Thursday, July 17, 2014

මිථ්‍යා දෘෂ්ටිකයෝ වැඩිවෙන තරමට පාලකයන්ට හොඳයි....

ගමේ රටේ පළාතේ සුදු චරිතයක් වුණත් මේ චරිතය තුළ කළු චරිතයක් ඇතැම්විට සැඟවී තිබෙන්නට බැරි නැත. සම්‍යග්දෘෂ්ටිකයෙක් යැයි එළියට පේන චරිතයෙහි බොහෝ මිත්‍යාදෘෂ්ටික අදහස්, සිතුම් පැවතුම් හැංඟී තිබෙයි. බෙර ගෙඩි තරම් යන්තර එල්ලාගෙන විද්‍යාගාරයේ පර්යේෂණ කරන උදවිය ඕනෑ තරම් සිටී. හැබෑවටම විද්‍යාව ඉදිරියේ මිත්‍යාව තවත් බැබළෙන්නේ ඇයි...? සමබර කතා බහ උපුල් ශාන්ත සන්නස්ගල සමඟිනි

සම්‍යග්දෘෂ්ටිය හා මිත්‍යාදෘෂ්ටිය කියල දෙකක් තියනවා. සන්නස්ගල ඇසින් ඔයිට වඩා දෘෂ්ටියක් තියනවා ද?

ඉස්සර මිනිස්සුන්ට ලෝක පැවැත්ම විෂයයක් තේරුම් ගන්න බෑ. වෙලාවකට වහිනවා. හිටපු ගමන් පායනවා. හිටපු ගමන් භූමිකම්පා වෙනවා. සුනාමි එනවා. ගංවතුර ගලනවා. මේක වෙන්නෙ කොහොමද කියල ඉස්සර විද්‍යාත්මක දෘෂ්ටිවාදයක් තිබුණෙ නෑ. උදාහරණයක් කිවුවොත්, උතුරු ඉන්දියාවට වහිද්දී දකුණු ඉන්දියාවට ගංවතුර ගලනවා. හැබැයි ඒ වෙද්දී දකුණු ඉන්දියාවට පායන කාලයක්. එතකොට මිනිස්සු කල්පනා කරනවා, පායන කාලෙ කොහෙන්ද ගංවතුර කියලා. මිනිසුන්ට විද්‍යා ඥානයක් තිබුණෙ නෑ උතුරු ඉන්දියාවට වහින නිසයි දකුණට ගංවතුර ගලන්නෙ කියලා.

ලංකාවෙත් ඔය වගේමනෙ. උඩරටට වැස්සොත් දවස් දෙකෙන් රත්නපුරේට ගලනවා. හැබැයි කළුතරට පායනවා. ඊළඟට දවස් දෙකකින් කළුතරට ගංවතුර. අද මිනිස්සු මේ බව දන්නවා. ඒ කොහොමද? විද්‍යාත්මක දැනුම් දෘෂ්ටියක්. ඉස්සර මිනිස්සු මේ දේවල් දන්නෙ නැති නිසා ඕවට එක එක දේවල් කිවුවා. අප ලෙඩ වෙන්නෙ, ගංවතුර එන්නෙ, මේ සේරම අද්භූත බලපෑම්. නොපෙනෙන බලවේග. දෙවියො මේවා කරනවා. උදාහරණ ඉස්සර වැස්සෙ නැති කාලෙට වැස්ස ඉල්ලලා මිනිස්සු දෙවියන්ට යාඥා කළා. අදත් කරනවනෙ. අප දන්න විද්‍යාව අනුව නම් පුද පූජා කළාට වහින්න විදියක් නෑ. ඒකට විද්‍යාත්මක කි‍්‍රියාවලියක් තියනවා.

ඉස්සර ජලය සහ ගින්දර දෙවියන්ගෙ දේවල්. ගිනි දෙවියො කියලත් කියන්නෙ. අද ගිනි දෙයියෝ ලයිටරේ සාක්කුවේ. එතකොට දෙවියොද මේ?. එහෙනම් දෙවියො සාක්කුවෙනෙ. ඉස්සර ගින්දර දෙවියො කියල හිතපු එක මිත්‍යාදෘෂ්ටිය. දැන් ගින්දර විද්‍යා දෘෂ්ටිය වෙලා. අලූත්ම දේ ඔබ කිවූ සම්‍යග්දෘෂ්ටිය. මිත්‍යාදෘෂ්ටිය අතරට විද්‍යා දෘෂ්ටිය ඇවිත්.

