Monday, October 15, 2012

කර්මය අහෝසි වී සෙනසුරා මාරු විය.

“මචං අද හවසට සෙට් වෙමුද?” මගේ දැහැන බිඳිමින් මිතුරකු මා ඇමතීය. “අද අපි කර්ම බලන්න යනවා”
“ෂා... එලනේ.... එහෙනම් හයයි තිහ ෂෝ එක බලමු”
“හරි පහමාරට කැන්ටිමට වරෙන්” කියමින් මිතුරා පිටව ගිය පසු මා කල්පනා කරන්න‍ට
වූයේ ප්‍රසන්න ජයකොඩිගේ ‘සංකාරා’ ගැනය. මා උසස්‍ පෙළ සිසුවකුව සිටි අවධියේ නැරඹූ සංකාරා හි කථාව සිහියට නගමින් යළි මා දැහැන් ගත විය.
අපි සිනමා ශාලාව අසලට ලඟා වන විට හයයි විස්ස පමණ විය. “ නිකං යන්න බෑනේ මචං” කී නිසා කඩෙන් ගත් මෙගා බීම බෝතල් හා කඩචෝරු අතැතිව අපි තුෂ්නිම්භූතව ගල් ගැසුනේ සිනමා ශාලාව අසල තිබූ දැවැන්ත බැනරය දැකීමෙනි.
“සෙනසුරු මාරුව” යයි එහි ලොකු අකුරින් සඳහන්ව තිබුනි.
“හුටා..... කර්ම නැද්ද?”
“අඩේ..... මචං මේකෙ නෙවෙයිනේ තියෙන්නේ. ‍කුණු ඇළ පාරෙ තියෙන එකේනේ”
අපි සය දෙනා අදාල පුද්ගලයා‍ට අනුමෝදන් කරමින් කුණු ඇළ පැත්තට පා‍ නැ‍ගුවෙමු. ඒ වන විටත් මිනිත්තු 10 ක් ක් 15 ක් පමාවී තිබූ නිසා සිනමා හලට ඇතුලු ‍වූයේ කලබලයෙනි. නිදා සිටි සිකුරිටි මහත්මයෙකු “මේ මහත්වරු‍ මොකද?” යැයි ඇසූ පැනයට මා පෙරලා පැනයක් නැගීමි. “ෂෝ එක පටන් අරන් ගොඩක් වෙලාද?”
“ ආ...... අද පෙන්නුවේ නෑ. හය දෙනෙක් ඇවිත් හිටියා. ඒ අයත් යන්න ගියා. ඕන නම් අල්ලපු එකේ එකක් තියෙනවා” යයි කීවේ එය සිනමා ශාලාවටලට නුපුරුදු දෙයක් නොවූ අයුරිනි. ‘මේක ‍අපේ කරුමේ’ කියමින් ජීවිතයේ දුක් කම්කොටොලු ඉවසා වදාරන නූතන සමාජයේ මිනිසුන්ට තවත් කර්මයක් කුමටදැයි ඔවුන් සිතුවා විය හැක. එසේත් නැතිනම් ප්රාසන්න ජයකොඩිගේ ‘කර්ම’ අහෝසි කර්මයක් වී ගියා දැයි මා නොදනිමි.
“හුටා.... එහෙනම් යමුකෝ අල්ලපු එකට” කියමින් යාර 20 ක් 30ක් ඈතින් වූ සිනමා හලට ඇතුළු වූයේ කෙසේ හෝ සිනමා පටයක් බැලීම‍ට තිබූ උවමනාව නිසා නොව කෑම බීම උස්සාගෙන ගිය නෝන්ඩිය වසා ගැනීමටය.
“මොකද්ද ෆිල්ම් එක?” අනෙක් සිනමා හලෙන් විමසූ විට ලැබුනේ තනි වචනයේ පිළිතුරකි.
“සෙක්ස්”
“නයි කයිද රෝස් පාන්.... ඇඩල්ට්ස් ඔන්ලි නේද”
“ඔව් දැන් ඉතිං ආපු එකේ බලලම යන්න” යයි කීවේ මා අත වූ මෙගා බීම බෝතලය දෙස ද බලමිනි.
“සෙක්ස් කියලා ඉතිං අමුතු එකක් පෙන්නන්නේ නෑනෙ. ඒක නම් කොහෙන් බලා ගන්න බැරිද. අපි එහෙනම් ‘සෙනසුරු මාරුව’ බලමු” ඒ අදහස අනුමත කරමින් සියලු දෙනාම ආපසු හැරුනේ සිනමා ශාලා හිමිකරුගේ පැතුම් සුන් කරමිනි.
රාත්රී 7.00 ට ස්වල්ප මොහොතකට පෙර ලබාගත් ඕ.ඩී.සී ටිකට් 7 න් අපි සත්දෙනා සිනමා ශාලාවට ඇතුළු වන විටද තිරය මත දැවැන්ත ගැටුමක් දිගහැරෙමින් පැවතුනි. ආසනයකට බරවී වට පිට බැලූ මට “අනේ අපොයි” කියවුනේ නොදැනීමය. අපි සත් දෙනා සහ තවත් ප්රේ ක්ෂකයන් 8 ක් එහි විය.

