Saturday, October 27, 2012

ගබ්සාව : ආගම වෙනුවට සමාජීය සහ සෞඛ්‍ය සාධක පෙරට ගැනීම

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා සමඟ නාරද බක්මීවැව මෙහෙයවන යංග් ඒෂියා ටෙලිවිෂන්හි ත්‍රිමාන වැඩසටහන වෙනුවෙන් කරන ලද සාකච්ඡාවකින් උපුටා ගන්නා ලදී.

ගබ්සාව කියන්නෙ මොකක්ද?
ගර්භයකට සති 28 ක් පිරීමට පෙර එම කලලය විනාශ වීම ගබ්සාව කියලා කියනවා. ගැබ් ගැනීම්වලින් 10% ක පමණ ප්‍රතිශතයක් ස්වභාවිකව ගබ්සා වෙන්න පුළුවන්. ඊට අමතරව කිසියම් අයෙකු වුවමනාවකින් සිදු කර ගනු ලබන ගබ්සාවන් තිබෙනවා. අපි මේකට තව වචනයක් කියනවා සාපරාධී ගබ්සාව කියලා. කෙටියෙන් කිව්වොත් අපේ රටේ ස්වභාවික නොවන තමන්ගේ වුවමනාවට හෝ වෙනත් කෙනෙකුගේ වුවමනාවට කරගන්නා සාපරාධී ගබ්සාවන් දිනකට 700 - 1000 ත් අතර ප්‍රමාණයක් සිදු වෙනවා. ගබ්සා නීතියේ යම් යම් තැන් ලිහිල් කළ යුතුයි කියන සංවාදය දැන් පවතිනවා. එය සමාජයට හා සංස්කෘතියට දැඩි බලපෑමක් එල්ල කරන්නෙ නැතිව කරන්නෙ කෙහොමද කියන කාරණයයි වැදගත් වෙන්නෙ.

ඔබගේ අත්දැකීම් අනුව ගබ්සාවන් සඳහා පෙළඹීමේ ප්‍රවණතාවක් තිබෙන්නේ කුමන පිරිස්ද?
අවිවාහක මෙන්ම විවාහක කාන්තාවනුත් ඉන්නවා. ඇතැම් සමීක්ෂණ අනුව හෙළිවෙලා තියෙනවා විවාහක කාන්තාවනුත් විශාල කොටසක් ඉන්නවා. අද අවිවාහක අයගේ සංඛ්‍යාව ටිකෙන් ටික ඉහළ යනවා. ඒකට එක හේතුවක් ලිංගික කටයුතු පිළිබඳ නිවැරදි දැනුවත් බවක් නොමැතිකම. නමුත් ලිංගික කටයුතු සම්බන්ධයෙන් විය යුතු සීමා අද නෑ. මෙතනදි තමයි අපේ රටවලයි වෙනත් බටහිර රටවලයි අතර වෙනස තියෙන්නේ. බටහිර රටවල ලිංගිකත්වයට නිදහසක් තිබෙනවා. හැබැයි ලිංගික අධ්‍යාපනය කියන එක කුඩා කාලයේ ඉඳන්ම ඔවුන්ට දීලා තියෙනවා නිවැරදි ආකාරයට. එතකොට ඔවුන් දන්නවා මේ වගේ බරපතළ ගැටලුවකට නොයා කොහොමද බේරෙන්නෙ කියලා. අද අපේ තරුණ පිරිසට මේ දැනුම බොහොම අල්ප වශයෙන් තියෙන්නෙ. ලිංගික ක්‍රියාවලිය කරගන්න දැනගත්තට ඒක පරිස්සමෙන් කරන්නෙ කොහොමද නැත්නම් සීමාවල් තියාගන්නෙ කොහොමද කියන දැනුම අඩුයි.

විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සමඟ වැඩ කරන කෙනෙක් විදිහට ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය සම්බන්ධව ඔවුන් තුළ තිබෙන දැනුම සහ ආකල්ප කොයි වගේද?
බොහොම කනගාටුවෙන් කියන්න වෙනවා ඔවුන්ට ලිංගිකත්වය ගැන තියෙන දැනුම ඉතාම අඩුයි. පසුගිය සතියෙ සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ම මේක ගැන පුවතක් කියවුණා. ඒ ගොල්ලො කිව්වා ලිංගිකත්වය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කරන්න වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා, හැබැයි අපේ රටේ පළාත් අටකින් මේක ප්‍රතික්ෂේප වෙලා තියෙනවා කියලා. ඒ පුවතේ තවත් වැරැද්දක් තිබුණා. දසලක්ෂ තිස් හතරක මුදලක් මේ වැඩසටහනට වෙන් කරලා තියෙනවා කියලා. ඇත්තටම අපි දසලක්ෂ ගණන් වියදම් කළ යුතු නෑ. අපට තියෙනවා සෞඛ්‍ය කේෂ්ත්‍රයේ හොඳ යටිතල ව්‍යුහයක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුන්සියකට වැඩි ගණනක් තියෙනවා රට පුරා. ඒ වගේම ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන්, සායන තිහකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට තියෙනවා. මේවායේ පුහුණු කාර්ය මණ්ඩල ඉන්නවා, පහසුකම් තියෙනවා. මේවා අපට නිරන්තරයෙන් භාවිතා කරන්නට පුළුවන්. මේවට කිසිම අරමුදලක් අවශ්‍ය නැහැ. හැබැයි අපේ රටේ බොහෝ දේවල් වගේම අපි කතා කරනව විතරයි ක්‍රියාව ගැන ගැටලුවක් තියෙනවා.

ඔබට හමුවෙන අය අතුරින් වැඩිපුර දෙනෙක් අවධානය යොමු කරන්නේ ගබ්සා කර ගැනීමට ද නැත්නම් ආරක්ෂිත ලිංගික හැසිරීමක් පිළිබඳ දැන ගැනීමට ද?
ඒ තොරතුරු දෙවර්ගයම අපෙන් විමසනවා. මෑතකදි ආ පණිවිඩයකින් එක් තරුණයෙක් හෝ තරුණියක් විමසලා තිබුණා ‛ඩොක්ටර් ලිංගික සංසර්ගයකින් පස්සෙ ප්‍රශ්නයක් නොවෙන්න ගන්න පුළුවන් බේත මොකක්ද? ඉක්මනට ලියලා එවන්න’ කියලා. මේක ප්‍රශ්නයක්. මොකද ඒ ගොල්ලො ගැටලුවට ලක්වෙලා ඉවරයි. දැන් හිතනවා මොකක්ද කරන්නේ කියන එක. මං ඒ බෙහෙත ලියලා යැව්වා. මොකද ඒක මගේ යුතුකමක්. ඒ වගේම පසුගිය මාසයේ ආපු තවත් පණිවිඩයක තිබුණා හදිසි සම්බන්ධයක් නිසා දැන් තමන්ගේ යෙහෙළිය ගැබ් අරගෙන, හැබැයි දරු උපතකට ඉඩක් දීමට ඒ ගොල්ලන්ට හැකියාවක් නෑ. ඒ ගොල්ලෝ තාම ඉගෙන ගන්නවා. කොහොමද මේකට උත්තරයක් හොයා ගන්නෙ, කොතැනින්ද ගබ්සාවක් ආරක්ෂිතව කර ගන්නට පුළුවන් කියලා. මේක අපට උත්තර දෙන්නට බැරි ප්‍රශ්නයක්. අපට කියන්න බෑ අහවල් තැනට යන්න කියලා. හැබැයි එතැනදී මම ඒ තරුණයා දැනුවත් කළා දිගින් දිගටම. අවසානයේදි ඔහුට මා හමුවන්නට කියලා ඇරයුමකුත් කළා. මං හිතුව ඔහු එයි කියලා. හැබැයි ආවෙ නෑ. කොතැනින් නතර වුණාද දන්නෙ නෑ. මේක බොහොම සංවේදී කාරණයක්. මොකද අපිටත් මේ වයසේ දරුවෝ ඉන්නවා.