ඉස්සර බේත් නැති හැම ලෙඩ ම දෙවියන්ගෙ ලෙඩක්. උණ හැදුණත් දෙවියන්ගෙ ලෙඩක්. හෙම්බිරිස්සාවත් එහෙමයි. අද බේත් තියනවා. ප‍්‍රතිශක්තියක් තියෙන ඖෂධ තියෙන ලෙඩකට කවුරුවත් දෙවියන්ගෙ ලෙඩක් කියන්නෙ නෑනෙ. හැබැයි තවමත් ප‍්‍රතිශක්තියක් සොයා නොගත් රෝග දෙවියන්ගෙ ලෙඩ. උදා: පැපොල, කම්මුල්ගාය. උත්තර සහ ඖෂධ හොයා ගත්තුවා දෙවියන්ගෙ ඒවා නොවෙයි. විද්‍යාව තේරුම් නොගත්තවුන් මිත්‍යාදෘෂ්ටිකයො. විද්‍යාව තේරුම් ගත්තවුන් විද්‍යාදෘෂ්ටිකයො. ලෝකය මේතරම් දියුණු යුගයක මිනිස්සු විද්‍යාදෘෂ්ටියට යාම යහපත් හැටියට මා දකිනවා. මිත්‍යාදෘෂ්ටික පාලකයෝ සහ පාලිතයෝ ඉන්න එක රටක අවාසනාවක්. 

අපි මිත්‍යාදෘෂ්ටිය ලෙස සලකන බොහෝ දේවල් පාරම්පරිකව ම බැඳී එන දේවල්. යන්ත‍්‍ර, මන්ත‍්‍ර, බලිතොවිල් විතරක් නොවෙයි, ඔබ කිවූ ස්වභාවික දේව ඇදහිිලි, දෙවියන්ගෙ ලෙඩ, මේ බොහෝ දේ එහෙම ගත්තම මිත්‍යාදෘෂ්ටිය පැතිරෙන්නෙ පාරම්පරිකව ද?

මේවා ඇතුළේ පාරම්පරික ඥානය තියෙනවා. කලාව තියෙනවා. දේශජ සංස්කෘතික ලක්ෂණ තියෙනවා. ඒක වෙනම ඓතිහාසික කාරණාවක්. මිනිස්සුන්ගෙ හැඟීම් අවුස්සන්න ලේසියි. හෘද ගෝචර දේට ගෙනියන්න ලේසියි. මිනිස්සු මිත්‍යාවට ගෙනියන්න ලේසියි. හැබැයි මිනිස්සු විද්‍යාවට ගෙනියන්න අමාරුයි. විද්‍යාත්මකව යමක් තේරුම්ගැනීම අධිකතර බුද්ධිමය ශ‍්‍රමය කැප කළ යුතු, කටුකව හැදෑරිය යුතු දෙයක්. ප‍්‍රඥාවෙන්, බුද්ධියෙන් තේරුම් ගත යුතු දෙයක්. මිනිස්සු වැඩි දෙනෙක් කටුක දේ පැත්තකින් තියලා මිත්‍යාදෘෂ්ටිය පස්සෙ යනවා. ඒ නිසා මිත්‍යාදෘෂ්ටිය බුද්ධි සම්පන්න නෑ. ඒවාට එක පාරට කෙනෙක් භාවමය ලෝකයට ඇදල ගන්න පුළුවන්. 


කවුරුවත් සමාජය ඉදිරියේ මිත්‍යාදෘෂ්ටිකයෙක් කියල අහන්න කැමති නෑ. හැමෝම සම්‍යග්දෘෂ්ටිකයො. ඔය සම්‍යග්දෘෂ්ටිකයොත්, ඔබ කිවු විද්‍යා දෘෂ්ටිකයොත් හොරෙන් හොරෙන් මිත්‍යාදෘෂ්ටිය පස්සෙ දුවනවා?

