Monday, January 9, 2012

ක‍්‍රමයේ මාරකය වූ ස්මාරකය

     ඇදගෙන නාන්න ළිඳට යා යුතුය. ගිලී කිමිදී නාන්නට යා යුත්තේ ගඟක්, ඇලක්, දොලක්, වැවක් වැනි විශාල ජලාශයකටය. ඕනෑනම් ළිඳට ගිහින් නිර්වස්ත‍්‍රවද නෑම කළ හැක. පරහකට තියෙන්නේ නාන තැනැත්තා හෝ තැනැත්තියගේ හෝ හෙලූව අනිත් මිනිසුන්ට පෙනීම පමණි.

      නිර්වස්ත‍්‍රව නෑමත් හෙලූව නොපෙනීමත් යන දෙකම එකවර ඉටුකර ගැනීමට සුදුසුම ක‍්‍රමය නම් වැවක නෑමය. ඒ සඳහා, සියලූම වැව් පහුකරගෙන වීරකැටිය බස් එකේ නැඟ

මැදමුලන අසළ පිහිටි උඩුකිරිවිල වැවට ගියෙමි.

      ඒකටත් හෙනහුරෙක්, මහින්ද මහත්තයලා මැති ඇමතිවරු ඔක්කොම උඩුකිරිවිල වැවේ බැහැල දියබුං ගසමින් ජල ක‍්‍රීඩාවේය.

     උසස් පෙළ විභාග රිසල්ට් එක දැනගන්න ආපු කොල්ලො කෙල්ලො වැව් කණ්ඩිය දිගේ රැස්වී ජලකෙළිය නරඹති. බැරිම තැන S.B - බන්ධුල ඇමති දෙපළ පල්ල නැති බේසමකින් හෙලූව වසාගෙන වැවෙන් ගොඩවූහ. ගෑණු ළමෝ මර හඬදීගෙන හැරුන අතේ දිවගිය අතර කොලූ රංච තනි ඇහෙන් අඬමින් උපහාර ගීය ගැයීම ඇරඹූහ. ඩලස් ඇමති අත්දෙකෙන්ම පල්ල නැති බේසම වහනකොට ප‍්‍රමාද වැඩිය.

      ජපුර උපකුලපතිට ජංගම ඇමතුමක් ගත් ජනපති, ''විරු - සිසු ස්මාරකයට බෝම්බ තිව්වේ ජවිපෙ කැරලිකාරයෝ කියල තමුසෙ කියන ගොංකතා නිසා කොල්ලො කෙල්ලො කුලප්පු වෙලා මෙතෙන්ට පාගමනින් ආවොත් මොකක්ද ඕයි අපට වෙන්නෙ” යැයි කියමින් උපකුලපතිට බැණ වැදුනේය.

     ''නෑ සර් මට ඒක කිව්වෙ ඉතාම විශ්වාසවන්ත අන්තරේ හිටපු පරණ පොරක්..... හඳුන්නෙත්ති මන්ත‍්‍රීතුමා..... මොකද එයා නේ ලලිත් - කුගන් දෙන්නත් කැමැත්තෙන් අතුරුදන්වෙලා ඉන්නබව හෙළිකෙරුවෙ” කියමින් උපකුලපති මූලාශ‍්‍රය අනාවරණය කළේය.

     ''යකෝ වීරවංශය මට තැපෑලෙන් ලියුම් පිට ලියුම් එවනව පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මොත් මරාගෙන මැරෙනවයි කියල.. මං ඒකට බයවෙලා වැඬේ පස්සට අදින්න ඉන්නකොට හඳුන්නෙත්තිය කරපු ගොං වැඬේ බලපන්.. චිඃහ්..”

     ''දැං මට එස්ටීඑෆ් එකෙන් කෝල්කරල කිව්ව බෝම්බ ගහපු බවට කිසිදු සාක්ෂියක් නෑ.. ඒක ස්ථිරයි කියල” ජනපති දැඩි කනස්සල්ලට පත්වෙලාය....

     ''එහෙනම් ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ සර්?” උපකුලපති විමතියෙනි.

     ''මිනිහෝ එස්.බී.ය, බන්ධුලය, හඳුන්නෙත්තිය ඔක්කොම පස් පාගපු තැන නේ ජඬපුර කියන්නෙ.. මමත් නිකම්ම ඞී. ඒ. රාජපක්ෂගෙ පුතා කාලෙ රස්සාව කරෙත් ඔතන නේ බං.. ඔය ලලිත් කුමාර වීරාජුත් ඔතන රස්සාවක් කරාලූ නේ”

     ''හරි සර් දැං මේ ස්මාරකේට වෙච්චදේට ඒවයෙ තියෙන සම්බන්ධෙ මොකක්ද?” උපකුලපති කුතුහලයෙනි.

     ''සම්බන්ධෙ හොයන්න තමයි බං මම වෛද්‍ය සභාවට කාලෝ ෆොන්සේකව දැම්මෙ.. අන්න එස්.ටී.එෆ්. එකෙන් කාලෝ ස්මාරකය ළගට එක්ක ගිහින් හේතු හොයල මට දැන් කිව්ව විරු සිසු ස්මාරකයට පණ ඇවිල්ලය.. සියලූම ජෛව රසායනික ක‍්‍රියා යහතින් සිදුවෙනවය... පණ ඇවිත් මුලින්ම උස්සල තියෙන්නෙ වම් කකුළය කියල....”

     ''එහෙනම් සර් මම කාලෝ මහාචාර්යතුමාට කතා කරල වැඩි විස්තර දැනගන්නම්” බියට පත් කුලපති කීය.

     ''කාලෝට කතාකරාට වැඩක් නෑ බං.. උඹේ කේන්දරේ බලන එකාට කතාකරපං.. මමත් මගේ කේන්දර බලන එකාට කතාකරන්න යන්නෙ...” කියමින් ජනපති හනි හනිකට දියෙන් ගොඩට ආවේය..

      රජෙකුගේ හෙලූව දැකීමෙන් විලිලැජ්ජාවට පත්වී අහක බැලූන මට හිතුනේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉහළ නැගපු එවුන්ම ඒක විනාශ කරනව බලන් ඉන්න බැරුව ප‍්‍රතිමා, ස්මාරක විතරක් නෙමෙයි ගස් ගල් පවා කුපිතවෙලා මේකට එරෙහිව නැගී සිටීවි යන්නය.


සංස්කාරක - තෙවන ඇස
Lankaviews ඇසුරින් සංස්කරණය කරන ලද්දකි

0 comments :

Post a Comment