ඔබගේ “අනූවයි දශම අට ආඩම්බරය” කියන කෘතියේ කියවෙනවා සෞඛ්‍ය අංශ වාර්තා අනුව 2007 වසරේදී සිදුවූ දරු උපත් ගණනින් 7.7% ක ප්‍රතිශතයකට සිය කුස තුළ ඉඩ සලසා ඇත්තේ අඩු වයස් මව්වරුන් කියලා. ඒ වගේම අපේ රටේ සිදුවන අඩු වයස් විවාහ වීම් හා ගැබ් ගැනීම් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් දක්වන ප්‍රදේශයන්ට අදාළව දැකිය හැකි සුලබ හේතුකාරකයක් වන්නේ දරිද්‍රතාවය, අඩු අධ්‍යාපනය හා මාපිය රැකවරණය අහිමි වීම කියලා.
ඔව්, අවුරුදු පහළොව දහසයේ අය හමුවෙනවා. ඔවුන්ගේ වයස අනුව මානසිකව ඒ දැරියන්ට දරු ගැබක් දරාගෙන සිටින්නට හැකියාවක් නැහැ. ඒ වගේම සමාජය ඉදිරියේ මේ දරුවන් එක්ක ජීවත් වෙන්න හැකියාවකුත් නැහැ. ඉතිං අපි දන්නවා ඒ නිසාම මේ අය අවසානයේ වෙනත් ගැටලු සහගත තැන්වලට යොමු වෙන්න පුළුවන්. සමහර විට ලිංගික ශ්‍රමිකයන් වෙන්නත් පුළුවන්. ඒ වගේම අපි දන්නවා උතුරු මැද පළාතෙන් අඩු වයසේ දැරියන් ගැබ් ගැනීම සම්බන්ධයෙන් වැඩි වශයෙන් වාර්තා වෙන තත්වයක් තිබෙනවා. ඇතැම් වෙලාවට මේ දැරියන්ගේ දෙමව්පියන්ට අවශ්‍යවෙලා තිබුණෙ ඔවුන් විවාහයට පත් කරලා ආණ්ඩුවෙන් ඉඩමක් ලබා ගැනීමට අයිතියක් ලබා දෙන්නට. ඇත්තටම සමස්තයක් හැටියට රටේ වෙනත් ප්‍රශ්නත් මේ ප්‍රශ්නයට වක්‍රව බලපානවා.

මේ වෙනකොට ගබ්සාව යම් යම් සීමාවන්ට යටත්ව නීතිගත කිරීමේ කතාබහක් මතුවෙලා තිබෙනවා. අනිත් අතින් අපි දන්නවා ලංකාවෙ ගබ්සාවන් හැමදාම සිද්ධ වෙනවා. මෙය නීති විරෝධී ආයතන හරහා නේද වැඩිපුර සිදුවෙන්නෙ?
වැඩිපුර නෙමෙයි එහෙම පිටින්ම තිබෙන්නේ මේ ගණන. අපි දන්නවා නීතිය ආරක්ෂා කරන අංශත් දන්නවා මේවා තියෙන්නේ කොහෙද කියන එක. අපිත් දන්නවනෙ. ඒ වගේම බොහෝ ජනතාවත් දන්නවා මේවා කොහෙද තියෙන්නෙ කියලා. එක වැටලීම් කරනවා මාසෙකට නවතිනවා. එතැනම නැවතත් පටන් ගන්නවා. ඒ මගින් අපේ රටේ විවිධ වගකිව යුතු අංශවල ආරක්ෂාවත් එක්ක මේවා පවතිනවා කියන කාරණය තහවුරු වෙනවා.