මානවයා තවමත් ඓතිහාසිකව මිත්‍යාදෘෂ්ටික ප‍්‍රතික්ෂේප කිරීමට බයක් තියෙනවා. ඒක විශාල තිගැස්මක්. තාමත් හොල්මංවලට, මැරුණට පස්සෙ යන්නෙ කොහේද?, අදෘශ්‍යමාන බලවේගවලට, අහස, පොළොව, මේ හැමදේටම මිනිස්සු ආත්මගතව බයයි. අනාගතය සම්බන්ධව කාටත් විශාල තිගැස්මක් තිියෙනවා. ඊළ`ග ආත්මෙ ගැන? මැරුණට පස්සෙ මොකද වෙන්නේ? යනාදී වශයෙන්ම දැනටත් ලෝකෙ තේරුම් අරන් තියෙන විද්‍යාවේ ප‍්‍රමාණයට වඩා තේරුම් නොගෙන තියෙන ප‍්‍රමාණය ඉතාම වැඩියි. විද්‍යාව සොයා ගෙන තියෙන දේට වඩා විද්‍යාව විසින් සොයා නොගත් ප‍්‍රමාණය වැඩියි. මේ නිසා මිත්‍යාදෘෂ්ටික අදහස් විඥානය ඇතුළෙ විශාල ප‍්‍රමාණයක් ඉතිරිව තියෙනවා. ලෝකෙ කොච්චර විද්‍යාදෘෂ්ටිය කතා කළත් ඒ කවුරු ළඟත් හොරෙන් මිත්‍යාදෘෂ්ටිකයො ඉන්නවා. ඒ ඇයි...? තවමත් ලෝකෙ තේරුම් නොගත් බොහෝ දේ තමන් ඉදිරියේ තියෙන නිසා. මා උදාහරණයක් කියන්නම්. අපි බොක්සිං මැච් එකක් බලනවා. මේකෙ සෙල්ලම් කරන්නෙ අපි අඳුනන්නෙ නැති කළු ජාතිකයෙක් සහ සුදු ජාතිකයෙක්. අපි කියනව අපි ජාතිවාදී නෑ. අපි වර්ණවාදී නෑ කියලා. ඒක විද්‍යාදෘෂ්ටිය හදපු එකක්. හැබැයි අපේ උප විඥානය ඉතා කැමතියි කළු එකා, සුදු එකාට පැණි හැළෙන්න ගහනවාට. ඒ අපි උප විඥානය ඇතුළෙ සුද්දට විරුද්ධ නිසා. 

මා දන්නා කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක්. ලෝකය භෞතිකයි කියලා අපෝහක භෞතිකය සහ මාක්ස්වාදය අපට ඉගැන්නුවා. ඉතා ම අහඹු සිද්ධියක දී මේ ආචාර්යවරයාගෙ දරුවා ගහකින් වැටිලා අසාධ්‍ය වුණා. කලින් ඔහු මේවගේ දේවල් ඉගැන්නුවේ ඒක සම්භාවිතාව පුතා කියලා. ඔහු කිවුවේ එහෙම දෙයක් අහඹු ලෙස වෙන්න ඉඩ තියෙනවා කියලා. හැබැයි තමන්ගෙ දරුවා දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත්, මරණයත් අතර සටන් කරමින් ඉන්නකොට අර මහාචාර්යවරයා බෝධි පූජාවක් කරමින්, දෙවියන්ට කියමින්, අහස දිහා බලාන ඉන්නවා. එදා එයා මට කියනවා -උපුල් අපි මෙච්චර කල් දන්න විද්‍යාවෙන් මට මේකට උත්තරයක් නෑ. දොස්තරලාට උත්තරයක් නෑ. මාක්ස්වාදයට උත්තරයක් නෑ. මං ඒ නිසා දෙවියන්ට කියනවා මගෙ දරුවා බේරල දෙන්න කියලා. ඒ අනුව අවසාන තුරුම්පුව ලෙස අර මහාචාර්යවරයා භාවිතා කරන්නෙ මිත්‍යාදෘෂ්ටිය. මොකද, විද්‍යාවෙන් උත්තරයක් නැති හැම විටම මිනිහා කවුරු වුණත් මිත්‍යාදෘෂ්ටිය දෙසට තල්ලූ වී යනවා. 

අප දන්න විදිහට ඔබ කියන විද්‍යාදෘෂ්ටිකයොත් වැඩ පටන් ගන්නෙ රාහු කාලය එහෙම පන්නලා. හූනෙක් ‘චුක් චුක්’ ගෑවත් මූණ හරි නෑ. අනුන්්ට විද්‍යාදෘෂ්ටික බණ කිවුවට තමන්ගෙ ජීවිතේ පුරාම මිථ්‍යාදෘෂ්ටිය පිරිලා. එහෙම නේද?

