Saturday, December 31, 2011

තගෙන් බැරිනම් වැඩමුළුවෙන්

     1970 දශකයේ මුල් භාගයේ දී (1973) ලෝක පරිමාණයෙන් මතු වූ ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්නට ධනේශ්වර ක‍්‍රමයේ මුර දේවතාවන් යුහුසුළුව උපක‍්‍රම සොයන්නට විය. එහි දී 1975 දී නයිරෝබි නුවර පැවැත් වූ දේශනයක දී එවකට ලෝක බැංකුවේ සභාපතිවරයා වු රොබට් මැක්නමාරා මෙම අර්බුදයට විසඳුම ලෙස නව ලිබරල්වාදය දේශනා කරන ලදී. එහි ප‍්‍රධානම ක‍්‍රියාමාර්ග ලෙස සමාජ ආරක්‍ෂණ නීති ලිහිල් කිරීම, සමාජ සුබ සාධනයෙන් රජය ඉවත් වීම, නිෂ්පාදන හා සේවාවන් පෞද්ගලීකරණය ආදිය ප‍්‍රමුඛ ක‍්‍රියාමාර්ග ලෙස හඳුනාගත හැක.

      1977 දී බලයට ආ ජේ.අර්.ජයවර්ධන ජනාධිපතිවරයා අප රට තුළ මෙම යෝජනා ක‍්‍රියාත්මක කිරීමේ වගකීම බොහෝ කැමැත්තෙන්, එමෙන්ම සිය පංති යුතුකම ඉටු කරනු පිණිස සිය දෙවුර මත පටවා ගත්තේය. පාර්ලිමේන්තුවේ 5/6 ක බලයක් හිමි ඔහුත්, ඉන් පසු බලයට ආ ආර්. පේ‍්‍රමදාස, චන්ද්‍රිකා කුමාරණතුංග, රනිල් වික‍්‍රමසිංහ ආදී නායකයෝ ද ජේ.ආර් කැපූ පාරේම ඉදිරියට ගියහ. ඔවුන් අධ්‍යාපන ක‍්‍රමයේදී අසාර්ථක වූයේ සංවිධානාත්මක ශිෂ්‍ය ව්‍යාපාරය නිසාවෙනි.

      දේශපේ‍්‍රමයේ බැටළු හම පොරවා ගත් වත්මන් ජනාධිපතිවරයා, කරමත ‘‘නිම නොකළ කර්තව්‍යයන්’’ ඉටු කිරිමේ වගකීම කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෝ ‘‘ගොඩ දමාවියැයි’’ එතුමා සිතන ඇමතිවරයෙකුට පවරා දී තිබේ. තමන්ට දුන් පැවරුම අවශ්‍ය පමණට සාර්ථක කර පෙන්වන්නට ඔහුද මෙතෙක් අසමත් ය.

     ශිෂ්‍ය ව්‍යාපාරය සරසවි පද්ධතිය පුරා අතු ඉති පතර විහිදා ඇත්තේ නවක වදයේ අනුහසින් යැයි වැරදිව තේරුම් ගත් ඔවූහු පළමුව එය තුරන් කරනු වස් මහා සංග‍්‍රාමයක් දියත් කළහ. ගාමිණි සමරනායක මහතා ජාතික රුපවාහිනියේ පසුගිය සතියේ පැවසූ ආකාරයට මේ වන විට නවක වදය සරසවි පද්ධතියෙන් තුරන් කර හමාරය.

      ඒ අතරතුර ශිෂ්‍ය සංගම්වලට විවිධ ලේබල් අලවන්නටත්, ඒවා රට තුළ අප‍්‍රසාදයට ලක් කිරීමේත් අරමුණ ඇතිව අවලාද ව්‍යාපාරයක් දියත් කරන ලදී. එයද සාර්ථක නොවූ තැන ආණ්ඩුවට හිතවත් ශිෂ්‍ය කල්ලි හා කණ්ඩායම් නිර්මාණය කර, ගැටුම් ඇති කිරීමටත් කටයුතු කරන ලදී. තවද ජයවර්ධනපුර ආදී සරසවිවල අන්තේවාසිකයන් බඳු උපකුලපතිවරු පත්කර ශිෂ්‍ය සංගම් පත් නොකර, බලහත්කාරී භීෂණයක් මවා පාමින් සිසුන් මර්දනයට කටයුතු කර ඇත. එම උපක‍්‍රමය වර්තමානයේ ද අත්හදා බලමින් සිටී.

      එහෙත් මේ සියල්ල කරන අතර තුර සිසූහු සිය අයිතීන් රැකගනු වස්, අධ්‍යාපනය විකිණීමට ඉඩ නොදෙනු වස් ධෛර්යය සම්පන්නව සටන් කරති. තමන් අසාර්ථක බව පෙනී ගියත්, පහසුවෙන් පරාජය බාරගන්නට අකමැති ඇමතිවරයා, දැන් අළුත් වැඩකට අතගසා තිබේ. ඒ වැඩමුළු හා දේශන පවත්වා සිසුන් දිනා ගැනීමයි. එහි පළමු පියවර ලෙස සැප්තැම්බර් 28 - ඔක්තෝබර් - 03 දක්වා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දී වැඩමුළුවක් පවත්වන ලදී. එහිදී, සිසු අයිතීන් උදෙසා අරගල සාර්ථක නොවන බවත්, රජයට ඒ ඕනෑම දෙයක් යටපත් කිරීම ඉතා සුළු දෙයක් බවත් විවිධ දේශනා හරහා ඒත්තු ගන්වන්නට උත්සාහ දරා ඇත. එපමණක් නොව පෞද්ගලික විශ්වවිද්‍යාල නව ලෝක රටාව තුළ අනිවාර්ය යථාර්ථයක් බවටත් තහවුරු කරන්නට උත්සාහයකුත් දරා තිබේ.

      බහුතර සිසුන් දේශනවලට එකඟ නොවූ අතර, සිසුන් දේශකයන්ට සිය විරෝධය ද පළ කර තිබේ. ඒ නිසා අවසානයේ එතනින් තෝරාගත් සිසුන් කිහිප දෙනෙකු සමග සිය ඉදිරි සැලසුම්, උපක‍්‍රම පිළිබඳ සකච්ඡුා කර තිබේ. මීට මාස දෙකකට පෙර දෙහිවල HNDE ආයතනයේ සිසුන්ට සිය සරමද උස්සාගෙන විත් පෞද්ගලිකව පහර දී, බැන වැදී තර්ජනය කළ ඇමතිවරයා තවත් උපක‍්‍රමයක් ක‍්‍රියාවට නගමින් සිටී. මෙය ඔහුගේ අවසාන ක‍්‍රියා මාර්ගය නොවනු ඇත.

සංස්කාරක - තෙවන ඇස
ගිනිසිළුව ඇසුරිනි

1 comments :

Mysty said...

නිදහස් අධ්‍යාපනය බල්ලට ගිහින් . රාජපක්ශ ආණ්ඩුව තමයි නිදහස් අධ්‍යාපනයට ලොකුම හානිය කරලා , ඒක විනාශ කරේ !

Post a Comment