ගබ්සාව නීතිගත කිරීමට දක්වන්න පුළුවන් සාධනීය කාරණා ගැන පැහැදිලි කිරීමක් කළොත්?
මේ සම්බන්ධ සමහර නීති රීති ලිහිල් විය යුතුයි. අද අපේ රටේ ලිංගික අපචාර ගැන බොහොම ඉහළින් කියැවෙනවා. එතනදි අතවරයට ලක් වෙන කාන්තාව අවුරුදු 18 ට අඩු ද වැඩි ද කියන කාරණය වලංගු නැහැ. එවැනි තත්ත්වයක් නිසා ගැබ් ගන්නා කාන්තාවන්ට තමන්ට ලැබෙන ඒ ගැබ බාර ගැනීමෙන් ඉවත් වීමට ඉඩක් තියෙන්නට ඕන. මොකද ඇත්තටම ඒ අය කලලයට වෛර කරමින් තමයි ඒ කලලය ජීවත් කරන්නේ. ඇත්තටම දැන් ඉදිරියට ලිහිල් කරනවා කියන නීතියේ සඳහන් වෙන්නේ අවුරුදු 18 ට අඩු දැරියන් ගැබ් ගැනීමක් සිදු වුණොත් ඒක ඉවත් කරන්න නීතියේ කිසියම් ඉඩක් දෙනවා කියන කාරණය. මේක යෝජනාවක් හැටියටයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. මම හිතන්නේ අවුරුදු 18 ට වැඩි කාන්තාවක් මේ වගේ අතවරයකට ලක් වුණොත් ඇයටත් මේ අයිතිය තියෙන්න ඕන. ඒ වගේම සමහර වෙලාවට අපි දකිනවා කලලයේ විකෘතිතාවන් තිබෙන්නට පුළුවන්. යම් විකෘතිතාවන් තිබෙන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වුණු අවස්ථාවකදීත් මේ අයිතිය තියෙන්න ඕන. ආබාධිත දරුවෙක් බිහි වෙනවා කියන්නේ ඒක ඒ පවුලට, සමාජයට බරක් වෙනවා. අද පවතින නීතිය 1883 බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ තිබිච්ච නීතියක්. ඒක තවම වෙනස් වෙලා නැහැ. ඒකට අනුව අපේ රටේ ගබ්සාවකට ඉඩක් තිබෙන්නේ මවගේ ජීවිතයට එම දරු ගැබ තර්ජනයක් නම් පමණයි. අපි අදට ගැලපෙන ආකාරයට කිසියම් නීති ලිහිම් කිරීමක් කළ යුතුයි කියන තැනට අපි එකඟ වෙන්න ඕන. මං හිතන්නේ මෙතැනින් තමයි අපි පටන් ගන්න ඕන. මීට අමතරව අපි දැන්ම තවත් කාරණා එකතු කරන්නට සූදානම් වුණොත් තව ගැටලු එන්න පුළුවන්. මොකද අපි දන්නවා මේ නීතිය ලිහිල් කිරීමට පවා ඇතැම් ආගමික අංශ මේ වෙනකොටම විරෝධය පළ කර තිබෙනවා.

මේ ගබ්සා කිරීම් පිළිබඳ වෛද්‍යවරුන් බොහෝ දෙනෙක් විරුද්ධයි.
ලිංගික අධ්‍යාපනය නිවැරදිව අපේ රටේ තරුණ පිරිසට හෝ අනිත් වැඩිමහල් පිරිසට දුන්නේ නැත්නම් කොහොමද මේ වගේ වැරදි නොවෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. සෑම මනුෂ්‍යයෙකුටම කිසියම් ආශාවන් තිබෙනවා. අපට ආශාවන් නැති මිනිස්සු මවන්න බැහැ. ඒක බොහොම සාධාරණයි. යෞවන වයස එළැඹෙනකොටම කායික වෙනසත් එක්කම මානසිකවත් වෙනස්වීම් වෙනවා. හැබැයි එතැනදි නිවැරදි දැනුම සහ මඟපෙන්වීම තියෙන්න ඕන. අපි ජනතාවට මගපෙන්වන්නේ නැතිව වැරැද්දට ගිහිල්ලා අමාරුවේ වැටුණු අය අවමානයට ලක් කිරීමෙන් පමණක් සෑහීමකට පත් වෙනවා නම් ඒක ඉතාම වැරදියි.

