Saturday, September 17, 2011

නැවත කළු ජූලියක් ඇති නොවීමට නම්...

     දිනය 1983 ජූලි 23 වැනිදාය, එදින රාතී‍්‍ර 07 ට පමණ පලාලි හමුදා කඳවුරේ සිට යාපනය දෙසට මුරසංචාරයක යෙදුණු හමුදා රථ පෙළකට කින්නවේලි ආසන්නයේදී එල්ලකළ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකින් උපලූතිනන් වාස් ගුණවර්ධන ඇතුලූ හමුදා සෙබළුන් 13 දෙනෙකු එම ස්ථානයේදීම මියගියේය. මෙම ප‍්‍රහාරයේ විශේෂත්වය වූයේ LTTE සංවිධානය සැළසුම් සහගතව ප‍්‍රහාරයක් එල්ල කොට ශී‍්‍ර ලංකාවේ සෙබළුන් මෙතරම් ප‍්‍රමාණයක් මරා දැමුණු පළමු අවස්ථාව නිසා පමණක් නොව, ඛඔඔෑ සංවිධානය ඇතුලූ දෙමළ සන්නද්ධ ව්‍යාපාරයට වසර 30 කට ආසන්න කාලයක් යුද්ධයක් පවත්වාගෙන යාම සඳහා, ලාංකීය දෙමළ සමාජ තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළද ඉඩ විවර කළ ‘‘කළුජූලිය’’ නමැති ලාංකීය සමාජය තුළ මෙවැනි කළු පැල්ලමක් ඉතිරි කළ සිදුවීම නිර්මාණය කිරීමට ආසන්නතම සිදුවීම නිසාය.

     එවකට පැවැති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව මියගිය හමුදා සාමාජිකයින් 13 දෙනාගේ මළ සිරුරු ඥාතීන්ට නොදී, රජය විසින් බොරැල්ල කනත්තේ දී අවසන් කටයුතු කිරීමට සැළසුම් කෙරිණි. ඒ සමඟම කොළඹ ඇතුලූ ප‍්‍රදේශ ගණනාවක දෙමළ වැසියන්ට එරෙහිව සිංහල ජාතිවාදීන්ගේ ප‍්‍රහාරය ආරම්භ විය. කොළඹ ඇතුළු දකුණේ ජනතාව සමඟ සහෝදරත්වයෙන් දිවිගෙවූ දෙමළ වැසියන් සොයමින් පහර දුන්නේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ පූර්ණ අනුග‍්‍රහය ලැබූ මැර කණ්ඩායම් හා ජාතිවාදී කණ්ඩායම් ය. මෙය සංවිධානාත්මකව සිදුකළ පහර දීමක් විය. මහමග ගමන්කළ වාහන කතරකොට දෙමළ ජනයාට අයත් වාහන පුළුස්සා දැමුවේය. අහිංසක දෙමළ ජනයාට පහරදී මරාදැමුවේය. ඇතැම් තැන්වල දෙමළ මිනිසුන් පණපිටින් පුළුස්සා දැමුවේය. මෙලෙස මරාදැමූ අහිංසක දෙමළ වැසියන් සංඛ්‍යාව 250 ඉක්ම විය. මෙලෙස කොළඹ නගරය ආශි‍්‍රතව ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටි ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාරික ස්ථාන 18,000 ක් පමණ විනාශ කළේය. මෙම ප‍්‍රහාර වලින් දහස් ගණනක් දෙමළ ජනතාව අවතැන් විය.

     කළු ජුලියට වසර 28 කි. කළු ජූලියේ ප‍්‍රතිඵලයක් ලෙස . බිහි නොවූවත්, එහි ප‍්‍රතිඵළයක් ලෙස වර්ධනය වූ  LTTE ඇතුළු දෙමළ සන්නද්ධ ව්‍යාපාරය පරිහානියට පත්වී අවසානය. එහෙත් කළුජූලියේ නෂ්ඨාවශේෂ දෙමළ ජනයාගෙ සිත් සතන් තුළින් අතුගා දැමීමට සමත් වී නැත.

     1983 මෙන් සිංහල ජාතිවාදීන් තම නිවස ගිනිතබා වැනසීම නිසා අවතැන් වූ ජනතාව කොටහේන ශාන්ත ලූසියා දෙව් මැදුරේ, වැල්ලවත්ත හින්දු විද්‍යාලයේ, කොල්ලූපිටිය මෙතෝදිස්ත දේවස්ථානයේ අවතැන් කඳවුරුවල නැත. එහෙත් යුද්ධය නිසා නිවාස අහිමි වූ සහෝදර දෙමළ ජනතාව දහස් ගණනක් මැණික්ෆාම් ඇතුළු අවතැන් කඳවුරුවල රඳවාගන සිටී. කොළඹ ඇතුළු දකුණේ දෙමළ ජනතාවගෙ කැඞී බිඳී ගිය, ගිනිතබා විනාශ කළ නිවාස හා ව්‍යාපාරික ස්ථාන අද දක්නට නැත. එදා මෙන් සිංහල ජාතිවාදීන් දෙමළ ජනතාවගේ ව්‍යාපාරික ස්ථානවල ඇති දේපොළ පැහැර ගත්තේ නැත. නමුත් ආණ්ඩුව උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පැහැරගෙන විදේශීය සමාගම්වලට විකුණමින් ඇත. එදා මෙන් කපාකොටා මරා දැමූ පිළිස්සී ගිය දෙමළ ජනතාවගේ මළසිරුරු දකුණේ දක්නට නැත. එහෙත් යාපනයේ පුත්තූර් වාරතවත්ත කී‍්‍රඩාංගනයේ පාපන්දු ගෝල් කණුවේ අභිරහස් ලෙස ඝාතනය වූ බාලසිංගම් සන්ගුණනාදන්ලාගේ සිරුරු එල්ලෙමින් තිබේ.