දේවාලයක් ළඟින් බස් එකක් යද්දී මෙතනින් එහාට යද්දි අනතුරක් වෙයි කියල හිතන මිථ්‍යාදෘෂ්ටිකයො සියල්ලම ඉක්මනින් නැගිටල, පඬුරකුත් දාලා යනවා. තවත් සමහරු පස්ස පොඞ්ඩක් උස්සල වාඩිවෙනවා. හරියට වඳින්න හිතන්නෙත් නෑ. නොවැඳත් හොඳ නෑ වගේ. සමහරු වාඩි වෙලාම ඉන්නවා. අන්න ඒ වාඩි වෙලාම ඉන්න කොටස විද්‍යා දෘෂ්ටිකයො. ඒ අය හිතනවා, නෑ... නෑ... ඔය දේවාලෙට කරන්න පුළුවන් මඟුලක් නෑ. බස් එක එළවන්නෙ ඩ‍්‍රැයිවර්. ප‍්‍රශ්නයක් වුණොත් බස් එකේ වරද කියලා. දැන් මේ බස් එක ඇතුළේ මිත්‍යාදෘෂ්ටිකයොත් ඉන්නවා. විද්‍යා දෘෂ්ටිකයොත් ඉන්නවා. ගන්ධබ්බයොත් ඉන්නවා. ගන්ධබ්බයො කියන්නෙ පිළිගන්නෙත් නෑ, පිළි නොගන්නෙත් නෑ. හරියට බණ්ඩක්කා වගේ. ලංකාව වගේ රටක මේ තුන් කොට්ඨාසයම ඉන්නවා.

සුනාමිය ආපු වෙලාවෙ එක මහාචාර්යවරයෙක් කියල තිබුණ රාවණ නිදාගෙන හිටියෙ වම් ඇලේට. එයා දකුණු ඇලේ්ට හැරිච්ච නිසයි මුහුද ගොඩ ගැලූවෙ කියලා. ඒක විශ්වාස කරන පිරිසක් රට ඇතුළෙ ඉන්නවා. ඉ`දලා රාවණාට පෙරහැර කරනවා. ආසනික් තියෙනවා කියලා නාථ දෙවියෝ කතා කරල කිව්ව කියපු මහාචාර්යවරුත් ඉන්නවා, උගන්වන්නෙ ගණිතය සහ විද්‍යාව. කියන්නෙ මිත්‍යාදෘෂ්ඨිය. ව්‍යසනයක් වුණාම ඒක වුණේ පාපකර්මයක් නිසා කියල කියන අයත් ඉන්නවා. මේ මෑත කාලෙ කෙනෙක් කියල තිබුණා, එයා එක්ක කෙළින්ම ගණ දෙවියො කතා කරනව කියලා. ඌ මාර පොරක් වෙන්න ඕන. දැන් අපට ප‍්‍රශ්නයක් තියෙනවා. ගණ දෙවියෙ ඇයි, අපි එක්ක කතා නො කරන්නෙ ? ඇයි අපි කළු ද?

මිත්‍යාදෘෂ්ටිය අදහන අය අර ගණ දෙවියො ගනුදෙනු කරන කෙනා පස්සෙ, ඌ කියන කියන දේ කර කර යනවා. පුදුමෙ කියන්නෙ ලංකාවේ විද්‍යාව උගන්වන මහාචාර්යවරුත් ඔය මිත්‍යාදෘෂ්ටිය පස්සෙම දුවන එකනෙ. 

ගෙදර ඉන්න ගෘහනියගෙ ඉඳලා, රටේ පාලකයෝ දක්වාම මිත්‍යාදෘෂ්ටිය පස්සෙ දුවනවා කියල අපට හිතෙනවා. මිත්‍යාදෘෂ්ටියට ජාතියක්, ආගමක්, පාටක්, උස්පහත් භේදයක් නෑ වගේ?