ගබ්සාව අවම කර ගන්නට ලිංගික අධ්‍යාපනය ලබා දීම කොතරම් දුරට වැදගත්ද?
අපි දේශනයකට ගියාම එන තුණ්ඩු කෑලිවලින් පේනවා ඒ අයට වැරදුණු තැන්. ඔවුන්ට කිසිම දැනුමක් නෑ කියන එකත් අපිට දැනෙනවා. අපි දකිනවා අද තියෙන නිදහසත් එක්ක ප්‍රේම සම්බන්ධතාවකට යන තරුණ වයසේ කෙනෙක් වුණත් සතියෙන් දෙකෙන් ලිංගික ක්‍රියාවලියටත් යනවා. මේක අපිට හංගන්න දෙයක් නෑ. අනික අපේ රටේ පවුල් සැලසුම කියන සංකල්පය 1953 ඉඳන් ටික ටික වර්ධනය වෙලා 1965 දි ජාතික වැඩසටහනක් බවට පත් වෙලා මේ වෙනකොට ලෝකයේ හොඳ තැනක තියෙන්නේ. සංඛ්‍යා ලේඛන අනුව කියනවා අපේ රටේ උපත් පාලනයට සුදුසු වයසේ කාන්තාවන්ගෙන් 53% කට ආසන්න සංඛ්‍යාවක් උපත් පාලන ක්‍රම භාවිතා කරනවා කියලා. ලෝකයේ වෙනත් රටවල් එක්ක සංසන්දනය කරන කොට මේක හොඳ තත්ත්වයක්. නමුත් දවසකට ගබ්සාවන් දහසක් හෝ ඊටත් වඩා සිදු වෙනවා. මේ තත්ත්වයන් දෙක එකිනෙකට පරස්පර දේවල්. උපත් පාලනය හරියට සිදු වෙනවා නම් කොහොමද මේ තරමට ගබ්සාවන් වෙන්නේ? ඒකට හේතුවක් තියෙනවා. උපත් පාලනය අපේ රටේ ජනතාව අතර ප්‍රචලිත වුණාට ඒ උපත් පාලනයන් නිවැරදිව සිදු කරන හැටි ගැන ඔවුන් දැනුවත් නැහැ. අපේ රටේ අද වැඩිපුර භාවිතා වෙන්නේ තාවකාලික උපත් පාලන ක්‍රමයි. නමුත් ඒකත් නිවැරදි දැනුම ඇතුව සිදු වෙන්නේ නැහැ. ඒ නිසාම මේ උපත් පාලන ක්‍රම අනුගමනය කරන පිරිස පවා ගැබ් ගැනීම්වලට ලක් වෙනවා. ඒ නිසා තමයි අර විවාහක අය මේ ගබ්සා පෝලිමේ ඉන්නේ. මොකද ඒ අයටත් වරදිනවා.

ජනතාවට ලිංගික අධ්‍යාපනය ගැන අවබෝධය ලබාදෙන්න නිසි ක්‍රමවේදයක්, මධ්‍යස්ථානයක් තියෙනවාද?
අපි හැමදාම කොතැනක හරි එවැනි වැඩසටහනක් පටන් ගන්නේ අපිට ආධාර ලැබුණ වෙලාවකදි විතරයි. එයින් පස්සේ අපිට වැඩසටහන අමතක වෙනවා. අපේ රටට, පරිපාලනයට, දේශපාලනයට බෝ වෙලා තියෙන ලෙඩක් මේක. මේ ලෙඩේට තාම බෙහෙත් හම්බ වෙලා නෑ.


වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි  මහතා

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ත්‍රිමාන වැඩසටහනෙහි වීඩියෝව මෙතනින් බලන්න...

0 comments :

Post a Comment