සෙනසුරු මාරුව වූ කලී උදයකාන්ත වර්ණසූරියගේ අංජලිකා තරම්ම ගොන්පාට් නොවීම පිළිබඳ මා සතුටු වීමි. බැලූ බැල්මට හොලිවුඩ් චිත්රසපටයක ආසන්නයටම සෙනසුරු මාරුව පැමිණ තිබිණ. හොලිවුඩ්හි මෙන් කප්පම් ගැනීම්, හොලිවුඩ් වල වැනි මැර කල්ලි, නයිට් ක්ලබ්, වාහන අනතුරු මේ සියල්ලම පාහේ ‍හොලිවුඩ් සේය. රාත්රිැයේ වාහන ධාවනය කරන දර්ශනය දුටු මට සිහි වූයේ ‘ෆාස්ට්න ෆයිව්’ චිත්රොපටයයි. ලකී ඩයස්, චන්න පෙරේරා වැනි නළුවන් නොසිටින්නට මෙය හොලිවුඩ් සිනමා පටයක් යැයි ප්රේසක්ෂකයින් සිතනවා නොඅනුමානය. අවසාන භාගයේදී ටකරන් තහඩු වලට හා ප්ලාස්ටික් බැරල් වලට මුවාවී වෙඩි තැබීම හැර අනෙකුත් දර්ශන එතරම්ම ගොන් පාට් ඒවා නොවීය.
ලාංකේය දේශපාලනයේ සුළු සුළු තැන් කීපයකට පුංචි පහරක් එල්ල කිරීමට දෙබස් කීපයක් එකතු කිරීමට ද අමතක කර නොතිබුනි.
“ඔය වැඩේට ඕන නම් මගේ සුදු වෑන් එකක් තියෙනවා” යන දෙබසින් අපට සිහිපත් කරන්නේ ලාංකේය දේශපානයේ ජනතා මර්දනයේ නවමු මාවතක් විවර කළ සුදු වෑන් සංස්කෘතියයි.
“මාමටම හරියන බෑනා. තොපිට ආණ්ඩු කරන්න දුන්නොත් රටම ඉවරයි” තවත් එවැනි දෙබසකි.
විශේෂයෙන් සඳහන් කළ යුතු යමක් ඇත. ඒ චන්න පෙරේරාගේ රංගනයයි. එහි යම් සංවර්ධනයක් මා දු‍ටිමි. ඔහුගේ භාව ප්රනකාශනයන් ඔහුගේ වයසත් සමගම මුහුකුරා ගොස් ඇති අයුරක් පෙනෙන්නට තිබුනි. මෙහි රංගනය සත් පුර වැසියෝ හි ‘අහිංසා’ ට පෙම් කළ ‘පැතුම්’ ගේ තරම් ලාමක නොවීම පිළිබඳ මා සතුටු වීමි.
සමස්තය ගත් කළ අඩු වියදමකින් සිනමාවට යමක් කිරීමට උදයකාන්ත වර්ණසූරිය උත්සහ දරා ඇති බව පෙනේ. එය කෙතරම් දුරට සාර්ථක ද අසාර්ථක ද යන්න තීරණය කිරීම ඔබට බාර කරන්නේ කර්ම බැලීමට වෙනත් දිනයක් මවිසින් සොයා ගත යුතු නිසාවෙනි.

පැතුම් කංචනාත්

0 comments :

Post a Comment