ජාතියක්, ආගමක්, කුලයක්, පාටක්, පක්‍ෂයක්, ස්ත‍්‍රී පුරුෂ භේදයක් නැතිව රටේ ඉහළ සිට පහළටම මිථ්‍යාදෘෂ්ටිය වෙළාගෙන ඉන්නෙ. ප‍්‍රංශෙ දේශපාලකයෙකුට, ප‍්‍රංශ විද්‍යාඥයෙකුට පුරවැසියෙක් කිවුවොත් -උඹ මෙහෙම වැරැුද්දක් කරනවා, මානව හිමිකම් සම්බන්ධව උසාවි යනවා කිවුවොත්, පාලකයො බයයි. නගරාධිපති කෙනෙකුට කිවුවොත්, උඹ කරන ඔය වරදට අල්ලස් කොමිසමට යනවා කිවුවොත් ලෝකෙ වෙන රටවල නගරාධිපතියෝ බයයි. යම් රටක ඇමතිවරයකුට කිවුවොත් -ඔබ මෙහෙම වංචාවක් කරල තියෙනවා යනවා උසාවි කිවුවොත්, ඒ මැති ඇමතිවරු බයයි. ඒ අයටම පුරවැසියෝ කිවුවොත් -තොට පොල් ගහනවා, තොට හෙණ ගහනවා, කිවුවොත් ඒ අය කියනවා -ගහපිය පොල්, ගහපිය හෙණ, කියපිය දෙයියන්ට අපි බය නෑ” කියලා.

මේක අපේ රටට දාලා බලමු. පළාත් සභා මන්ත‍්‍රීවරයකුට කියනවා, -මං යනවා තොට විරුද්ධව පොලිසි” කියලා. එයා කියනවා -පලයන් පොලිසි, අපි පොලිසියට බය නෑ” කියලා. නාගරික මන්ත‍්‍රීට කිවුවොත්, ”අපි යනවා උඹට විරුද්ධව උසාවි” කියලා එයා කියනවා, -පලයන් උසාවි මං බය නෑ” කියලා. ඇමති කෙනකුට කිවුවොත් -මං කියනවා නියෝජ්‍ය පොලිස්පතිට” කියලා. -කියාපිය අපි ඌට බය නෑ” කියනවා. හැබැයි ඔය මැති ඇමැති රොත්තටම, පළාත් සභාවෙ රොත්තටම කිව්වොත්, තොට හෙණ ගහනවා කියලා. එදාට බයයි, තොට පොල් ගහනවා දෙයියන්ට කියනවා කිවුවොත් බයයි. මේකෙන් පේනවා මුන් වැඩි හරියත් මිථ්‍යාදෘෂ්ටිකයො. මිත්‍යාදෘෂ්ටිකයො නීතියට බය නෑ. හැබැයි දෙවියන්ට බයයි. ලංකාවේ ඉහළ සිට පහළටම සේරම ඔය වගේ. දෙයියන්ට බයයි. නීතියට බය නෑ.

බුදුදහම කියන්නෙ සම්‍යග් දෘෂ්ටියට ම`ග පෙන්වූ දහමක්. ඒත් අද සමහර භික්‍ෂූන්ම මිථ්‍යාදෘෂ්ටිය පස්සෙ යනවා. මොකද වෙන්්න යන්නෙ?

නැකැත් බලන කිසි භික්‍ෂුවක් බෞද්ධ වෙන්න විදියක් නෑ. යන්ත‍්‍ර මන්ත‍්‍ර වැඩ කරන කිසි භික්‍ෂුවක් බෞද්ධ වෙන්න විදියක් නෑ. පන්සලක දේවාලයක් හදන් ඉන්න කිසි භික්‍ෂුවක් බෞද්ධ වෙන්න බෑ. බුදුන් වහන්සේ කවදාවත් නක්ෂත‍්‍රය විශ්වාස කරන්න කිව්වෙ නෑ. බුදුන් වහන්සේ ‘දේවාල’ හදන්න කිව්වෙ නෑ. මං ඒ අයට යෝජනා කරනවා, කරුණාකරලා, වීදාගම මෛත‍්‍රිය හාමුදුරුවන්ගෙ, ‘බුදුගුණ අලංකාරය’ කියවන්න කියලා. දේවවාදයට කොයිතරම් පහරක් ගහල තියනවද බලන්න. නැකත් බලල වැඩ පටන් ගන්නෙම දේවවාදියො, නක්ෂත‍්‍රය විශ්වාස කරන්නෙ දේවවාදියො. බුදුදහම නක්ෂත‍්‍රය විශ්වාස කරන්නෙ නෑ. බුදු දහම කියන්නේ විශිෂ්ට ලෙස මනුෂ්‍ය චෙතසිකය විග‍්‍රහ කළ විද්‍යාත්මක දෘෂ්ටිවාදයක්. දර්ශනයක්. 