     මෙය ලාංකීය සමාජය හොඳින් අවබෝධ කරගත යුතුව ඇත. 1983 කළු ජූලිය නිර්මාණය කොට දේශපාලනඥයින්ගේ පටු අරමුණු උදෙසා ජාතිවාදය වැපිරීමේ අනිටු ප‍්‍රතිඵල ලාංකීය සමාජයට වසර 25 කට ආසන්න කාලයක් අත්විදීමට සිදුවිය. මේ මොහොතේද සිදුවෙමින් තිබෙනුයේ එම කි‍්‍රයාවලියමය. යුද්ධය අවසන් වී වසර දෙකක් ගතවී ඇතත් යුද්ධයෙන් අවතැන් වූ දමිළ ජනතාව දහස් ගණනින් තවමත් අවතැන් කඳවුරුවලය. දමිළ ජනතාව යළි පදිංචි කිරීම යනුවෙන් සිදුවී ඇත්තේ එම ජනතාව නැවත අවතැන් කිරීමයි. ඔවුන්ට නිසිපරිදි නිවාස ඉදිකරදී නොමැත. ඒ වෙනුවට නිවසක් ඉදිකිරීමට ලබාදී ඇත්තේ සෙවිලි තහඩු 9 ක් හා රු. 20,000 ක් (විසිදහසක්) පමණි. ඔවුනට තම ජීවිත ඇරඹීමට ආදායම් මාර්ගයක් නොමැත. බොහෝදෙනෙකුට තම සාම්ප‍්‍රදායික ඉඩම් අහිමි වී ඇත්තේ, ඒවායේ අයිතිය පෙන්වීමට ඇති ලියකියවිලි කිසිවක් නොමැති නිසාය. යුද්ධය විසින් එම ජනතාවගේ ඇඳිවත පමණක් ඉතිරිකොට සියල්ල විනාශ කළේ ය. එම විනාශයෙන් නැවත තම ඉඩම් අයිතිය තහවුරු කිරීමේ ලිපිලේඛන ඉල්ලීම විහිළුවකි. එහෙත් ආණ්ඩුව එයට මුවාවී දෙමළ ජනයාගේ සාම්ප‍්‍රදායික ඉඩම් විදේශ සමාගම්වලට විකුණමින් සිටී.

     අනෙක් පසින් දෙමළ ජනතාවට තවමත් ජීවත්වීමට සිදුවී ඇත්තේ හමුදා රාජ්‍යයකය. අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් හෝ භුක්ති විදීමට අවස්ථාව නොමැත. තවමත් දෙමළ තරුණයින් අතුරුදහන් වෙයි. පැහැරගෙන ගොස් මරාදමයි. මෙය බරපතල තත්ත්වයකි. දෙමළ ජනතාවට 13 වන ව්‍යවස්ථාවෙන් එහාට ගිය විසඳුමක් ලබාදීම පිළිබඳ කතාකරන ආණ්ඩුව දමිළ ජනයාගේ ජීවත්වීමේ අයිතිය පවා අහිමි කොට ඇත. ඛඔඔෑ යේ බලහත්කාරය වෙනුවට, ඔවුනට ආණ්ඩුවේ හමුදාවේ බලහත්කාරයට යටත්වීමට සිදුවී ඇත.

     දැන් දකුණේ බස්රථ තුළ, දුම්රියේ දෝම්බ පුපුරන්නේ නැත, මරාගෙන මැරෙන බෝම්බකරුවන් දකුණට පැමිණෙන්නේ නැත. හමුදා සෙබළුන්ගේ මළ සිරුරු දකුණට පැමිණෙන්නේද නැත. එම නිසා දෙමළ ජනයාගේ ගැටළු විසඳීමටද, ඔවුන්ට අයිතිවාසිකම් ලබාදීම පිළිබඳව සාකච්ඡාවක්ද දකුණේ සිංහල සමාජය තුළ නැත. එහෙත් දෙමළ ජනයාට නිදහසේ ජීවත්වීමේ අයිතිය, තම අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය, දරුවන්ට ඉගෙනීමේ අයිතිය ලබා නොදුනහොත් හෙට දවසේ නැවත කළු ජූලියක් නිර්මාණය වීම වැළැක්විය නොහැක.

සංස්කාරක
තෙවන ඇස

0 comments :

Post a Comment