙන ආශාවක් මිස අන් යමක් නොවේ. එවන් තත්වයක් තුළ ගැහැණු පිරිමි බේදයකින් තොරව පේ‍්‍රමය පාවිච්චි කරන්නේ සහයෝගීතාවාදී දෘෂ්ටියකිනි. මිය ගිය තරුණියට ද මෙන්ම ඝාතනය කළ තරුණයාටද වරද පැටවීමට උත්සාහ ගන්නා සියලූ දෙනාද මෙහි වරද කරුවන්ය. ඔවුන් සියලූ දෙනාම අවිඥානිකව මෙම තත්වයට ගොදුරු වී සිටිති.
ජනරළ ඇසුරෙන්
0 comments :
Post a Comment