ලෝකෙ අනික් රටවල් සමඟ බැලූවම මේ කියන මිත්‍යාදෘෂ්ඨිය ඔඩු දුවල තියෙන්නෙ ලංකාවේ විතරද?
නෑ. ඉන්දියාවෙත් තියෙනවා. මේක ඒ ඒ රටවලට විශාල ආදායමක්. ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවල් කිසිදවසක මේ මිත්‍යාදෘෂ්ටිකයන්ට එරෙහිව නීතිමය වැඩපිළිවෙළක් ගේන්නේ නෑ.

ඉන්දියාවේ එක්තරා දේශකයෙක් අලි හොරෙක් වුණාට, ඔහු ලිංගික වංචනිකයෙක් වුණාට, ඔහු ළමා දුෂකයෙක් වුණාට, ඔහු මැජික්කාරයෙක් බවට විද්‍යාවෙන් තහවුරු වුණාට, ඉන්දීය රජය කිසි වේලාවක ඔහු තහනම් කරන්නෙ නෑ. ඇයි... ඒ ආශ‍්‍රමය ආශ‍්‍රිත ව, විශාල ආර්ථික සමාජ ගොඩ නැගීමක් තියනවා. ඒ ප‍්‍රදේශයේ සංවර්ධනයේ නියමුවා තමයි ඔහු. මිත්‍යාදෘෂ්ටික මේ තැනැත්තා අනන්ත ප‍්‍රමාණයක් ලෝවැසියන් රැුවැට්ටුවා. මේ වගේ මිත්‍යාදෘෂ්ටික රටවල් කැමතියි තව තව බබාල බිහිවෙනවාට. ලංකාවේ ආණ්ඩු හදපු මේ වර්ගයේ බබාල ගොඩක් ඉන්නවා. කේනදර බලනවා. ටී.වී. එකේ සාත්තර කියනවා. අනාවැකි කියනවා. මේ අය හදන්න හදන්න පාලකයන්ට හොඳයි. රටක මිත්‍යාදෘෂ්ටිකයො වැඩිවෙන තරමට පාලකයකුට රටක් පාලනය කරන්න පහසුයි. විද්‍යාදෘෂ්ටිකයො බිහි වුණොත් රටක් පාලනය කරන්න අමාරුයි. 

මිත්‍යාදෘෂ්ටිකයාට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම දීර්ඝ අනාගතයකුත් තියේවි. විද්‍යාව, තාක්‍ෂණය එක්ක මිත්‍යාදෘෂ්ටියට තිත නොවැටෙන්නෙ ඇයි...?

මේ තරම් විද්‍යාව දියුණු ලෝකයක, මේ තරම් සාහිත්‍ය දියුණු ලෝකයක, මේතරම් තාක්‍ෂණය දියුණු ලෝකයක, ටියුබ්වල ළමයි හදන ලෝකයක, හදවත් සැත්කම් කරන ලෝකය මත ඇයි මිත්‍යාදෘෂ්ටිය තියෙන්නෙ කියල ප‍්‍රශ්නයක් අහන එක සාධාරණයි. වෙලා තියෙන්නෙ විද්‍යාව තාක්‍ෂණයට වඩා මිත්‍යාදෘෂ්ටිය අද වේගයෙන් පැතිරිගෙන යනවා. ඕනෑම මාධ්‍යයක් බලන්න. විද්‍යාත්මක සොයා ගැනීමට තියන ඉඩට වඩා සාස්තරකාරයාට, මිත්‍යාදෘෂ්ටිකයාට දෙන ඉඩ ප‍්‍රමාණය වැඩියි. වෙනම පත්තර අතිරේක තියෙනවා. 

අද මනුෂ්‍යයා ඉදිරියේ විශාල ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. ආර්ථික ප‍්‍රශ්න තියෙනවා, ලිංගික ප‍්‍රශ්න තියෙනවා. දේශපාලන ප‍්‍රශ්න තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රශ්න තියෙනවා. දුවා දරුවන්ගේ ප‍්‍රශ්න තියෙනවා. මානව ජීවිතය ඉදිරියේ දහස් ගාණක් නො විස`දුණු ප‍්‍රශ්න. මේ ප‍්‍රශ්නවලට මුහුණදීම සඳහා ලංකාවේ පුරවැසියාට සිතීමේ ක‍්‍රමෝපායක් නෑ. විද්‍යාත්මක වැඩපිළිවෙළක් නෑ. දරුවට පාසලක් නෑ. විභාගෙ පාස් වුණාට විශ්වවිද්‍යාලයට යන්න බෑ. මිනිහා ?ට ගෙදර බීලා එනවා, රටේ දේශපාලනය වෙනස් කරන්න ඕනෑ. මේ කිසි දේකට විද්‍යාත්මක උත්තරයක් නෑ. රටේ අනාගතය සම්බන්ධයෙන් විශාල ගැටලූවක් තියෙනවා. මේ කිසිවකට විද්‍යාත්මක උත්තරයක් නෑ.

මේ උත්තරයක් නැති මිනිහාට ආර්ථික ප‍්‍රශ්න නිසා බ්ලොක් ගල් ගොඩ තිබුණට ගේ හැදෙන්නෙ නෑ. ළමයාට රස්සාව නෑ. එදා වේල කන්න කීයක්වත් නෑ. මේ කිසි දේකට උත්තරයක් නැති මිනිහා ඊළඟට මිත්‍යාදෘෂ්ටිකයෙක් හොයා ගන්නවා. සෙනසුරු, අ`ගහරු, නෙප්චූන්, ප්ලූටෝ ආදී වශයෙන්. දැන් ඌ කියනවා, ප‍්‍රශ්නයක් තියෙනවා -සෙනසුරුගෙ”. දැන් යථාර්ථය අතහැරල නොපෙනෙන, නොදන්න සෙනසුරු එක්ක ගනුදෙනු කරනවා.

සාත්තර කාරය කියනවා උළුවස්ස මාරු කරන්න, කොල්ලා  AL පාස් නැත්තෙ උළුවස්සෙ වරදින්. කෙල්ල කොල්ලෙක් එක්ක යාළු වෙලා. මේක අත අරින්නෙ නෑ. සාත්තර කාරයා කියනවා ගෙදර පිළිකන්නෙ ළිඳ වහන්න. බැලූවම පුතාට සෙනසුරු, තාත්තට බ‍්‍රහස්පති, පොඩි එකාට අඟහරු, බාප්පට බුධ, දුවට නෙප්චූන්, මට ප්ලූටෝ. යථාර්ථය පැත්තක දාල නොදන්න අදෘශ්‍යමාන බලවේග කොටසක් එක්ක ගනුදෙනු කරන රටක් මේ... 

මේ ඉන්න කෙල්ලො කොල්ලන්ගෙත්, එහෙමත් නැත්නම් රටේ අනාගත පරම්පරාවෙත් මිත්‍යාදෘෂ්ටිය නවත්වන්න තියෙන වැඩපිළිවෙළ මොකක්ද?

මිත්‍යාදෘෂ්ටිය නැවැත්විය හැක්කේ විකල්ප විද්‍යා දෘෂ්ටියක් ඇති කිරීමෙන් පමණයි. ලංකාවේ කෙල්ලො කොල්ලෝ තවමත් සමාජානුයෝජනය වෙන්නෙ මාධ්‍යයෙන්. සමහර පොඩි එවුන් පත්තරේ ගත්ත ගමන් බලන්නෙ ලග්නය. මොකුත් නෙමෙයි, තමන්ගෙ ජීවිත ප‍්‍රශ්නවලට උත්තරයක් තියෙනවද බලන්න. ඒ හින්දා ඔවුන් මිත්‍යාදෘෂ්ටිය පස්සෙ දුවනවා. මේ චක‍්‍රය මැද්දට පැනලා මේක නවත්වන්න ඕනෑ. ලංකාව වගේ රටක මේක පහසු කාර්යයක් නොවෙයි. මේක ලංකාවේ සියලූ පාලකයන්ට වාසියක්. ඇයි මිත්‍යාදෘෂ්ටිකයෝ ඉන්නකන් රට්ටුන්ව පාලනය කරන්න ලේසියි.

0 comments :

Post a Comment